රංගන ශිල්පියෙක් මැටි පිඩක් වගේ වෙන්න ඕනේ - දමිතා අබේරත්න

 




ඇය මෙරට කලා ක්ෂේත්‍රයේ චරිතාංග රංගන ශිල්පිනියන් අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින්නීය. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ කලා නිර්මාණ ගොන්නකින් ප්‍රේක්ෂක හද සන්තානයේ ලැඟුම් ගන්නට සමත් චරිත මවන්නීය. සරසවිය සම්මාන, ජනාධිපති සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන ඇතුළු ජාතික මෙන්ම අන්තර්ජාතික සම්මාන උලෙළවලදී හොඳම නිළිය ඇතුළු සම්මාන ගොන්නකට හිමිකම් කියන්නීය. 2004 වසරේදී "සුළං කිරිල්ලී" සිනමා පටයේ පෑ රංග ප්‍රතිභාව උදෙසා සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වන්නීය. එදා මෙන්ම අදත් ලොකු කුඩා භේද රහිතව ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ඈ සමත්වන්නීය. අන් කිසිවෙක් නොව ඒ දමිතා අබේරත්න නම් වූ සම්මානනීය රංගන ශිල්පිනියයි. ඇය මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ "වලවෙට්ටුවා" ටෙලි වෘත්තාන්තයේ චාන්දනීගේ චරිතයට පණ පොවන්නීය. වලවෙට්ටුවා ගැන සේම කලා ක්ෂේත්‍රයේ ඇගේ කාර්යය ගැන බොහෝ දෑ දමිතා අබේරත්න මෙසේ පුවත්පතක් සමඟින් පවසා තිබුනා.

 


ලොකු ගෑනු ළමයි ඉන්න අම්මලාගේ හිත්වල ඒ තරම් ලොකු වගකීමක් තියෙනවාද?


දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් කවදාවත් ඒ දරුවාගේ වගකීමෙන් මිදෙන්නේ නැහැ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මගේ අම්මා අදටත් මං එක්ක ඉන්න විදිහ මම දන්නවා. ඒ දරුවා කොයිතරම් ලොකු වුණත් අම්මා ඒ වගකීම අත්හරින්නේ නැහැ මැරෙනතුරාවට. මටත් කාලෙකට පසුව එහෙම අම්මා කෙනෙකුගේ චරිතයක් නිරූපණය කරන්න "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යය ඔස්සේ අවස්ථාව ලැබුණා.




වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ චාන්දනීගේ චරිතය ලැබෙන්නේ කොහොමද?


ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා රනිල් කුලසිංහ මට ආරාධනා කළා, මෙහෙම චරිතයක් තියෙනවා රඟපාන්න පුළුවන් ද කියලා. රනිල් එයාගේ පළවෙනි ටෙලි නාට්‍යයේත් මාත් එක්ක රඟපෑවේ. "සල් සපු නා" ටෙලිනාට්‍යයේ ඒ ඇති වුණු හැඳුනුම්කම දිගටම තිබුණා. රනිල්ගේ එක නිර්මාණයකට මම කලින් සම්බන්ධ වුණා. ඒත් රනිල් මාව දන්නවා කියලා මට චරිතවලට ආරාධනා කරන අධ්‍යක්ෂවරයෙකුත් නෙමෙයි. ඒ චරිතයට මාව සුදුසු නම් විතරයි මට ආරාධනා කරන්නේ. රනිල්ගේ ආරාධනාව පිට තමයි මම මේ චරිතය භාර ගන්නේ. කොහොමත් මම අම්මලාගේ චරිත කරද්දි දෙපාරක් හිතනවා. මොකද මට දිගටම අම්මලාගෙ චරිත කරලා රාමුවකට කොටු වෙන්නේ වෙයි කියලා බයකුත් තියෙනවා. ඒත් මම ඕලෙවල් කරන අවුරුද්දේ "අවිඳු අඳුර" ටෙලිනාට්‍යයේ කුඩා කාලෙන්ම අම්ම කෙනෙක් වුණ තරුණියකගේ චරිතයක් රඟපෑවා. චරිතයකට ආරාධනාවක් ආවාම හැමදාම බැලුවේ ඒ චරිතයට මට යමක් කරන්න පුළුවන්ද කියලා. "වලවෙට්ටුවා" ටෙලිනාට්‍යයේ වෙල්මාගේ අම්මා චාන්දනීගේ චරිතයටත් මට යමක් කරන්න තිබුණා.


 


චාන්දනීගේ චරිතය පුරාම තියෙන්නේ මවකගේ විලාපයක්?


චාන්දනී කියන්නේ මව්පියන් නැති අනාථ නිවාසකය හැදුණු කෙනෙක්. ඉතාම පොඩි වයසකදී එයාව ඒ නිවාසයෙන් සල්ලිවලට විකුණනවා. ඒ චරිතයේ තියෙන ඛේදවාචකය පටන් ගන්නේ එතැනින්. එයාගෙ දරුවෝ දෙන්නා පවා ජීවිතයේ අනපේක්ෂිත විදිහට ලැබෙන දෙන්නෙක්. ඒ චාන්දනී කසාදයක් බැඳලා, ඉන්පසුව ලැබෙන දරුවෝ දෙන්නෙක් නෙමෙයි. ඒත් චාන්දනී කියන අම්මා මේ දරුවෝ දෙන්නා වෙනුවෙන් එයාගේ මුළු ජීවිතයම කැප කරනවා. මම මේ චාන්දනීගේ චරිතය "අම්මා" කියන තැන ඉඳලා රඟපාපු චරිතයක්. චාන්දනී එයාගෙ දරුවො ගැන නිතරම බයවෙන්නේ එයාට වුණ දේ දරුවන්ටත් වෙයි කියලා. එහෙම නොවෙන්න තමයි එයා නිතරම වගබලාගන්නේ. චාන්දනී එයාගේ දරුවන් බලාගන්න ඒ වනවිටත් රැකියාවක් කරනවා. එයාට ගෙදර ඉඳලා දරුවෝ බලාගන්න වෙලාවක් නැහැ. නාමමාත්‍රිකව ඉන්න ස්වාමි පුර්ෂයාගෙන් එයාට කිසිම පිහිටක් නැහැ. දරුවන්ගේ සියලු දේ වගකීමක් විදිහට අරගෙන කරන නිසා තමයි චාන්දනීට නිතරම දරුවන් එක්ක තරහා යන්නේ. ඒ ඔවුන්ව ළඟ ඉඳලා බලාගන්න බැරි දුකට. ඒ නිසා ඇය නිතරම දියණියෝ දෙදෙනාට බනිනවා, අවවාද කරනවා.


 


කොහොමද මේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?


මේ කොරෝනා වසංගතයෙන් පසුව මම රඟපාන මුල්ම නිර්මාණය. කාලෙකට පසුව කරපු මේ චරිතයට මට ප්‍රේක්ෂකයන්ගෙන් හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමාජ මාධ්‍යවලින් වගේම සැබෑ ජීවිතයේදීත් හමුවෙන කතාබහ කරන අය මේ චරිතය ගැන මට හොඳ කියනවා.


 


වලවෙට්ටුවා ටෙලිනාට්‍යයේ ඔබ මේ චරිතය ගොඩනඟන්නේ නවක රංගන ශිල්පීන් රැසක් සමඟ. කොහොමද ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය?


ඒක විශේෂයෙන් කියන්න ඕනේ. චමීර සහ ටීනා වගේම මගේ පොඩි දුවට රඟපාන්නෙත් අලුත් දරුවෙක්. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ කබඩි කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් පවා අලුත් අය. මේ හැමෝටම ලොකු උනන්දුවක් තියෙනවා කියලා පේනවා. විශේෂයෙන් ටීනා ඒ වගේ ලොකු කැපකිරීමක් මේ චරිතයට කරයි කියලා මම හිතුවේ නැහැ. අව්වේ ඉඳලා, දූවිලි කාගෙන, බිම වැටිලා ටීනා මේ චරිතයට සෑහෙන්න මහන්සි වෙනවා. මට හරිම සතුටුයි ඒ ගැන. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය චරිතය මවන්න ටීනා ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම චමීර කියන්නේ මම මෑත යුගයේ දැකපු දක්ෂ රංගන ශිල්පියෙක්. කිසිම පැකිළීමක් නැතිව ඕනෑම චරිතයක් වෙනුවෙන් බය නැතුව යෝජනා කරන්න පුළුවන් රංගන ශිල්පියෙක්. චරිතයක් ලැබුණාම ඒ චරිතයේ ගැඹුර හොයාගෙන යන කෙනෙක් චමීර කියන්නේ. තමන්ගේ චරිතය වෙනුවෙන් මේ හැමෝම සෑහෙන්න කැපවෙනවා. මේ ටෙලිනාට්‍යයේ ඉන්න බොහෝ දෙනෙක් ක්ෂේත්‍රයට නවකයින්. ඒත් ඔවුන්ගේ කැපවීම, දායකත්වය උපරිමයි. මේ තරුණ තරුණියෝ හැමෝම නොදන්න දේවල් ගැන මගෙන් අහනවා. ඔවුන් එහෙම අහනකොට අපිටත් සතුටුයි. අපි දන්න දේවල් ඔවුන්ට කියලා දෙන්න අපිටත් අවස්ථාව ලැබෙනවා. අද නවකයෝ ගොඩක් ඉන්නේ වෙනත් ලෝකවලනේ. මට අදටත් මට වඩා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් සෙට් එකේ රඟපානකොට සීන් එකේ අපි නැත්නම් එතනට ගිහින් බලන පුරුද්දක් තියෙනවා. ඒත් මේ වලවෙට්ටුවා ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණ නවක රංගන ශිල්පීන් හැමෝම ඒ වෙනුවෙන් කරන කැප කිරීම හරි වටිනවා.


