සුළඟේ වැනෙනකොට
කෙවිට තියාපන් අහකින්
කබරගොයින් දැක
නියර උඩින් පැන
දුවලා වරෙන් මගෙ මලේ…….
මේ දිනවල නිතර ඇසෙන මේ ගීතය ගයනු ලබන්නේ නිපුනි ශාරදා පතිරගේ සමඟින් රවී ජේය. නැරඹුම් වාර මිලියන දහය පසුකරමින් සිටින ‘බෝවිටියා මල්’ ශ්‍රී ලාංකේය ජන සංගීතයේ මිහිර ලොව පුරා බෙදයි. රංගනයෙන් වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවේ ද දස්කම් දක්වා ඇති නිපුනී විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක් මෙන්ම ජාතික තරුණ සේවා සභාවේ උපාධි පාඨමාලාවේ ආචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය. මේ බෝවිටියා මල් ගැන ඇය අප හා කී කතාවයි.
“බෝවිටියා මල් ගීතය මේ වෙද්දි ලොව පුරා මිලියන දහයක පිරිසක් නරඹලා තියෙනවා. ඒක ලොකු සතුටක්. මට මේ වැඩේට කතා කරන්නේ රවි ජේ. අපි දෙන්නා මුලින්ම අඳුනගන්නේ ශානක උදාරගේ END OF THE DAY කියන වෙබ් සීරීස් එක කරද්දී. කලින් ඉඳන්ම මං රවීව දැනගෙන හිටියත් ඒ වෙබ් සීරිස් එක කරද්දි තමයි හඳුනගත්තේ. ඒ හඳුනාගැනීම ‘බෝවිටියා මල්‘ ගීතයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් වුණා. රවී ජේ මේක ගොඩක් කල් ඉඳන් කරන්න ප්ලෑන් කරමින් හිටිය ගීතයක්. ඒකට මාවත් තෝරගෙන තිබුණා. බෝවිටියා මල් නිර්මාණය වෙන්නේ රවීගේ චිත්‍රපටයක ගීතයක් විදිහට. ‘බෝවිටියා මල්’ හරහා මාව හඳුනගත්ත බොහෝ දෙනෙක් කවුද මේ කියලා මං ගැන හොයන්න පටන්ගත්තා. රංගන ශිල්පිනියක් විදිහට මාව හඳුනගෙන සිටි අයට මේ ගයන්නෙ මමද කියන එක හිතාගන්න බැරි වුණා.“
බෝවිටියා මල්වලට ලැබෙන අසීමිත ප්‍රතිචාර නිපුනිට අදහාගත නොහැකි සතුටක් වී තිබිණි.
“බෝවිටියා මල් ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉන්දියාවේ රසිකයිනුත් ප්‍රතිචාර දක්වලා තිබුණා. මේ වෙද්දි කවර් සෝග්ස් ගොඩක් නිර්මාණය වෙලා. ජනප්‍රියම රියැලිටි වැඩසටහනක මේ ගීතය ගායනා කිරිම නිසා ගීතය තව තවත් ජනතාව අතරට ගියා. ඒ ගැනත් සතුටුයි. ගායනය පැත්තට මගේ ලොකු නැඹුරුවක් තිබුණෙ නැති නිසා මේක මගේ ජීවිතයේ සුවිශේෂීම අත්දැකීමක් බවට පත්වුණා.“
නිපුනිගේ පවුල් පසුබිමද ඇගේ හැකියාවන්ට තෝතැන්නක් වූ බව නිසැකය.
“රංගනය වගේම ගායනයත් මට මවුපිය ආභාෂයෙන් ලැබුණු දෙයක්. මගේ තාත්තා මහින්ද පතිරගේ දක්ෂ රංගන ශිල්පියෙක්. සංගීත විශාරදවරියක් වන මගේ අම්මා කුමුදිනී ගුණවර්ධන දක්ෂ ගායිකාවක්. මගේ ළමාවිය ගෙවුණේ අනුරාධපුරයේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වීමත් එක්ක තමයි මං කොළඹට එන්නේ. ළමා කාලයේ ඉඳන් ප්‍රාදේශීය වශයෙන් නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටියත් ප්‍රවීණ අධ්යක්ෂවරුන් යටතේ ප්‍රසිද්ධ වේදිකා නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ.“
නිපුනී ජනප්‍රිය රංගන ශිල්පිනියක බව බෝවිටියා මල්වලට ප්‍රිය කරන බොහෝ දෙනා නොදන්නවාද විය හැකිය.
