යක්බැඳිගෙදර පිළිකන්නෙත් කාවන්තිස්ස ගැවසුණා – ලෝචනා ඉසුරින්දි

gossiplanka image 1
 


මූකලාන වූ කලී, ගහකොළින් වට වූ සතා සිව්පාවන්ගෙන් සොඳුරු වූ වැව් බැඳි ඉමකි. යක්බැඳිගෙදර එකී ඉම හදවතයි. යකුන් බැඳ වැඩගත් පරම්පරාවක අවසන් පුරුක වූ ආලම්මා වටා ගෙතෙන මූකලානේ කතාව ‘යක්බැඳිගෙදරයි.’ මේ යක්බැඳිගෙදරටත් අපෙන් සදහටම ඈත්වෙලා ගිය කාවන්තිස්සත් එනවා.“කාවන්තිස්ස…”, යක්බැඳිගෙදර අපි ආසම දේ ඔයාව දකින එක. යක්බැඳිගෙදර පිළිකන්නෙත් ඔයාගේ පාඩුවේ ඔයා යද්දී අපි පිස්සුවෙන් වගේ ඔයාව බලන්න පොරකනවා. වෙනතියා ඔයා අපේ තේමා ගීතයෙත් ඉන්නවා. මොකද උදේ 7 වෙද්දී අපේ අයගේ රාජකාරිය ඔයාව බලන්න වැව් ඉස්මත්තට එන එක. ආයේ එද්දී ඔයා නෑ කියලා මතක් වෙද්දී…, මෙහෙම කියන්නේ ආලම්මාගේ දුව ‘පබළු’. ඒ වෙන කවුරුත් නෙමෙයි ලෝචනා ඉසුරින්දි. මෙතැනින් එහාට දිගහැරෙන්නේ ආලම්මාගේ දුවගේ කතාවයි.


“යක්බැඳිගෙදර පබළුට මේ දවස්වල ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. පළමු කොටස විකාශය වුණ දවසේ ඉඳලා මිනිස්සු මට ආදරය කරන්න පටන් ගත්තා. මම හිතනවා කතාවේ අවසානය දක්වා මේ ප්‍රතිචාර ටික ඒ විදිහටම තියේවි කියලා.


ඔය විදිහට ප්‍රතිචාර ලැබෙන පබළුව මට හමුවෙන්නෙත් හරිම අපූරු විදිහට.


මීට කාලයකට කලින් මට වෙනත් පිරිසක් මේ ටෙලිනාට්‍යයටම කතා කළා. එතැනදී කිව්වෙත් මාලනී ෆොන්සේකා මහත්මිය කරන්න හිටපු චරිතයේ දුවගේ චරිතය තමයි මට කරන්න තියෙන්නේ. මේ කතාව ලියලා තියෙන්නෙත් මහේෂ් රත්සර මද්දුමආරච්චි. අන්තිමේ කොහොමහරි ඒ කතාව එතැනින්ම නැවතුණා.


ආපහු කාලෙකට පස්සේ ඉරේෂ් ලොකු බණ්ඩාර අයියා කතා කරලා කිව්වා මහේෂ් අයියා ලියන ‘යක්බැඳිගෙදර’ කියන ටෙලිනාට්‍යයේ ආලම්මාගේ දුවගේ චරිතය රඟපාන්න එන්න පුළුවන්ද කියලා. ආලම්මාගේ චරිතය රඟපාන්නේ මාධනී මල්වත්ත කියලත් කිව්වා. මට ඒ වෙලාවේ ඔළුවට ආව ‘දෙයියනේ මීට මාස ගණනාවකට කලිනුත් කතා කරලා ආයෙත් මා ළඟටම ආවා කියල’ මාව මේ පාර මේ චරිතයට යෝජනා කරලා තියෙන්නේ චමින්ද බටුකොටුව අයියා, කැමරා අධ්‍යක්ෂ චානු අයියා. ඊට පස්සේ තමයි මහේෂ් අයියා, ඉරේෂ් අයියා එකතුවෙලා මාව කාස්ට් කරලා තිබුණේ. ඉතිං ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා වටිනා චරිතයක් මට ලබා දුන්නාට. මම උපරිමය කරන්න තමයි හිතාගෙන ඉන්නේ.


යක්බැඳිගෙදර රූගත කිරීම්වලදී තමයි හරි අපූරු වගේම ජීවිතයේ අමතක නොවන සිදුවීම්වලට මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.


යක්බැඳිගෙදර රූගත කිරීම් සිද්ධ වෙන්නේ ගල්ගමුවේදී. රූගත කිරීම්වලදී අපිට අලි කරදර හරියට ආවා. යක්බැඳිගෙදර පිළිකන්න පැත්තෙන් තමයි අලි ගමන් කරන්නේ. මේ වෙලාවේ මතක් කරන්නම ඕනෑ කාවන්තිස්ස ඇතාව. අපි රූගත කිරීම් කරන දවස්වල කාවන්තිස්සත් අපේ යක්බැඳිගෙදර පිළිකන්න පැත්තෙන් ගියා.


යක්බැඳිගෙදර ටෙලිනාට්‍ය හින්ද ලෝචනා කාවන්තිස්සගේ අත්දැකීම් ගැනත් කතා කළා.