 


ක්ෂේත්‍රයේ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දක්ෂතා ගැන මොකද හිතෙන්නේ?


නවක ශිල්පීන් බොහෝදෙනෙක්ව නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් එක් රාමුවකට කොටු කරලා තියෙනවා වගේ දෙයක් මට දැනෙනවා. රූපවාහිනී නාළිකාවලින් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන එකෙන් ඒ අය රාමුගත වෙනවා තවත් වැඩියි කියලා මට හිතෙනවා. මොකද ඒ නාළිකාවලින් පිට වෙනත් නිර්මාණවල ඔවුන්ට රඟපාන්න නොහැකි මට්ටමක් එනවා. ඒ නිසා ඔවුන්ගේ දක්ෂතා ඇහිරෙනවා. ඒ වගේම ඔවුන් ඒ රාමුවෙන් එළියට යන්න අකමැති කමක් මම දකිනවා. සමහර චරිත වෙනුවෙන් කැපවෙන්න අලුත් අය බයයි. නපුරු වෙන්න, වෙනස් වෙන්න බයයි. රංගන ශිල්පියෙක් වුණාම එහෙම වෙන්න බැහැ. තමන්ට ලැබෙන චරිතයෙන් තමන්ට කරන්න දෙයක් තියෙනවාද? ඒ තුළින් ප්‍රේක්ෂකයාට දෙන්න යමක් තියෙනවාද කියලා කල්පනා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම රාමුගත නොවී විවිධ චරිත මඟින් තමන්ගේ දක්ෂතාව පෙන්වන අලුත් රංගන ශිල්පීන් පිරිසකුත් ඉන්නවා. ඒ අය ගැන මට හරි සතුටුයි. ඒ අය තමන්ගේ පරාසය පුළුල් කරගන්න උත්සාහ කරනවා. ලංකාවේ රංගනය ගැන ඉගෙනගන්න ගොඩක් තැන් නැහැ. අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, සම්පත් ජයවීර වගේ රංගන ශිල්පීන් බොහෝම ටිකදෙනයි ඒ කර්තව්‍යය කරන්නේ. මම හිතනවා ඒ වගේ නාට්‍ය හා රංග කලාව ප්‍රගුණ කරපු අය තමන් දන්න දේවල් වැඩමුළු ඔස්සේ හෝ නවකයන්ට උගන්වනවා නම් ගොඩක් වටිනවා. සමහර නවක රංගන ශිල්පීන් ඉන්නවා ඒ වගේ දේවල් හොයාගෙන ගිහින් විෂයයේ ගැඹුර හදාරන්න උත්සාහ කරනවා. ක්ෂේත්‍රයේ නවකයින් හොඳ නැහැ කියලා මම කවදාවත් කියන්නේ නැහැ. ඔවුන් ඉතාමත් දක්ෂයි. තවත් දක්ෂතා රැසක් එක්කම රංගනයට එන අයත් ඉන්නවා. ඔවුන් සතුව නර්තනය, ගායනය ආදී විවිධ දස්කම් තියෙනවා. ඒක ලංකාවේ රංගන කලාවට හොඳ ලකුණක්. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි අදටත් අපේ ප්‍රවීණයන්ට ගරු කරනවා. අපි රඟපාන තැන විනය රකිනවා. සමහර නවකයෝ ඉන්නේ වෙනත් ලෝකවල. බ්ලූටූත් එක කනේ ගහගෙන රඟපාන අලුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් මට මුණගැහිලා තියෙනවා. පෙර පුහුණුවීම්වලදි දෙබසට අමතරව ඔවුන් වෙනත් දෙයක් කිව්වාම තමයි මට තේරෙන්නේ ඔවුන් බ්ලූටූත් එක හරහා වෙන ඇමතුමක ඉන්නේ කියලා. හැමදෙයකටම කලින් තමන් කරන වෘත්තියට ගෞරව කරලා ඒකට කැපවෙන්න ඕනේ. මෙහෙම හැසිරෙන්නේ ඉතාම අතළොස්සයි. ඒ හැරුණුකොට නවකයින් බහුතරය ඉතාම ධනාත්මකව අපිට බලාපොරොත්තු තැබිය හැකි බොහෝ දෙනෙක් අලුත් පරම්පරාවේ ඉන්නවා.


 


ඒ කියන්නේ දමිතා අබේරත්න වගේ සම්මානනීය චරිතාංග රංගන ශිල්පිනියන් නව පරම්පරාවෙන් බිහි වෙයි ද?


එහෙම බිහිවෙයි. මට හිතෙන විදිහට එහෙම බිහිවෙන්න ඕනේ. මම බලන නිර්මාණ බොහෝම අතළොස්සයි තියෙන්නේ. ඒ නිර්මාණවල ඉන්න අය බොහොම දක්ෂයි. ඒ අය අනිවාර්යයෙන්ම සම්මානවලට පාත්‍ර විය යුතුයි. නවකයින් අතර හොඳ අය දැක්කාම, රංගනයට ඔවුන්ගේ තියෙන දායකත්වය සහ කැපකිරීම දැක්කම ඒ ගැන හරි පෙරේතයි. ඒ වගේම මට හරි ආසයි, ලංකාවේ රංගන ක්ෂේත්‍රය තවත් හොඳීන් ඉදිරියට කරගෙන යන පිරිසක් ඉන්නවා කියලා හිතෙනවා.


 


රංගනය ගැන තමන් දන්න දේවල් නවකයින්ට විධිමත්ව උගන්වන්න කැමති නැද්ද?


මට ගුරුවරයෙක් වගේ උගන්වන්න තේරෙන්නේ නැහැ. ඒ සඳහා මම තව බොහෝ දේවල් ඉගෙන ගන්න ඕනේ. මහා සාගරයක් වගේ දෙයකින් එක දිය බිඳක් වගේ දෙයක් විතරයි මම දන්නේ. ඒ රංගනය කියන මහා සාගරය ගැන තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. හැමදාම ලෝකේ රංගනය කියන දේ යාවත්කාලීන වෙනවා. මේවා අපි ඉගෙනගන්නේ අන්තර්ජාලය හරහා. ඒත් ඊටත් වඩා මට විධිමත්ව ශාස්ත්‍රීය අංශයන්ගෙන් මේ විෂයය හදාරන්න පුළුවන් වුණොත් එදාට මම දන්න දේ අනිත් අයට උගන්වනවා. අනෝජා වීරසිංහ අක්කා එංගලන්තයේ ලැම්ඩා රංගන පාසලෙන් ඉගෙනගත්ත කෙනෙක්. මහේන්ද්‍ර පෙරේරා අයියා ආචාර්ය සොලමන් ෆොන්සේකා යටතේ ගුරුහරුකම් ලබපු අය. සම්පත් ජයවීරත් වේදිකාවේ බොහෝ කාලයක් ඉඳලා ඉතාම ප්‍රවීණ ශිල්පීන් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරලා තියෙනවා. මේ අයට පිළිගත හැකි මට්ටමේ දැනුමක් තියෙනවා. මටත් රංගනය ගැන වැඩිදුර හදාරන්න අවස්ථාවක් තිබුණොත් අනිවාර්යයෙන්ම රංගනය ගැන උගන්වනවා. ඒ හැර රූගත කිරීම්වලදී මගෙන් යමක් අහන ඕනෑම කෙනෙක්ට මම දන්න හැමදෙයක්ම රංගනය ගැන කියලා දෙන්න මම පැකිළෙන්නේ නැහැ.




වේදිකාව තුළ ඔබට මීට වඩා යමක් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?


