මුලින්ම කලා ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
කිත්සිරිමෙවන් ජයසේන මහත්මයාගේ 'The Beauty and the Beast' ඇසුරින් නිර්මාණය වුණු 'ලස්සන මෘගයා' වේදිකා නාට්‍යයේ ගායන කණ්ඩායමට සම්බන්ධ වෙමින් තමයි මම ක්ෂේත්රයට පිවිසෙන්නේ. ගායනයට අමතරව එම නාට්‍යයේ 'රෝසියෝ' කියන චරිතය රඟපාන්නත් මට අවස්ථාව ලැබුණා. ඒක තමයි මගේ පළමුවැනි වේදිකා නාට්‍යය.
ප්‍රවීණ අධ්යක්ෂවරුන් යටතේ වැඩ කරන්න ලැබීම මොන වගේ අත්දැකීමක්ද?
ප්‍රවීණ අධ්යක්ෂවරුන් යටතේ වැඩ කරද්දී මට දැනෙන්නේ රංගන පාසලක ඉගෙන ගන්නවා වගේ හැඟීමක්. වෛද්‍යවරයෙක් රෝගය හඳුනාගන්නවා වගේ ඔවුන් අපේ අඩුපාඩු හඳුනාගෙන, මැණිකක් ඔප දානවා වගේ අපව චරිතයට ටිකෙන් ටික සූදානම් කරවනවා. කිත්සිරිමෙවන් ජයසේන, පරාක්‍රම නිරිඇල්ල, එම්. සෆීර්, හේමන්ත ප්‍රසාද්, ලලිත් වසන්ත, සඳුන් රාජකරුණා, උදයසිරි වික්‍රමරත්න, මාෂල් ජනතා, චන්දන ඉරුගල්බණ්ඩාර, මාවෝ ලක්ෂිත, විජිත මංජුල සිංහපෘථිවි සහ අතුල පීරිස් වැනි ප්‍රවීණයන් ඒ අතරින් කිහිප දෙනෙක්.
වේදිකා රංගනය සහ ටෙලි නාට්‍ය රංගනය කියන්නේ එකිනෙකට වෙනස් මාධ්‍ය දෙකක්. මේ මාධ්‍ය දෙක තුළ ඔබ රංගන ශිල්පිනියක් විදිහට සමබරතාව තබා ගන්නේ කොහොමද?
වේදිකාව සහ ටෙලිනාට්‍ය කියන මාධ්‍ය දෙක ඇත්තටම ගොඩක් වෙනස්. වේදිකාවේදී අප ඉදිරියේ සජීවීව ප්‍රේක්ෂකාගාරය පුළුල් පරාසයක විහිදුණත්, ටෙලිනාට්‍යවලදී අපේ ප්‍රේක්ෂකයා වෙන්නේ කැමරා කාචයයි. ඒ නිසා මේ මාධ්‍ය දෙකේමදී අපේ භාවයන් ඉදිරිපත් කිරීම, කටහඬ පාලනය මෙන්ම ශරීර චලනයන් ඉතා මනා පාලනයකින් යුතුව සිදු කළ යුතු වෙනවා. එහෙම නොවුණොත් අප කොතරම් දක්ෂ වුණත් අවසාන ප්‍රතිඵලය දුර්වල රංගනයක් බවට පත්වෙන්න පුළුවන්.
සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ වේදිකාව මත රඟපෑමෙන් රංගන ශිල්පිනියක් ලබන ආත්මතෘප්තිය ටෙලි නාට්‍යයකින් ලබන්න පුළුවන්ද?
වේදිකාව සහ ටෙලිනාට්‍යවලින් ලැබෙන ප්‍රේක්ෂක ආදරය මට දැනෙන්නේ දෙවිදිහකට. වේදිකා නාට්‍යයක් අවසන් වුණාම සජීවීව වේදිකාව මතදීම ලැබෙන ඒ ආදරය සහ අගය කිරීම්වල ලොකු වටිනාකමක් දැනෙනවා. ටෙලිනාට්‍ය තුළින් ඒ මොහොතේම සජීවී ප්‍රතිචාර නොලැබුණත්, ප්‍රේක්ෂකයන්ගේ මතකයන් තුළ ඒ චරිත දිගටම ජීවත් වෙනවා කියලා දැනෙද්දී ලොකු සතුටක් ඇතිවෙනවා.
