සම්මානනීය ජනප්‍රිය නිළි වසන්ති චතුරානි ඒ අතීතය සිහි කළේ එලෙසිනි.
කරුණාසේන ජයලත් සූරීන්ගේ ‘ගැහැනු ළමයි’ කෘතිය ඇසුරෙන් 1978 වසරේදී චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් සිනමාවට නැඟූ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය ගැන වසන්ති අද ද කතා කරන්නේ දැඩි ප්‍රබෝධයෙනි.
“මම පාසල් යන කාලේ තමයි ගැහැනු ළමයි චිත්‍රපටයට සම්බන්ධ වුණේ. එතකොට මට අවුරුදු පහළොවක් විතර ඇති. පාසලේ වේදිකා නාට්‍යවල රඟපාලා තිබුණට මුලින්ම රඟපාන්න ගිය දවසේ මම ඇඬුවා. මට ලැජ්ජයි රඟපාන්න. ඉතින් එදා ෂූටින් කැන්සල් කෙරුවා. ඉන් පස්සේ නැවත හංවැල්ල බොස්කෝ විද්‍යාලයේ ෂූටින් තිබුණා. එතකොට මගේ හිතට ජවයක් ආවා වගේ දැනුණා, ඉස්කෝලේ ළමයි ඉන්න නිසා. ශ්‍යාමා ආනන්දත් චිත්‍රපටයේ හිටියා. ඇයව මම ඊට පෙර චිත්‍රපටවලින් දැකලා තිබුණා. එදා චිත්‍රපටයේ ෂූටින්වලට ශ්‍යාමා ආනන්ද, අජිත් ජිනදාස, දමයන්ති ජයසූරිය එහෙම ඇවිත් හිටියා. මම ඉස්කෝලේ ළමයි එක්ක සෙල්ලම් කෙරුවා. හරි සැහැල්ලුවෙන් හිටියේ.
සුමිත්‍රා පීරිස් මහත්මිය එදා මට කිව්වා ඔයා ඔයාගේ ඇස් දෙකෙන් රඟපෑම සාර්ථක කළා කියලා. ඇය එහෙම කිව්වේ ඇයි කියලා මට එදා තේරුණේ නැහැ. ඉන් අවුරුදු තුනකට පස්සේ චිත්‍රපටය තිරගත වෙනකොට තමයි එදා ඇය කියූ දෙය මට වැටහුණේ. සුමිත්‍රා – ලෙස්ටර් යුවළ නිසයි අද මම මෙතැන ඉන්නේ. ඔවුන් එක්ක වැඩකරන්න ලැබීමම මගේ වාසනාවක්. මගේ මුල් කාලේ ටෝනි රණසිංහ, විජය කුමාරතුංග, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණයන් සමඟ රඟපෑමට ලැබීම මගේ භාග්‍යයක්. ඔවුන් බොහෝම නිහතමානි, තමන්ට තිබුණු ජනප්‍රියත්වයෙන් ඔළුව උදුම්මා නොගත් අය. ගැහැනු ළමයි චිත්‍රපටයෙන් පස්සේ මට තවත් චිත්‍රපටවලට ආරාධනා ලැබුණා.ʺ
ඉන් අනතුරුව වසන්තිගේ අපූරු රංගනයක් දැකිය හැක්කේ 1980 දී තිරගත වූ ‘ගඟ අද්දර’ චිත්‍රපටයෙනි. එම චිත්‍රපටයේ නිර්මලාගේ චරිතයට ඇයට එම වසරේදී සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළියට හිමි සම්මානය හිමි වූවාය.ගඟ අද්දර චිත්‍රපටයේ වසන්ති හා විජය කුමාරතුංග පෙනී සිටින ගීතමය ජවනිකාව අදත් මතකයේ ඇත.