වේදිකා නාට්‍ය සඳහා මට ගොඩක් අවස්ථා ලැබුණා. ඒත් අනෙකුත් රංගන කටයුතු සමඟ කාර්යබහුල වුණ නිසා තමයි මම වේදිකාව අතහරින්නේ. වෙදිකා නාට්‍ය ශිල්පීන් කියන්නේ ගොඩක් ලොකු කැප කිරීමක් කරන කොටසක්. ඔවුන් ඉතාම පොඩි වේතනයකට ලොකු කැප කිරීමක් කරනවා. මගේ ජීවිතයේ ඒ වගේ කැප කිරීමක් කරන්න අමාරු තැනක මම හිටියේ. ඒත් මම තවමත් ලංකාවේ වේදිකා නාට්‍යවල ඉන්න සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ට හිස නමා ආචාර කරනවා. වේදිකා නාට්‍ය තමයි රංගනය කියන එක හොඳටම හදාරන්න පුළුවන් එකම තැන. වේදිකා නාට්‍ය කියන්නේ සජීවී ප්‍රේක්ෂකාගාරයක් සමඟ සම්බන්ධ වෙන කලා මාධ්‍යයක්. එතැනදී තමයි අපිට රංගනයට මිණුම් දණ්ඩක් හදාගන්න පුළුවන්. මමත් වේදිකා නාට්‍ය කීපයකට සම්බන්ධ වුණා. ඒ වැඩ කරපු කුඩා කාලයේදී මම ඉගෙනගත්ත දේවල් බොහෝමයි. වේදිකාවක් උඩ අපේ රංගනය හසුරුවා ගන්නේ කොහොමද? කියන එක මම ඉගෙනගත්තා. ටෙලිනාට්‍යවලදී සහ සිනමාවෙදි අපිට දර්ශන තල තියෙනවා. ඒ අනුව හැසිරෙන්න පුළුවන්. ඒත් වේදිකාව තුළ සීමිත ඉඩකඩක අපිට අපිව මෙහෙයවාගන්න වෙනවා. මේ දේවල් නවකයින් පවා ඉගෙනගන්නවා නම් මම හරි සතුටුයි. ඒත් මට වේදිකාව තුළ වැඩි කලක් රැඳෙන්න හැකි වුණේ නැහැ. ඒ ගැන මම අදටත් කණගාටු වෙනවා. ඒත් මම වේදිකා නාට්‍ය නිතරම බලනවා.


 


මෙතෙක් රඟපෑ චරිත අතර වඩාත් සිත්ගත් චරිත පෙළගස්වන්න කිව්වොත්?


මම කැමතියි "සෙනෙහෙවන්තයෝ", "අවිඳු අඳුර" ටෙලිනාට්‍යවලට. ඒ වගේම මගේ පළවෙනි ප්‍රධාන චරිත නිරූපණය කරපු "දඬුබස්නාමානය" ටෙලිනාට්‍යයට කැමතියි. ඒ වගේම "සුළං කිරිල්ලි", "ප්‍රවේගය", "බඹර වළල්ල" යන චිත්‍රපටවල මම නිරූපණය කරපු චරිතවලට මම කැමතියි. පොදුවේ ගත්තොත් මම රඟපාපු හැම චරිතයකටම කැමතියි.


 


කොහොමද එකිනෙකට වෙනස් මේ චරිතවලට අවතීර්ණ වෙන්නේ?


නළුවෙක් හෝ නිළියක් මැටි පිඩක් වගේ වුණොත් තමයි ඕනේ විදිහකට රූපයක් අඹාගන්න පුළුවන් වෙන්නේ. මැටි ගොඩ අනලා ඕනේම හැඩයකට හදාගන්න පුළුවන්නේ. එහෙම වුණාම අධ්‍යක්ෂවරයාට හරි පහසුයි ඒ රංගන ශිල්පියා හෝ ශිල්පිනියව එයාට ඕන විදියට හසුරවන්න. මම පිටපතක් කියවලා චරිතය ගැන දේවල් මවාගෙන රඟපාන්න ගියොත් මම හිතපු එක නෙවෙයි නම් අධ්‍යක්ෂවරයාට ඒ චරිතයෙන් අවශ්‍ය වෙන්නේ එතකොට ඒ චරිතය අසමත් වෙනවා. මම කියන්නේ හොඳ අධ්‍යක්ෂවරුන් ගැන. ගොඩක් අධ්‍යක්ෂවරු ඉන්නවා නළු නිළියන් හරහා ගොඩයන්න. නළු නිළියො තමයි ඒ චරිත උලුප්පලා, ලස්සනට ගොඩනඟලා අධ්‍යක්ෂවරුන්ව ගොඩදාලා තියෙන්නේ. එහෙම අධ්‍යක්ෂවරු කොටසකුත් ඉන්නවා. ඒත් මම කතා කරන්නෙ තමන්ගෙ ඔළුවේ දැක්මක් තියෙන නිර්මාණය ගැන ආකල්පයක් තියෙන අධ්‍යක්ෂවරයෙක්ට ඒ චරිතය මගෙන් මවාගන්න පුළුවන් වෙන්නේ මම මැටි පිඩක් වගේ දර්ශනතලයට ගියොත් තමයි. ඒ නිසා මම දර්ශන තලයට යන්නේ පිටපත නිකන් කියවලා හිස් ඔළුවක් තියාගෙන. ඒ වගේම සමාජයෙන් චරිතයට ගන්න පුළුවන් දේවල් මම ගන්නවා. ඉනෝකා සත්‍යාංගනී අධ්‍යක්ෂණය කරපු "සුළං කිරිල්ලි" චිත්‍රපටය රඟපාද්දි ඉනෝකා අක්කා මාව වෙළෙඳ කලාපයට එක්කන් ගිහින් ඒ දේවල් පෙන්නුවා. මම දකින දේවලින් මම චරිතය ගැන හිතට කොටසක් දාගන්නවා. මම හිතට දාගන්න කොටසයි අධ්‍යක්ෂවරයාට අවශ්‍ය කොටසයි දෙක සම්මිශ්‍රණය වෙන්නේ මම චරිතය නිරූපණය කරන වෙලාවට විතරයි. මේ වගේ විවිධ තලවල චරිත රඟපාන්න ජීවිතයේ අපිට අත්දැකීම් ඕනේ. ඒ දේවල් දැකලා විඳලා මිනිස්සු ආශ්‍රය කරලා තියෙන්න ඕනේ. රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් තමුන්ගේ අත්දැකීම් වගේම දැකපු දේවල් බොහෝමයක් ප්‍රතිනිර්මාණය කරනවා චරිතවලින්. අදටත් මම මේ මහපොළොවට බැහැලා මිනිසුන් ආශ්‍රය කරනවා. ඔවුන්ගේ චරිත නිරීක්ෂණය කරනවා. ඒ චරිත නිරූපණය කරද්දි එක චරිතයක තියෙන ලක්ෂණ නෙවෙයි, ඒ වගේ චරිත ගොඩක තියන ලක්ෂණ එකතු කරනවා රංගනයට. එහෙම එක්කරගන්නේ අධ්‍යක්ෂවරයාට ඕනෑ දේට ඒ දේවල් ගැළපෙනවා නම් පමණයි.


 


නැවතත් කලා නිර්මාණයක් අධ්‍යක්ෂණය හෝ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැද්ද?


මම කලා නිර්මාණ කීපයක් නිෂ්පාදනය කළා. ඒ වගේම "සසර සරණිය" ටෙලිනාට්‍යයත් අධ්‍යක්ෂණය කළා. "සසර සරණිය" ටෙලි නාට්‍යය තමයි ප්‍රේමසිරි කේමදාස මාස්ටර් අවසානයට සංගීත අධ්‍යක්ෂණය කරපු ටෙලිනාට්‍යය. ඒ තේමා ගීතය ගායනා කරන්නෙ ඉන්දිකා උපමාලි. කේමදාස මාස්ටර් මට සින්දුව හදලා දුන්නා. ඒත් ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නවත් මාස්ටර් ජීවත් වුණේ නැහැ. මට සින්දුව හදලා දීලා මාස්ටර් රෝහල්ගත වුණා. මම භාග්‍යවන්තයි එතුමාව මගේ නිර්මාණයකට සම්බන්ධ කරගන්න ලැබුණු එක ගැන. හොඳම තේමා ගීත නිර්මාණය වෙනුවෙන් සම්මාන උලෙළ කීපයක එතුමාගේ නම යෝජනා වුණා. සසර සරණියේ රඟපෑමට කෝකිල පවන් පුතාට හොඳම ළමා නළුවා වෙනුවෙන් සම්මාන ලැබුණා. ඉන්දිකා උපමාලි හොඳම ගායිකාවට නම් වුණා. ඒ ජයග්‍රහණය ගැන මම අදටත් සතුටු වෙනවා. මං තුළ අධ්‍යක්ෂවරියක් ජීවත් වෙනවා. තව ටික කාලයක් ඉඳලා අධ්‍යක්ෂණයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙනවා. තව අත්දැකීම් ගොඩක් එකතු කරගෙන දවසක හොඳ නිර්මාණයක් කරනවා. මම කලාවට හරි පෙරේත මනුස්සයෙක්. ඒ වගේම හොඳ කලා නිර්මාණවලටත් ආසයි. මගේ ක්ෂේත්‍රයට හොඳ නිර්මාණ දීලා මැරෙන්න තිබුණොත් මට ඇති.


 


මේ දවස්වල කෙරෙන අනෙකුත් කලා කටයුතු ගැන කිව්වොත්?