ආචාර්ය පරාක්‍රම නිරිඇල්ලයන්ගේ 'සෙක්කුව' වැනි ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වෙද්දී ලැබුණු අත්දැකීම මොන වගේද?
මගේ රංගන ජීවිතයේ මුදුන් මල්කඩ විදිහට මම විශ්වාස කරන්නේ පරාක්‍රම නිරිඇල්ල සර්ගේ 'සෙක්කුව' වේදිකා නාට්‍යයයි. එහි ප්‍රධාන චරිතයක් වන පැඟිරාගේ චරිතයට පණපොවන්නට මට අවස්ථාව ලැබුණා. මේ චරිතය සඳහා පරාක්‍රම සර්ට මාව යෝජනා කරන්නේ එම්. සෆීර් සර්. නාට්‍යය පුරාම දෙබස් නොමැතිව, පැය දෙකකට ආසන්න කාලයක් ශාරීරික අභිනයන් සහ නර්තනයෙන් අපි වේදිකාව මත රංගනයේ යෙදෙනවා. මේ චරිතය වෙනුවෙන් ගොඩක් පුහුණුවීම් කළා. මම කළ චරිත අතරින් ගොඩක්ම ආදරය කරන චරිතයක් තමයි පැඟිරා.
අලුත්ම නාට්‍යය වන හේමන්ත ප්‍රසාද්ගේ 'ආදරණීය බොරු' ගැන දැනෙන්නේ කොහොමද?
'සෙක්කුව' නාට්‍යයෙන් පස්සේ මට උපරිමයෙන්ම දැනෙන්න වැඩක් කරන්න ලැබුණු අවස්ථාව තමයි හේමන්ත සර්ගේ 'ආදරණීය බොරු' නාට්‍යය. මිනක්ෂි කියන වයස අවුරුදු පනස් පහක පමණ දෙමළ කාන්තා චරිතයක් තමයි මට එහි කරන්න ලැබුණේ. ඊට අමතරව අර්ජුන්ගේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න කෙළිලොල් කාන්තා චරිතයකුත් මම නිරූපණය කරනවා. නාට්‍යයේ තියෙන ගීත තුනේම නර්තනයේ යෙදෙන්නේ මමයි. මට තිබුණු ලොකුම අභියෝගය වුණේ ඒ ගීත තුන අතරමැද මිනක්ෂිගේ ජවනිකා දෙකක් තිබීමයි. ඒ නිසා නාට්‍යය පටන් ගත් වෙලාවේ ඉඳලම මම චරිත දෙකට මාරු වෙවී වේදිකාවට එනවා. එය අභියෝගයක් වුණත් හේමන්ත ප්‍රසාද් සර් වගේ දක්ෂ අධ්යක්ෂවරයෙක් යටතේ පුහුණුවීම් කළ නිසා මට එය පහසුවෙන් කරන්න පුළුවන් වුණා. ඒ වගේම ජනක කුඹුකගේ, හර්ෂ තෙන්නකෝන්, උපුල් නිශාන්ත සහ යශෝධා විමලධර්ම වගේ ප්රවීණයන්ගේ ඇසුරත් ඔවුන්ගේ උපදෙසුත් මගේ සාර්ථකත්වයට හේතු වුණා.
කලා ජීවිතයත් එක්ක ඔබේ පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතු සමබරව කළමනාකරණය කරගන්නේ කොහොමද?