“පුංචි කාලෙ මං සංගීතය ඉගෙන ගෙන තිබුණට ගායන ශිල්පිනියක් වෙන්න කිසිම අදහසක් තිබුණු කෙනෙක් නෙවෙයි. විෂයක් විදිහට මම හැදෑරුවේ රංගනය. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව හා රූපණයට මට ප්‍රථම පන්තියේ උපාධියක් තියෙනවා. මට සහභාගි වෙන්න ලැබුණු බොහෝ වේදිකා නාට්‍ය සංගීතමය නාට්‍ය නිසා ගායනය පුහුණු කරන්න මට වෙන විදිහකට අවකාශය ලැබුණා කියලත් හිතෙනවා.“
වේදිකාවේ ලද පුහුණුව ඔස්සේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායිකාවක් ලෙස ඇය සම්මාන ලැබීය.
“ධනුෂි දිසානායක රචනා කළ ‘ආල පිරූ’, දූස්රා චිත්‍රපටියේ ‘වන වනා යන විට’,රාණි චිත්‍රපටයේ ‘පුතුනේ නිදන්න’ වගේ ගීත මිනිසුන් අතරට ගියා වුණත් බෝවිටියා මල් තරම්ම ජනප්‍රිය වුණේ නැහැ. ‘පුතුනේ නිදන්න’ ගීතය වෙනුවෙන් හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයටත් නිර්දේශ වුණා.“
රංගනයේ සුවිශේෂී දස්කම් පෙන්වන ඇය මේ දිනවල ස්ටේජස් නාට්‍ය කණ්ඩායමේ සම අධ්‍යක්ෂිකාව ලෙසද කටයුතු කරන්නීය.
රංගනය මං පුංචි කාලෙ ඉඳන්ම ඉගෙන ගත්තා. ජයලත් මනෝරත්නගේ සෙල්ලම් නිරිදු සහ ගුරුතරුව, රුවන්ති ද චිකේරාගේ Dear Children Sincerely සහ කටවහ, චාමික හත්ලහවත්තගේ කොළඹ හතේ තොරණ, ඒමන් ෆ්ලැක් සහ S. ශක්තිදරන්ගේ Counting and Cracking (Australia), රංග මනුප්රියගේ චෙරිවත්ත (2015 රාජ්‍ය නාට්‍ය උළෙල හොඳම සහය නිළිය), ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ Bullet Proof Children මෙන්ම ප්‍රසන්න විතානගේ, අශෝක හදගම, විමුක්ති ජයසුන්දරගේ තුන්දෙනෙක් වේදිකා නිර්මාණවලටත් දායක වුණා. අශෝක හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්‘ නාට්‍ය වෙනුවෙන් 2021 වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළිය බවට පත්වුණා. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් ජගත් මනුවරණගේ කොඩි ගහ යට, ජයලත් මනෝරත්නගේ සමනලී, ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ, අශෝක හඳගමගේ සින්තැටික් සිහිනය විශේෂයි. මේ තරම් දුර එන්න මට උදව් කළ සනත් චන්ද්‍රසේකර, කාන්ති S. කුරේරා, සුරංජිත් රණසිංහ, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, ප්‍රසන්නජිත් අබේසූරිය කියන මගේ ගුරුවරුන්වත් මේ වෙලාවෙ ගෞරවයෙන් සිහිපත් කරනවා.“
වේදිකාවේ ලද බොහෝ අත්දැකීම් ඇගේ ගමනට පන්නරයක් වී ඇති බවද පැහැදිලිය.
“මං පුහුණු කළ ශිල්පය නිසා වේදිකාවට මං ගොඩක් කැමැතියි. මට ජීවයක් ලැබෙන්නේ එතනදි. සජීවී ප්‍රේක්ෂකාගාරයක් ඉදිරියේ සජීවී අත්දැකීමක් ලබනවා කියන්නේ කිසිදා අමතක නොවන අත්දැකීමක්. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ වේදිකාව මත සිදුවුණු එක සිදුවීමක් මට කිසිදාක අමතක වෙන්නෙ නැහැ. බය වීම නිසා වෙන්න ඇති එක මොහොතක නාට්‍යයේ මැද හරියෙදි මට කිසිවක් කරගන්න බැරි වුණා. අපි බ්ලැක්අවුට් කියලා කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න වුණා. ප්‍රේක්ෂකාගාරයට සමාවෙන්න කියලා නාට්‍ය මැද හරියෙදි මම වේදිකාවෙන් ඉවත් වුණා. ඒක ලොකු ගැටලුකාරී තත්ත්වයක්. එතනදී මගේ ගුරුවරයා මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඇවිත් එතැන ඉඳන් ආයෙ නාට්‍ය කරගෙන යන්න මුළු කණ්ඩායමම පෙලඹුවා. රංගනය ගැන මගේ තියෙන විශ්වාසය නැතිවෙලා අඩපණ වුණොත් ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා කියන එක එදා මං තේරුම් ගත්තා. ඒක ලොකු පාඩමකට අරගෙන ආයෙ කිසිදාක එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වගබලාගත්තා.“