ස්වාධීන රූපවාහිනියේ විකාශය වන සාලින්ද රත්නායකගේ අධ්‍යක්ෂණයක් වුණ "පෝර්ක් වීදිය" ටෙලිනාට්‍යයේ මම රඟපානවා. කොරෝනා වසංගතයත් එක්ක අපි දැක්කා ගොඩක් හොඳ වෘත්තීන් කරන අය තමන්ගේ පෞද්ගලික වාහනයේ ඇවිත් පෝර්ක් සහ පොල්‍ රොටි පාර අයිනේ තියාගෙන විකිණුවා. එය ආශ්‍රිතව ගොඩනැඟුණු කතාවක් මේක. ධර්මප්‍රිය ඩයස්ගේ බිරිඳ වන කමනිගේ චරිතය මම රඟපාන්නේ. වයසට ගියත් ආදරයෙන් නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන භාර්යාවකගේ චරිතයක් ඒක. ඔවුන්ට ප්‍රශ්න මිරිකෙන්න තිබුණත් ඒ ප්‍රශ්න එක්ක සැහැල්ලුවෙන් විනෝදෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම සුරංග අල්විස් චිත්‍රපටයකට ආරාධනා කළා"අධධථ ව්ධ. 106" කියලා. ළඟදීම එහි රූගත කිරීම් ආරම්භ වෙයි. ඒ වගේම මීට කලින් මම රඟපාපු තට්ටු දෙකේ ඉස්කෝලේ, කබඩි, හිතුමතේ ජීවිතේ යන චිත්‍රපට තුනම ඕස්ට්‍රේලියාවේ තිරගත වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකික රසිකයන්ගෙන් ඒ සඳහාත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


 


දමිතා අබේරත්න කියන සම්මානනීය රංගන ශිල්පිනියගේ කාර්යසාධනයෙන් නවක රංගන ශිල්පීන් ශිල්පිනියන්ට ගන්න තියෙන හරය මොකක්ද?


කලාකරුවා කියන කෙනා හොඳ මනුස්සයෙක් වෙන්න ඕනේ. අනෙකාව දැනෙන, අනෙකාට ගරු කරන, සමාජයේ සියලුදෙනා දිහා සංවේදීව බලන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. මං තුළ එහෙම කෙනෙක් ඉන්නවා. සතා සිවුපාවාට ආදරය කරන ඕනෑම කෙනෙකු දිහා සංවේදීව බලන්න පුළුවන් හිතක් මට තියෙනවා. ඒ තුළ තමයි අපිට කලාව අතපත ගාන මිනිස්සු වෙන්න පුළුවන් වෙන්නේ. ගස්වල කොළ සුළඟට වැනෙන රිද්මය පවා දැනෙන, මිනිස්සුන්ගේ හුස්ම පවා දැනෙන කෙනෙක් වෙන්න පුළුවන් නම් හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන් නම් තමයි කලා ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙන්නේ. මං තුළින් දෙන්න උත්සාහ කරන්නේ ඒ පණිවිඩය.






පබෝධාගේ අඩුව පුරවන්න පැමිණි පෝෂිණී

 


 


සකුගේ කතාව ටෙලි නාට්‍යයේ වාසනාගේ චරිතය අතිශය ආදරයට පාත්‍ර වූ චරිතයක්. මේ වෙද්දි සකූගේ කතාව ටෙලි නාට්‍යයේ දෙවෙනි කොටසත් ඇවිත්. පෙර තිබූ චරිතත් එසේම තියෙනවා. නමුත් වාසනාගෙ චරිතය වෙනුවෙන් පබෝධා සංදීපනී වෙනුවට අලුත් මුහුණක් එකතු වුණා. ඇය පෝෂිණී දිසානායක. අද අප කතාබහ කරන්නේ වර්තමානයේ සකූගේ කතාවේ වාසනාගේ චරිතයට පණ පොවන පෝෂිණී දිසානායක සමගයි.


පෝෂිණී මේ ඔබේ පළමු ටෙලි නාට්‍ය අත්දැකීමද?

නැහැ, මම මීට ඉස්සර ටෙලි නාට්‍ය කිහිපයක චරිත රඟපාලා තියෙනවා. ඒත් සකූගේ කතාවේ වාසනාගෙ චරිතය තමයි මට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් ලැබුණ පළමු අවස්ථාව.


පෙර රසිකයන් අතර තිබූ වාසනාගේ චරිතය කරත්දි ඔබට මුහුණ දෙන්න සිදුවුණ සිදුවීම් මොනවාද?

පබෝධා සංදීපනි කියන්නේ ප්‍රවීණ නිළියක්නේ. ඇය කරපු චරිතයක් මම කරනවා කියන්නෙ නවකයෙක් විදිහට මට විශාල අභියෝගයක්. අනිත් කාරණය මේක අලුත්ම නිර්මාණයක අලුත්ම චරිතයක් නෙවෙයිනේ. පෙර රසිකයන් රස විඳපු නිර්මාණයක් නිසා ඒ අයගේ රසයට වෙනසක් නොවෙන විදිහට මට චරිතය කරන්න මම ලොකු උත්සාහයක් ගත්තා. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂතුමාත් මට චරිතය නිවැරදිව හැඩ ගස්වා ගන්න ලොකු සහායක් දුන්නා.


විශේෂයෙන්ම පෝෂිණීට පබෝධාගේ බාහිර පෙනුම ගන්න මොනවද කළේ…

මම පබෝධා අක්ක වගේ නෙවෙයි. ඒත් මම ඒ විදිහට හැඩගැහුණා. උපතින්ම මට තිබුණෙ රැළි කෙස්කළඹක්. හැබැයි මම ඒ කොණ්ඩෙට කැමැති නැති නිසා කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා හිටියේ. වාසනාගෙ චරිතය ලැබුණට පස්සෙ පබෝධා අක්කගෙ කොණ්ඩය ක්‍රේල් නිසා ආයෙත් මම කොණ්ඩෙ ක්‍රේල් කළා.


පෝෂිණීට වාසනා නිසා දැන් හොඳ ප්‍රතිචාර තියෙනවද…

මේ දවස්වල මම වැඩියෙන් පාරෙ යන්නෙ නැහැ. මොකද අපිට කියලා තියෙන්නේ වැඩියෙන් පාරෙ එහේ මෙහේ ඇවිදින්න එපා කියලා. කොරෝනා බෝවුණොත් මුළු සෙට් එකටම බෝවෙනවනේ. ඒත් ගෙදරට කෝල්ස් එනවා ගොඩක් අය හොඳයි කියනවා. දැන් දැන් යූටියුබ් එකෙනුත් ප්‍රතිචාර දකින්න ලැබෙනවා. මුලින්ම නම් ටිකක් රසිකයන් මාව පෙර පබෝධා අක්ක එක්ක සසඳන ගතියක් තිබ්බා. දැන් ටිකක් ඒ තත්ත්වය අඩුවෙලා. මට කැමැති පිරිසක් ඉන්නවා කියලා දැනෙනවා.


පෝෂිණීට රඟපාන්න එන්න හිතක් ඇතිවෙන්නේ කොයි කාලෙද?

අපේ අම්මා හරි ආසයි මේ ක්ෂේත්‍රයට. අම්මා පොඩි කාලේ දරුවනේ චිත්‍රපටයේ නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට මාව එක්ක ගිහින් ඒකෙන් තේරිලා දරුවන් චිත්‍රපටයෙ ළමා නිළියක් විදිහටයි ක්ෂේත්‍රයට ආවේ. එතකොට මට අවුරුදු 13 ක් විතර ඇති. ඊට පස්සෙ වීරෝ නීරෝ කියලා චිත්‍රපටයක රඟපෑවා.


පෝෂිණීගෙ ඉදිරි බලාපොරොත්තු…

චරිතාංග නිළියක් විදිහට හොඳ චරිත කරන්න ආසයි. ඒත් ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තු නැහැ. වාසනාගෙ චරිතය වගේ ගැමි චරිත හා මට ගැළපෙන චරිත රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. වෙන රුකියාවක් කරන්න කැමැත්තක් නැහැ. හැබැයි මම ආසයි විදේශ රටකට යන්න.


රංගන ක්ෂෙත්‍රයේ අලුත් ගැහැනු ළමයෙක්ට බලපෑම්වලින් මගහැරිලා ඉදිරියට එන්න පහසු නැහැ කියන කාරණය ඔබටත් බලපෑවද …

මට එහෙම බලපෑම් ඇතිවෙලා නැහැ. වාසනාවකට හොඳ අධ්‍යක්ෂවරු තමයි මට හම්බ වුණේ. ඒ වගේම බුද්ධදාස විතානච්චි සර්, ප්‍රසන්නජිත් සර්, කීර්ති රත්නායක සර්, ජයලත් මනෝරත්න සර්, මීනා කුමාරි අක්කා වගේ අය එක්ක රඟපාන්න ලැබිලා තියෙනවා. ඒ අයගෙන් ගොඩක් ගුරුහරුකම් ලැබෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ බලන්න කියලා උපදෙස් ලැබෙනවා. කැපිලි කෙටිලි, කටකතා බලපෑම් මට නම් අත්විඳින්න වෙලා නැහැ.


පෝෂිණී පූර්වාදර්ශ කරගත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවද?