කාවන්තිස්ස ඇතා යනකොට අපි රූගත කිරීම් නතර කරලා එයාව බලන්න යනවා. අපි පාන්දර හතට විතර වැවට යනවා එයාව බලන්න. මට මතක විදිහට අපේ තේමා ගීතයෙත් ඇතා දර්ශනවල ඉන්නවා. යක්බැඳිගෙදර අපි හැමෝටම දුකක් කාවන්තිස්ස නැති එක ගැන. මොකද අපි හැම පාරකම රූගත කිරීම්වලට යන්නේ හරිම ආසාවෙන්. දැන් අපි දන්නවා ඊළඟ දර්ශන වාර රූගත කිරීම්වලට යනකොට කාවන්තිස්ස කියලා සද්දන්තයෙක් හම්බවෙන්නේ නැහැ කියලා. ඉතිං ඒක අපි හැමෝටම දුකට කාරණයක්. බොහොම මෑතකදී අපිට කාවන්තිස්සව බලන්න හම්බවුණා. මම දැක්කා මුහුණුපොතේ චමීර අයියත් සටහනක් දමලා තිබුණා.


යක්බැඳිගෙදරට හැමදාම වගේ අලි කරදර තමයි. අලි වෙඩි පවා දමනවා. අලි බලන්න ආසා වුණාට හැම අලියාම එකම වගේ නැහැනේ. එක්තරා අවස්ථාවකදී අපේ නිෂ්පාදක කණ්ඩායමට වෙනත් අලියෙක් පහර දෙන්න පවා ඇවිත් තිබුණා. කට්ටියම භීතියට පත්වුණ වෙලාවක් ඒක. අපි රූගත කිරීම් අවසන් වෙලා නවාතැන්පළට යන්නේ වටපිටාව ගැන හොඳ සැලකිල්ලෙන්. අලි එයි එයි කිය කියා බයේ යන්නේ. මොකද ගල්ගමුවනේ. අලින්ට ආසාවයි බයයි දෙකම තිබුණා. අපි ඔය රූගත කිරීම් කරන දවස්වල තාත්තෙකුයි පුතෙකුයි අලි ගහලා මරලා දාලා තිබුණා.


අලි කරදර මැද රූගත කිරීම් සිදුකරන යක්බැඳිගෙදර ආලම්මාගේ දුව පුංචි තිරයෙන් දකිද්දී ලෝචනාට දැනෙන හැඟීම.


ඇත්තටම හරි සතුටුයි. දැනට මම මේ කතාබහ කරන මොහොත වෙනකොට කොටස් තුනම නැරඹුවා. සමහර අය මගෙන් අහලා තියෙනවා කොහොමද බං උඹ රඟපෑවේ, අපිට කතාව බලද්දිත් බය හිතෙනවා කියලා. සමහරු කියනවා මේක රෑට බලන්න බෑ බය හිතෙනවා කියලා. සොබාවදහමට අනුගත වෙලා සොබාදහමෙන් ලැබෙන පීඩාවන් ද මැද තමයි අපි යක්බැඳිගෙදර රූගත කළේ. ටීවී එකේ ඒ කොටස් ටික දකිද්දී හරි පුදුම හිතෙනවා. මාර ලස්සනයි.


පට්ටිගෙදරින් පසු හම්බවුණු යක්බැඳිගෙදර ගැනත් මතක් කිරීමක් සිදුකළා.


මම කැමතිත් කලාත්මක, පීරියඩ් ඩ්‍රාමාවල වැඩ කරන්න. මම හිතනවා මට ඒවා ගොඩාක් ගැළපෙනවා කියලා. එහෙම ආසාවක් තියෙන කෙනකුට මෙහෙම චරිත හම්බවෙනවා කියන්නේ හරි වටිනවා. ඉතිං මම ඉරේෂ් ලොකුබණ්ඩාර අයියාට, මහේෂ් අයියාට, චමින්ද බටුකොටුව අයියාට මගෙත් එක්ක රංගනයේ නිරත වන චමීර අයියා, මාධනී අක්කා එහෙමත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. චමීර අයියා ලොකු කැපකිරීම් ගොඩක් කරනවා. මම මගේ ඇස් දෙකට ඒක දකිනවා. මේ චරිතය මගේ කලා ජීවිතයට ලොකු ආභරණයක්.


ලෝචනාට ලැබෙන හරි අපූරු චරිත ගැන මෙන්න මෙහෙම කතාවක් කිව්වා.


මට විවිධ චරිත හම්බ වෙනවා. දැන් යක්බැඳිගෙදර පබළු වෙනුවෙනුත් මට ඉස්සරහට ලොකු දේවල් ටිකක් කරන්න තියෙනවා. තවම මේ ආරම්භය විතරයි. ඔය අතරේ මම තව ටෙලිනාට්‍ය කිහිපයක වෙනස් චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට එන්න නියමිතයි. මට කොහොමටත් චරිතාංග නිළියක් වෙන්නයි ඕනෑ. එකම චරිතවලට කොටුවෙන්න ඕනෑ නැහැ. මට චේන්ජ් එකක් අවශ්‍යයි. ඉස්සරහට මීට වැඩිය වෙනස් චරිත එන්න තියෙනවා. තවම ඒ ටෙලිනාට්‍ය විකාශය වුණේ නැහැ. ඒවත් ළඟදී විකාශය වේවි කියලා හිතනවා. අනික මේක මල් පලසක් මැදින් ආපු ගමනක් නෙමෙයි. දැන් ඉන්න තැන ගැන හරිම සතුටුයි. මේක ආරම්භය විතරයි. රංගන ශිල්පිනියක් වෙන ගමනේදී ලොකු අභියෝග රැසකට මුහුණ දුන්නා. හැබැයි මම මගේ අරමුණ කිසිදාක අතහැරියේ නැහැ. ඒකයි අද හරි ලස්සන ගමනක් යන්නේ. මම මේ ගමන ආවට මගේ වටේ උදව්වට ලොකු පිරිසක් හිටියා. ඉතිං ඔවුන්ට තමයි එහි වටිනාකම යන්න ඕනෑ.


දිනේෂ් විතානඡායාරූප-සජීව ලක්‍ෂාන්

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post