“ගඟ අද්දර චිත්‍රපටය රූගත කළේ 1978 අවුරුද්දේදී. එදා ගඟ අද්දර ගීතය රූගත කරනවා කියලා අපට කිව්වේ නෑ. විජය කොස් කොළයක් අතේ තියාගෙන එනවා. මම ගහ අස්සෙන් එනවා. ගීතය ගයන්නේ විජය කුමාරතුංග. නමුත් සින්දුවේ ප්ලේ බැක් දාලා නෙමෙයි එදා රූගත කළේ. ඒක හරි අපූරුයි. විජයවත් මමවත් දැනගෙන හිටියේ නෑ ඒ සීන් එක සින්දුවක් කියලා. ඒ තමයි නියම අධ්යක්ෂවරු.. නමුත් අද එවැනි අය අප අතර නැහැ. මට මගේ රංගන ජීවිතයේ බොහෝම සතුටින් ගත කළා කියන්න පුළුවන්. 1979 දී විවාහයත් සමඟ රඟපෑමෙන් කෙටි කාලයක් ඈත්ව සිටියා. නමුත් යළිත් රඟපෑමට එක්වුණා. ඒ ආවේ ‘ආදර හසුන’ චිත්‍රපටයත් සමඟ. ඊට පස්සේ අහසින් පොළොවට, පරිත්‍යාගය, හංස විලක් ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවා. මට මේ ක්ෂේත්රයේදී බොහෝ හොඳ මිනිසුන් ඇසුරු කරන්නට ලැබුණා. ඒ වගේම පසුකාලීනව හොඳ ටෙලිනාට්‍යවලත් රඟපාන්න ලැබුණා. ඉටි පහන්, සේදෝනා, අතු අග පිපි මල්, රඟ සොබා, ඒ නාට්‍ය අතර වෙනවා.“
විවිධ චරිත ප්‍රේක්ෂක හදවතට දැනෙන අයුරින් නිරූපණය කිරීමට සමත් වසන්ති, මෑත කාලයේදී නම් සිනමාවෙන් හා රූපවාහිනියෙන් ඈත් වී ඇතැයි සිතේ. ඒ ඇගේ රංගනයන් දැන් දැකිය නොහැකි බැවිනි.
“ඉස්සර වගේ නෙමෙයි දැන් අප වැඩ නැති ගානයි. අවුරුදු හයකින් මම රඟපාලා නෑ.
ඉස්සර වගේ දැනෙන නිර්මාණ දැන් නැහැ. මම සිනමාවට ආව කාලේ ජංගම දුරකතන තිබුණේ නැහැ. පසු
කාලීනව දුරකතනය තිබුණත් ඒක අරන් ගියත් රඟපාන තැනට ෆෝන් එක අරන් ගියේ නෑ. ෆෝන් එක ඕෆ් කරලයි රඟපාන්න යන්නේ. අද පරපුරට සමහර වෙලාවට තමන් කරන්නේ මොකක්ද කියලා කිසි අවබෝධයක් නැහැ. මම අදත් බොහෝම සරල විදිහට ඉන්න කෙනෙක්.
එදා ‘ගැහැනු ළමයි‘ රඟපෑමට මට රුපියල් 1500ක් ලැබුණා. ඒක මට ලොකු මුදලක්. මොනවා කළාද කියලා මතක නැහැ. බස් එකට සත පහයි. පාන් කාලට සත පහයි. අද කෝටි ගණන් හම්බ කළත් ඉතුරුවක් නෑ. ඒ කාලේ මේ ක්ෂේත්‍රයේ තරගයක් තිබුණා. නමුත් මට තිබුණා මා ගැන ලොකු ආත්ම විශ්වාසයක්. දැන් මම බොහෝම විවේක සුවයෙන් පුතත් එක්ක ඉන්නවා.
මව මියයන විට වසන්තිගේ වයස අවුරුදු හතකි. සිය මිත්තණිය සමඟ හැදී වැඩුණු වසන්තිට සොහොයුරියකද සිටී. ගැහැනු ළමයි රඟපාන්නේ නැතැයි කියා දැඩි තීරණයක සිටියද සිය මිත්තණිය තමන්ට රඟපෑමට අවසර දුන් නිසා සිනමා නිළියක වන්නට හැකිවීම ගැන ඇයට ඇත්තේ සතුටකි.