ලංකාවෙන් නම් මම මාලනී ෆොන්සේකා මහත්මියටයි, චාන්දනී සෙනෙවිරත්න මහත්මියටයි කැමැතියි. ඉන්දියාවෙන් ධනුෂ්ට ආසයි. දෙමළ, මලයාලම් චිත්‍රපට බලන්න තමයි ගොඩක් ආස. මම නිතරම චිත්‍රපට බලනවා.


පෝෂිණීගේ පුද්ගලික තොරතුරු මොනවද?

සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තෙ රද්දොළුගම ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලෙන්. උසස් පෙළ සඳහා මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට ඇතුළත් වුණා. මම පදිංචි වෙලා ඉන්නේ ජාඇල, ඒකල. අපේ පවුලෙ අම්මයි, තාත්තයි, මායි, අක්කයි ඉන්නෙ. අක්කා විවාහ වෙලා. තාත්තා පුද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. අම්මා ගෘහණියක්.


විවාහය සහ ආදරය ගැනත් කතා කරමුද?

තවම විවාහ වීමේ අදහසක් නැහැ. මට තවම අවුරුදු 23යි. මම මේ ක්ෂේත්‍රයටත් ආවා විතරයිනේ. මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් වුණොත් හොඳයි. හැබැයි මම හිතාගෙන ඉන්නේ නිර්මාණවලට සම්බන්ධ වෙලා වැඩ කරලා පසුව මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙලාම විවාහ වෙන්නයි.


ධම්මිකා සුරංජි පතිරණ





පොඩ්ඩි ඉස්සරහට තවත් වෙනස් වේවි- නිම්මි මනෝහාරි



ඇය අධ්‍යාපනය ලැබුවේ මහනුවර ශ්‍රිපාලි බාලිකා මහා විදුහලෙනි. එවකට පාසලේ විකට රැජින ඇයයි. නිරන්තරයෙන්ම තම පාසල් යෙහෙළියන්ගේ මනදොළ පිනවාලන්නට තරම් ඇය සමත් වුවාය. ඒ මෙරට කලාවේ ප්‍රවීණයන්ගේ විවිධ කලා අංගයන් අනුකරණයන් ලෙස ඉදිරිපත් කරමිනි. එමෙන්ම විවිධ නර්ථන අංගවලින්ද එය ඉදිරිපත් කරමින් යෙහෙළියන් නිතර සතුටු කළාය. පාසලේ මාධ්‍ය ඒකකයේ නිවේදිකාවක ලෙසින් ද ඈ ජනප්‍රිය වූවාය. අධ්‍යාපනයෙන් අනතුරුව ඇය ප්‍රා‍දේශීය ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් ලෙසද කටයුතු කළාය. අද වන විට සිය දිවියේ තවත් එක් කඩඉමක් පසුකරමින් ඇය රංගන ශිල්පිනියක බවට ද පත් වී හමාරය. ඒ ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාවෙන් සතියේ දින පහේම රාත්‍රි 9.30 විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය තුළිනි. ඇය එහි එන සංගීත මාස්ටර්ගේ පොඩි දුව 'පොඩ්ඩී' හෙවත් අංජලිගේ චරිතයෙන් අපගේ ආලින්දය සරසන්නීය. පිරිපුන් රුවැති නවක නිළියක් වන ඇය නිම්මි මානෝහාරි නම් වේ.


නිම්මි ඉන්නනේ කොහෙද?


මහනුවර පේරාදෙණියේ


 පවුලේ විස්තර කිව්වොත්?


අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. අම්මා හෙදියක්, තාත්තා ඉදිකිරිම් ක්ෂේත්‍රයේ රැකියාවක් තමයි කරන්නේ. මල්ලි තවම ඉගෙන ගන්නවා.


 

නිම්මි අධ්‍යාපනය ලැබුවේ?


මහනුවර සීතා දේවී බාලිකා මහා විදුහලෙන්



උසස් පෙළට කළේ මොනවාද?


කලා විෂයන් තමයි කළේ. සිංහල, නර්ථනය, මාධ්‍ය අධ්‍යාපනය යන විෂයන්


 


ඒ කාලේ ඉස්කෝලේ විකට රැජිනක් වුණා කියලත් ආරංචියි?


ඔව් අයියා. ඒ කාලයේ මම විවිධ ගායක ගායිකාවන්ගේ නළු නිළියන්ගේ හඬින්, හැඩයෙන් ඒවා අනුකරණය කරමින් ඉදිරිපත් කිරිම් කරනවා. ඉතින් පාසලේ මගේ යෙහෙළියන් අතර ජනප්‍රිය වුණා. එහෙම තමයි ඉතින් මම පාසලේදි ගොඩාක් දෙනා අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වූණේ. ඒ වගේම මම නර්ථන ශිල්පිනියක් හා පාසලේ මාධ්‍ය ඒකකයේ නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා.


 


ඒ කියන්නේ කලාවට මූලික පසුබිම ලැබුණේ ඔබේ පාසලෙන්මද?


අනිවාර්යනේම එතනින් පටන් ගත්තු ගමන තමයි අද මං මේ දක්වා යම්තාක් දුරකට ඇවිත් ඉන්නේ. ඊට පස්සේ මම පාසල මඟින් එතැනදි මට මුද්‍රිත මාධ්‍යය පිළිබඳව පුහුණු පාඨමාලාවක් හදාරන්නත් අවස්ථාව ලැබුණා.


 


නිම්මි ප්‍රාදේශීය වාර්තාකාරිනියකුත් වුණා නේද?


ඔව්. මට උසස් පෙළින් පස්සේ ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් ලෙස පුහුණු වෙන්නත් අවස්ථාවක් ලැබුණා අවුරුද්දකට ආසන්න කාලයක්. ඊට පසුව මම පෞද්ගලික රූපවාහිනි නාළිකාවක ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකාරිනියක් ලෙසත් කෙටි කලක් වැඩ කටයුතු කරගෙන ගියා.


 


ඔබ රැකියාවකත් නිරත වූණා නේද?


ඔව් ඊටත් පස්සේ තමයි මට පෞද්ගලික සංචාරක හෝටලයක උත්සව සම්බන්ධීකරණ නිලධාරිණියක් ලෙස රැකියාවක්ලැබුණේ. මෑතක සිට ආ දැඩි කොරෝනා තත්ත්වය හමුවේ රැකියාව අවදානමට ලක් වුණා. ඒ නිසා රැකියාව දැන් කරන්න අවස්ථාව නැති වෙලා තියෙන්නේ.


 


එතකොට රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


මගේ ඥාති සහෝදරයෙකුගේ මාර්ගයෙන් තමයි ඒ අවස්ථාව මට ලැබෙන්නේ. මුලින්ම මේ සඳහා මට රඟපාන්න එන්න කිවාම මම එයට දායක වෙන්න එතරම් කැමැත්තක් තිබුණේ නෑ. මොකද මම ගෙදරම හිටිය ලැජ්ජාශීලී අයෙක් නිසා. පස්සේ මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමාම මට කතා කරලා කරුණු පැහැදිලි කරලා දීලා කිවා මෙන්න මේ වගේ දෙයක් තමයි ඔයාට කරන්න තියෙන්නේ. එක කරන්න පුළුවන්ද කියලා එක පාරක් මෙහාට ඇවිත් බලන්න කියලා. පස්සේ මගේ අම්මත් මාව මේ සදහා උනන්දු කළ නිසා මම ගිහින් එයට සම්බන්ධ වුණා.


 


ප්‍රථම රංගන අත්දැකීම නිම්මිට දැනුණේ කොහොමද?


ඇත්තටම මං ඉස්සෙල්ලා කීවා වාගේ මං ලැජ්ජාශීලි අයෙක් නිසා මුලින්ම ඒක කරන්න ගියාම චකිතයක් බයක් දැනුණා. මොකද මම අලුත් නිසා මට ප්‍රථමයෙන්ම තමයි මේ විදිහට රඟපාන්න අවස්ථාව ලැබුණේ. අනික ඒ මේ රටේ රංගන කලාවේ ප්‍රවීණයන් එක්ක. (ප්‍රසන්නජිත් සර්, මීනා අක්කා, සෙනාලි අක්කා) පස්සේ මගේ බය ප්‍රසන්නජිත් සර් තමයි නැති කළේ. ඉතින් ඒදා ඉඳලා අද වෙනකල් මං මේ වැඩේ හොඳට කරගෙන යනවා. අදටත් ඒ අය හැමෝගෙන්ම වාගේ මට ලොකු සහයෝගයක් ලැබෙනවා.


 


නිම්මිට ලැබුණු ඒ චරිත ගැන කිව්වොත්?


මාස්ටර් සර්ගේ පොඩ් දුව පොඩ්ඩි (අංජලි) කියන්නෙම නිශ්ශබ්ද චරිතයක්. ඒත් ගෙදරදි ටිකක් කටකාර කතා බහ වැඩි කෙනෙක්. මාලන්ගේ විවිධ කතාවන් අනුකරණය කරමින් ඔහුට ඇද කිරිම තමයි කරන්නේ. ඉදිරියට මේ චරිතය විකාශයේදී ලොකු වෙනසක් දකින්න ලැබේවි. ඒ නිසා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය දිගටම නැරඹුවොත් ඒ තත්ත්වය දැක බලා ගන්න පුළුවන්. මං ආරාධනා කරනවා හැමෝටම මේ ටෙලි නාට්‍යය අතපසු නොකර නරඹන්න කියලා.