මගේ රංගන ජීවිතයට මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. රංගන කටයුතු කරන අතරතුරම මම මේ දිනවල ටවර් හෝල් රඟහල පදනමේ රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා. මේ හැමදේම සමබර කරගන්න මට ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා. ඔවුන් කිසිම වෙලාවක මට බලපෑම් කරන්නේ නැහැ. මම ගොඩක් කාර්යබහුල රංගන ශිල්පිනියක් නෙවෙයි, එහෙම වැඩ කරන්න මම ඇත්තටම ප්‍රිය කරන්නේත් නැහැ. එක් වැඩක් කරන කාලෙකදී ඒකට හානියක් වෙනවා කියලා දැනෙනවා නම්, එය අවසන් වෙනතුරු මම තව වැඩකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මට නිවසේ රැඳෙන්න කාලය ඉතිරි වෙනවා.
මේ දිනවල දායක වෙන අලුත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හෝ සිනමා නිර්මාණ මොනවාද?
මේ දිනවල අලුතින්ම වේදිකාගත වුණු හේමන්ත ප්‍රසාද් සර්ගේ 'ආදරණීය බොරු' වේදිකා නාට්‍යයට දායක වෙනවා. ඊට අමතරව පරාක්‍රම නිරිඇල්ල සර්ගේ 'සෙක්කුව', උදයසිරි වික්‍රමරත්න සර්ගේ '361' සහ අසංක පෙරේරාගේ 'වෙල්ලස්සේ වෙඩි හඬ' යන වේදිකා නාට්‍යවල දර්ශන වාර මේ දිනවල රට පුරා ක්‍රියාත්මක වෙනවා.
ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි විශේෂ චරිත මොනවාද?
ඉදිරියේදී විකාශනය වීමට නියමිත චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කළ 'පිරිනිවන් කඳු පාමුල' ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වල පළමු අදියර අවසන් කරලා තියෙනවා. එය ළඟදීම විකාශය වේවි. ඒ වගේම ඔහුගේ අලුත්ම නිර්මාණය වන 'රිදී' ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ද මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.
මේ ගමන එන්න ඔබට සහයෝගය දෙන්නේ කවුද?
මේ ගමන එන්න මට ලොකුම සහයෝගය දෙන්නේ මගේ ආදරණීය පවුලේ අයයි. ඔවුන් හැමෝම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ පළමු ගුරුවරයා වුණු කිත්සිරිමෙවන් ජයසේන සර්ගේ ඉඳලා, මම අලුතින්ම රංගනයෙන් දායක වුණු 'ආදරණීය බොරු' නාට්‍යයේ අධ්යක්ෂ හේමන්ත ප්‍රසාද් සර් දක්වා මගේ හැම නිර්මාණයකදීම මට වතුර උගුරක් හරි දීලා උදව් කළ හැම කෙනෙක්ම මගේ මේ පුංචි ගමනේ කොටස්කාරයෝ. නම් ගම් නොකිව්වේ එක්කෙනෙක් හරි මඟහැරේවි කියන බයටයි. ඒ හැමෝටම ගොඩක් ස්තූතියි කියලා ආදරෙන් මතක් කරනවා.
ENGLISH SUMMARY:
Sri Lankan actress and singer Dilhara Jayasinghe recently opened up about her career journey across stage and television in a new interview. Dilhara, who debuted in Kitsiri Mevan Jayasena's play *Lassana Murgaya*, shared that her most treasured acting experience was playing the lead role of Pangira in Parakrama Niriella's acclaimed stage play *Sekkuwa*. She described it as a rigorous two-hour physical performance without dialogue, a role recommended to her by director M. Safeer. Currently, she is challenging herself with dual roles in Hemantha Prasad's newest stage play, *Adaraneeya Boru*, sharing the stage with veterans like Janaka Kumbukage and Yashodha Wimaladharma. She is also actively touring with stage plays such as *361* by Udayasiri Wickramaratne and *Wellasse Wedi Handa* by Asanka Perera. While successfully balancing her acting career with studies at the Tower Hall Theatre Foundation, Dilhara is looking forward to her upcoming television appearances in director Chandana Irugalbandara's new teledramas, *Pirinivan Kandu Paamula* and *Ride*.