 


මාස්ටර් සර්ගේ පොඩි දුව අංජලිට මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම කියන්න ගොඩාක් සතුටුයි අයියේ. කෙටි කාලයක් ඇතුළත මට ලැබුණු මේ ප්‍රතිචාර ඉතාම අගය කරනවා. ප්‍රේක්ෂකයන් එයට ප්‍රතිචාර මට සජීවීවම ලබා දෙනකොට මට ඒක මුලින් අමුතු දෙයක් විදිහටයි දැනුණේ. නාඩගම්කාරයෝ ටීම් එකේ අයගේ පසුගිය අප්‍රේල් මාසයේ අවුරුදු උත්සවයක් පැවැත්වූවා. ඒක දැක බලා ගන්න අම්පාර, බදුල්ල, මහියංගනය, ත්‍රිකුණාමලය වාගේ ප්‍රදේශවලින් එදා පිරිස් ඇවිත් හිටියා. ඒ අය එකතු වෙලා මාව සෙල්ෆි ගන්නකොට එහෙමත් මුලින්ම මට අමුත්තක් දැනුණා. ඒත් දැන්නම් එහෙම නෑ. ඒක සාමාන්‍ය දෙයක්.


 


වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්නද නිම්මිගේ කැමැත්ත?


මම තවම එහෙම වෘත්තීයමයව මේක කරන්න හිතාගෙන නෑ. මොකද මං මේ ක්ෂේත්‍රයට අලුත් නිසා. මේකේ මට ගොඩාක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. රංගනය ගැන ඉතාම සුළුවෙන් තමයි මම දන්නේ. ඉස්සරහට මං රංගනය ගැන හැදෑරිමක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.


 


ඔබේ මුහුණ සහ ඇඟපත ලස්සන කරගන්න විශේෂ මොනවා හරි භාවිත කරනවාද?


මම එහෙම කෘත්‍රිම විශේෂ දේවල් කිසිවක් පාවිච්චි කරන්නේ නෑ. සාමාන්‍යයෙන් කෑම බීම ගන්නවා. ඒවාවලින් වගේම මගේ ආගම දහමට අනුව ජිවත්වෙමින් පිරිසිදු සිතකින් කිසිවෙකුට ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නොකර සැහැල්ලුවෙන් තමයි මම ජිවත් වෙන්නේ. පුළුවන් විදිහට හැමෝටම උදව් කරමින් ජිවත් වෙන්න මම කැමතියි. ලස්සන කියන දේ ස්වාභාවයෙන්ම එන්න ඕනේ දෙයක්. මම එය කෘත්‍රීමව ලබා ගන්න උත්සාහ කරන්නේ නෑ.


 


නිම්මිගේ සැබෑ ජිවිතේ වෙනසක් වෙන්නත් දැන් කාලේ හරි නේද?


නෑ අයියේ, ඒකට තව කල් තියෙනවා.


 


දැන් ඔබට පෙම්වතෙක් එහෙමත් ඉන්නවාද?


තවම නෑ.


 


ගෙදරින් ඔබට ගෙනෙන යෝජනාවකටද? ප්‍රේම සබඳතාවයකින් නිම්මි විසින්ම ක්ෂේත්‍රයේම කෙනෙක් හොයා ගෙන විවාහ කරගන්නද වැඩි කැමැත්ත. ?


එහෙමම කියලත් නැ.


 තව අවුරුදු කීයකින් විතර විවාහ වෙන්නද බලාපොරොත්තුව?


මම තවම ඒ ගැන සැලසුම් කරලත් නෑ.


 


ඔබට මෙහිදී මතක් කළ යුතු අය සිටිනවාද?


නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රචක සද්ධාමංගල සූරියබණ්ඩාර, එහි අධ්‍යක්ෂ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් නිෂ්පාදක චාමර සමරවික්‍රම යන මහතුන් මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙහි එන නළු නිළියන් ඇතුළු ඊට දායක වන කාර්යමණ්ඩලයේ සියලු දෙනාටමත් මට මේ විදිහට ප්‍රථම වරට කතා කරපු සරසවිය පුවත්පත සහ මාධ්‍යවේදී ඔබ, මගේ ප්‍රේක්ෂක ජනතාව අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ. ඒ හැමෝටම මේ අවස්ථාවේදි ස්තුතිවන්ත වෙනවා.







තව සති දෙක තුනකින් මගේ මුල්ම ඇල්බම් එක එළියට එනවා - දුමාල් වර්ණකුලසූරිය

 




දුමාල් වර්ණකුලසූරිය කියන්නේ නව පරපුරේ දක්ෂ ගායකයෙක්. ඒ වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක්. හැබැයි දුමාල් ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳන්ම යන්නේ වෙනස් ගමනක්. ඒ ගමනට කැමැති බොහෝ දෙනෙක් දුමාල් එක්ක එකතු වෙලා ඉන්නවා. දුමාල් අලුත් විදියේ වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා. ඒ හැම දෙයක් ගැනම දුමාල් මෙන්න මේ විදියට පුවතපතක් සමඟින් පවසා තිබුනා. 


දුමාල් අලුත් වැඩ කිහිපයකටම අත ගහලා කියලා දැනගන්න ලැබුණා?

ඔව්. ගිය සතියේ “කාලය” කියලා අලුත් සිංදුවක් එළියට දැම්මා. ඒ වගේම අභිසාරිකාවන්ගේ ගැටලු ගැන කතා කෙරුව ගීතයකුත් එළියට ආවා. ඒ වගේම තවත් ගීත කිහිපයක්ම එළියට එන්න තියෙනවා.


ඒ එක්කම දුමාල්ගේ මුල්ම ගීත ඇල්බම් එකේ වැඩ කටයුතු අවසන් බවකුත් අපිට දැනගන්න ලැබුණා. ඒ ගැනත් මතක් කරමු?

ඔව්. තව සති දෙක තුනකින් මගේ මුල්ම ගීත ඇල්බම් එක එළියට දාන්න ඉන්නේ. ඒ වගේම දෙවැනි ඇල්බම් එකෙත් ගීත කිහිපයක් දැන් පටිගත කරලා ඉවරයි.


පළමුවැනි ගීත එකතුව එළියට එන්න පරක්කු වුණා වැඩි නැද්ද?

පරක්කුවක් තියෙනවා. මම මේ වෙද්දි මගේම කියලා ගීත 150ක් විතර ගායනා කරලා තියෙනවා. ඒ වුණත් ගීත ඇල්බම් එකක් කරන්න ඕනෑ කියලා මම හිතාගෙන හිටියේ නැහැ. ඒ හින්දා ඒ ගැන උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් මගේ රසිකයන්ගෙන් නිතරම ඒ ඉල්ලීම ආවා. වාහනයක යද්දි හරි අහන්න ගීත එකතුවක් ඕනෑ කියලා ඒ අය ඉල්ලීම් කළා. ඒ හින්දයි ගීත ඇල්බම් එකක් කරන්න හිතුවේ.


මේ ගීත ඇල්බම් එකේ තියෙන විශේෂත්වය ගැන කතා කළොත්?

ඉන්ද්‍රජිත් මිරිහාන කියන සංගීත අධ්‍යක්ෂවරයා සංගීතවත් කෙරුව ගීත තමයි මේ ඇල්බම් එකට ඇතුළත් වෙන්නේ. ඒ අතරේ විවිධ පද රචකයෝ රචනා කෙරුව විවිධ ස්වරූපයේ ගීත තියෙනවා.


මුල්ම ගීත එකතුවට එකම සංගීත අධ්‍යක්ෂවරයෙකුගේ ගීත විතරක් තෝරා ගත්තේ ඇයි කියලා ඇහුවොත්?

ඒක වෙනසක් වේවි කියලා මම හිතනවා. මම දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 11ක් වෙනවා. ඒ කාලයෙන් අවුරුදු 10ක්ම මම ඉන්ද්‍රජිත් අයියා එක්ක වැඩ කරලා තියෙනවා. ඉන්ද්‍රජිත් අයියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ටේ්‍රලියාවේ. මාත් එහෙ ගිහින් ඉන්න අතරෙදි තමයි ඉන්ද්‍රජිත් අයියා මේ යෝජනාව කළේ. යෝජනාව ඇවිල්ලත් අවුරුදු කිහිපයක් යනකම් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ.


ඔබේ ගීත මොනතරම් තිබුණත්, ඒ සියල්ලටම වඩා දියවන්නා කුමාරියේ ගීතය ජනප්‍රිය වුණා නේද?

ඒක මගේ ගීතයක් නෙවෙයි. ඒක නාද කණ්ඩායමේ ගීතයක්. මම හිතන්නේ කණ්ඩායම් ගීතයක් එක්ක තනි ගීත සන්සන්දනය කරන එක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මගේ තනි ගීත ජනප්‍රිය නොවුණා කියලත් කියන්න බැහැ. මම ගායනා කෙරුව චිත්‍රපට සහ ටෙලිනාට්‍ය ගීත කිහිපයක් අතිශය ජනප්‍රිය වුණා.


ඔබ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ගීත අතරට කොටු වෙලා ඉන්න බවකුත් පේනවා. ඔබේ වෙනත් ගීත ජනප්‍රිය නොවෙන්න ඒකත් එක හේතුවක් නේද?

මම එතැනට කොටු වෙලා කියලා කියන්න බැහැ. මගේ හඬ ඒ නිර්මාණවලට ගැලපෙනවා කියලා චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරු හිතනවා ඇති. ඒ හින්දා ඒ අය මට ආරාධනා කරනවා. ඒ වගේම මගේ ආරයේ ගීත ලංකාවේ ජනප්‍රිය නොවන බවකුත් පේන්න තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ.


එතැනින් වෙනස් වෙලා මීට වඩා ජනප්‍රිය වෙන්න පුළුවන් විදියේ නිර්මාණයක් කරන්න ඔබට අදහසක් නැද්ද?

මම වෙනස් හැඩයේ නිර්මාණ කරනවා. දැනුත් කරමින් ඉන්නවා. ඒත් කිසියම් නිර්මාණයක් කරද්දි, මේක ජනප්‍රිය වේවිද නැද්ද කියන එක මම පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ඒ නිර්මාණයේ ගුණාත්මකභාවය රැකගෙන හොඳ නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක විතරයි මම හිතන්නේ.


දුමාල් ක්ෂේත්‍රයට ආව කාලය ගැන අපි කලින් කතා කළා. එදා ඉඳන් ආව ගමන ගැන දැන් මොකද හිතෙන්නේ?

රියැලටි වැඩසටහනක් හරහා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මාව හැමෝම හඳුනාගත්තේ එතැනින්. ඒත් ඒකෙදිත් මම ගායනා කළේ වෙනස් විදියේ ගීත. අපේ රටේ ප්‍රවීණයන්ගේ ගීත තමයි මම ගායනා කළේ. මමත් ඒ විදියේ වෙනස් ගමනක් යාවි කියන බලාපොරොත්තුව ඒ වැඩසටහන අතරතුර මා වටා එකතු වුණු ප්‍රේක්ෂකයන්ට ඇති වුණා. මං හිතන්නේ අද වෙද්දි මං ඒ අයගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා තියෙනවා. අදටත් ඒ පිරිස මගෙ වටේ ඉන්නවා.


එදා සහ අද අතර වෙනස මොන වගේද කියලා ඇහුවොත්?

එදත් මා වටේ එකතු වුණේ වෙනස් රසයක් හොයපු පිරිසක්. අද වෙද්දි මම සම්මාන ලබා ගනිමින්, චිත්‍රපට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙමින් මගේ රසික පිරිස වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම මං ගැන තබපු බලාපොරොත්තු මම ඉටු කරලා තියෙනවා.


මොනවද අනාගතයෙදි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න වෙනස් විදියේ වැඩ?

එහෙම ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් වෙනස් විදියේ වැඩ කිහිපයක්ම තියෙනවා. මගේ ගීතයක් පසුබිම් කරගෙන නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් එන්න තියෙනවා. මං හිතන්නේ ඒක කවුරුවත් මගෙන් බලාපොරොත්තු නොවන විදියේ වැඩක් වේවි.






වෙනස් ඕනේම දෙයක් කරනවා - චුලක්ෂි රණතුංග

 





සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් ලෙසට චුලක්ෂි රණතුංග අපට හඳුන්වන්නට පුළුවන්. ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපි දකිනවා. ඒ විතරක් නෙවේ ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට පුළුවන්. ඉතින් දිගු කාලයකට පසු ඇය ගැන මෙන්න මේ විදයට ඇය පුවත්පතක් සමඟින් පවසා තිබුනා. 


චුලක්ෂි දැන් නටන්න පටන් අරගෙන වගෙයි. කොහොමද ඔබට මේ වෙනස් අත්දැකීමේ සොඳුරු මතකයන්?

ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි. පසුගිය කාලයේ සිනමා ශාලා පවා වැහිලා තිබුණේ. ඉතින් මම හිතුවා වෙනසකටත් එක්ක ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහනට සම්බන්ධ වෙලා වෙනස් අත්දැකීමක් ලබමින් ප්‍රේක්‍ෂක ජනතාව පිනවන්න. නැටුමත් එක්ක ගෙවන හැම තත්පරයක්ම මට වෙනස් අත්දැකීම වගේම සොඳුරු මතකයන් බිඳිමින් සුදුසු විදියට කටයුතු කරගෙන යනවා.


ඔබ මේ ගත්ත තීරණය හරි කියලා හිතනවාද?

අනිවාර්යයෙන්ම මම සතුටු වෙනවා. හැබැයි ඉතින් ඔය අතරෙ සමහරු අකැමැති වුණා. ඒ අතර තවත් සමහරු පුදුම වුණා මට නටන්න පුළුවන් වෙයිද කියලා. තවත් සමහරු මම ගත්ත තීරණයට කැමැති වුණා.


නර්තනය කියන දේ ඔබට නුහුරු අත්දැකීමක්. නමුත් ඔබ නටන විදියට නුහුරු බවක් නම් අපිට දකින්නට නැහැ?

ඇත්තටම මම පාසලේදිවත් නටලා නැහැ. ඉතින් මම ගොඩාක් මහන්සි වුණා මේ ඉරියව්, හැඩතල පුහුණුවීම් වෙලා හරි විදියට කරන්න. එහෙම නුහුරු බවක් දකින්නට නැහැ කියන්නේ මම ගත්ත උත්සාහයේ සාර්ථකත්වයේ ප්‍රතිඵල නිසයි.


විවිධ නර්තන අංගලක්‍ෂණ සමග එහි රංග වස්ත්‍රාභරණවල වෙනසක් අපි දකිනවා?

නැටුමට අදාළ විදියට ඇඳුමක් අඳින්න මම අකැමැති නැහැ. මොකද එතකොට තමයි නැචුරල් නර්තනයක් දකින්න ලැබෙන්නේ. එයින් වෙනස්ම ආකර්ෂණයක් ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා. ඉතින් මම කරන වැඩේ හරියටම කරන්න මම කැපවෙනවා. මිනිසුන් මොනවා පැවැසුවත් මට අදාළ නැහැ.


සිනමාව වෙනුවෙන් ඔබේ දායකත්ව මේ දවස්වල කොහොමද?

මේ වන විට චිත්‍රපට හතකට විතර මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී ඒ සියල්ලම දැකබලා ගන්නට පුළුවන්. මේ දවස්වල උදයකාන්ත වර්ණකුලසූරිය අධ්‍යක්‍ෂණය කරන ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඒ වැඩකටයුතුත් කරගෙන යනවා.


ජනප්‍රියත්වය රඳවා ගැනීමට එක දිගට වැඩ කරනවාද ඔබ?

මම එහෙම වැඩ බදාගෙන කරන්නේ නැහැ. එක නිර්මාණයක් වෙනුවෙන් උපරිම කැප වෙනවා. මොකද එහෙම එකදිගට වැඩ කරන්න ගියාම ගොඩාක් අපහසුයි. කරන වැඩේවත් හරියට කරන්න බැරි වෙනවා.


චිත්‍රපටයක ඔබට නිරූපණය කිරීමට නොහැකි වුණු රංගනයකට ආරාධනා කළොත් ඔබ එයට සම්බන්ධ වෙනවාද?

අනිවාර්යයෙන්ම එහෙම වෙනස් චරිතයක් ලැබුණොත් මම කරනවා. දැනටමත් එහෙම ආරාධනාවක් ලැබුණා සමන් කුමාර ලියනගේ අධ්‍යක්‍ෂණය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඉදිරියේදී මගේ රඟපෑම ‘වත්සුණු’ ටෙලිනාට්‍යයෙනුත් දැකබලා ගන්නට පුළුවන්.


ඔබ ආපු මේ කෙටි කාලය තුළ සිනමාවේ දැවැන්තයින් සමග වැඩ කිරීමට අවස්ථාව ලැබුණා නේද?

‘දේදුනු ආකාශයේ’ චිත්‍රපටයෙන් පටන් ගත්තාට පස්සේ මේ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා මාව තෝරාගත්තා. අවුරුදු හතරක පමණ කාලයක් තුළ මට මෙවැනි පුද්ගලයන් සමග වැඩ කරන්න ලැබීමත් වාසනාවක් කියලයි මම හිතන්නේ.


වසන්ත විතාරණගේ







ප්‍රේක්‍ෂකයන් කැමති දේ තමයි මම දෙන්නේ - නිලාන් හෙට්ටිආරච්චි




ප්‍රසංග වේදිකාව අහිමි වීමත් සමගම ගායික ගායිකාවන්ට ලබලා තියෙන්නේ ඒ තරම් හොඳ කාලයක් නෙමෙයි. නමුත් මොනතරම් ප්‍රශ්න ආවත් තමන් ගායනා කරපු හැම ගීතයක්ම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම රැගෙන යන්න සමහර ගායකයන්ට හැකි වුණා. සමහරවිට මෙය වාසනා ගුණයක් වෙන්නත් පුළුවන්. දක්‍ෂතාවය වගේම මේ වාසනාවත් කැටි කර ගත්තු අපූරු ගායකයෙක් එක්ක තමයි අපි දැන් කතා කරන්නේ. පසුගියදා තමාගේ නවතම ගීතය ලෙලෙනා ලෙස එළිදක්වමින් දින 04 ක් ඇතුළත මිලියනයක රසික ප්‍රමාණයකගේ ආකර්ෂණය දිනා ගන්න නිලාන් හෙට්ටිආරච්චිට හැකි වුණා. කොහොමද නිලාන් මෙච්චර දෙයක්  කරන්නේ?




මම හැම මොහොතකම ඉන්නේ කොතනද කියලා හඳුන ගන්නවා. අවුරුදු 06 කට කලින් මම ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා ප්‍රේක්‍ෂකයන් මගෙන් ඉල්ලන්නේ මොනවද කියලා මම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. කිසිම අවස්ථාවක මම කැමති දේ දෙන්න යන්න නෑ. මිනිස්සු කැමති දේ තමයි මම කරන්න උත්සාහ කරන්නේ. අනිත් එක බොහෝම ඉවසිලිවන්ත ගමනක් මම යන්නේ. මේ අවුරුදු හයට මම ගීත 15 ක් ගායනා කරලා ඇති. හැබැයි ඒ ගීත 15 ම ජනප්‍රියයි. මම ගිය සතියේ එළිදක්වපු ලෙලෙනා ගීතයට තමයි ඉහළම ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ. දවස් 4 ක් ඇතුළත මිලියනයක ප්‍රමාණයක් ඒ ගීතය නරඹලා තියෙනවා. මම හිතන්නේ මෑත කාලයේ වේගයෙන්ම ජනප්‍රිය වෙච්ච ගීතය ලෙලෙනා වෙන්න ඇති. ඕනනම් මේ අවුරුදු 06 ඇතුළත මට සිංදු 100 ක් කියන්න තිබ්බා. දවසට මා ලවා ගීත කියවා ගන්න දෙතුන් දෙනෙක් එනවා. හැබැයි මම එහෙම හැමවෙලේම එන අවස්ථාවන් ලබා ගන්නේ නෑ. නියම අවස්ථාවේ තමයි වැඩේට අත ගහන්නේ. අද මේ තරම් දුරක් එන්න හැකියාව ලැබුණේ ඒ නිසා.



ප්‍රේක්‍ෂකයන්ට ඕන විදිහට නිර්මාණ කිරීම තුළ නියම ගායකයෙක් බිහිවෙනවාද කියන ප්‍රශ්නයටත් නිලාන් උත්තර දුන්නා.

මෙහෙමයි. අපි ගීත කරන්නේ කාටද? සාමාන්‍ය ප්‍රේක්‍ෂකයට. ඔවුන් අපේ ගීත ඇහුවේ නැත්නම් අපි නිකන්ම එළියට විසික් වෙනවා. ක්‍ෂේත්‍රයට අලුතින් පිවිසෙන තරුණයෙක් මුලින්ම කරන්න ඕනි මේක අල්ලගෙන ඉන්න එක. හරියට මේකේ එල්ලුනේ නැත්නම් කොතන ඉඳන්ද නිර්මාණ කරන්නේ. යන ට්‍රෙන්ඩ් එකට හැඩ ගැහැන්න සිද්ධ වෙනවා. අවුරුදු 06 ක් මම මේ දේ කලේ බොහෝම ඉවසිල්ලෙන්. මුලින්ම කළේ විරහා ගීත. දෙවනි ගීතයත් විරහ ගීතයක්. ලෝකයෙන් යමු ගීතය බොහෝ ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තා. ඊට පස්සේ මං බැලුවා මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලා. 90% ක් ම විරහ ගීත තමයි බලාපොරොත්තු වෙන්නේ. දිගටම මම විරහ ගීත කළා. හැබැයි මම එහෙම කළේ අනිත් ගීත කියන්න බැරුව නෙමේ. මට ඕන සිංදුවක් කියන්න පුළුවන්. හැබැයි මම මේක ඇතුළේ ඉන්නවද කියලා තීරණය වෙන්නේ රසික ආකර්ෂණය මත. ඊට පස්සේ මම ගායනා කරපු යන්න යනවද කියන ගීතයටත් ඒ වගේම ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සේ තාලෙට කිව්වා ඔයා අතිශයින්ම ජනප්‍රිය වුණා. දැන් ප්‍රේක්‍ෂකයෝ මගේ පැත්තේ ඉන්නවා කියලා මට තේරුණා. ඒ සියල්ල ප්‍රයෝජනයට අරගෙන මේ පාර මම ආදර ගීතයක් කළා. කාටවත් තේරුණේ නැහැ, මම විරහ පැත්තෙන් චුට්ටක් එළියට පැන්නා කියලා. ඒ නිසා ලෙලෙනා කියන ගීතය මගේ ජීවිතේ ලොකු වෙනසක් කියලා මම විශ්වාස කරනවා.



අවුරුදු 06 ක කාලයක් මේ තරම් ඉවසිලිමත් ගමනක් එන්න තරුණ ගායකයෙක් වෙච්ච නිලාන් හෙට්ටිආරච්චි හිත දියුණු කර ගත්තේ කොහොමද කියලා මට නොඅසා ඉන්නම බැරි වුණා.

මේ ගමන ලේසියට ආපු ගමනක් නෙමේ. පුදුම කට්ටක් කෑවේ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම හිතාගෙන උන්නේ මියුසික් කරන්න. හතේ අටේ පන්තියෙදීම හිතා ගත්තා මියුසික් කරලා තැනකට යන්න නම් හොඳට ඉවසන්න ඕනි කියලා. මගේ මුළු ජීවිතේම මියුසික් වෙනුවෙන් කැප කළා. සංගීත කණ්ඩායම් 25 ක විතර ඉන්න ඇති. බෑන්ඩ්වලට වැඩ තියෙන්නේ අප්‍රේල්, දෙසැම්බර් මාසවලට විතරයි. හැමදාම ඔය මාස දෙකේ මගේ රැකියාව අහිමි වෙනවා. මොකද, කර කර ඉන්න රැකියාව අතහැරලා දාලා ඔය මාස දෙකේ ප්‍රසංගවලට යනවා. ගාණක් නැහැ. ආයේ රැකියාවක් හොයා ගන්නවා. ඔය විදිහට සංගීතය ජීවිතය කරගෙන අරමුණක් වෙනුවෙන් සටහන් කළා. අවසානයේ සුපර් ස්ටාර් අවසාන මහා තරගය දක්වාම ආවා. ඊට පස්සේ සනිධප සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයෙක් විදිහට නතර වුණා. යූටියුබ් එකේ මිලියන ගණන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය ලැබුවා. රිගින්ටෝන්වලින් ඉහළටම ආවා. අරමුණයි, ඉවසීමයි තියාගෙන තමයි මේ හැම දෙයක්ම කළේ.



බොහෝදෙනා විනාශ වෙන්නේ යාළුවෝ නිසා. නමුත් නිලාන්ගේ කතාව නම් මීට වඩා හාත්පසින්ම වෙනස්.

මගේ සාර්ථකත්වයේ ප්‍රබලම රහස මගේ යාළුවෝ. නායක්කන්ද අගරදගුරු පාසලේ සහ කඳාන ශාන්ත සෙබස්තියන් විදුහලේ මගේ යාළුවෝ ටික හැමදාම පන වගේ මගේ ළඟින් උන්නා. ඒ වගේම මම ජීවත් වෙන වත්තල ප්‍රදේශයේ යාළුවෝ නිසා තමයි මම අද මෙහෙම රජෙක් වගේ හිටගෙන ඉන්නේ. මාව වැටෙන හැම තැනකදීම ඔවුන් මගේ ශක්තිය වුණා. බොහාම නිහතමානීව කියනවා මේ යාළුවෝ නැත්නම් නිලාන් හෙට්ටිආරච්චි කෙනෙක් නැහැ.


මේ සුන්දර ගමනේ තාවකාලික නවාතැන ලෙලෙනා ගීතය සමග මොහොතකට විරාමයක් තබා ඇත. තව මාස කිහිපයකට නිලංගගෙන් ගීතයක් නිර්මාණය නොවුණත් ප්‍රේක්‍ෂකයාට එතෙක් රස විඳින්නට මේ ගීතය හොඳටම සෑහේ කියා මට සිතුණේ පසුගිය සමයේ ඔහුගේ ගීත අත්පත් කරගත් ජනප්‍රියත්වය නිසාමයි.


හැමෝටම කියනවා ලෙලෙනා ගීතය අහන්න. මේ ගීතය නිර්මාණය කළේ බී.ඇන්.එස්. ලා. පසුගිය කාලේ මම වැඩ කළේ ඔවුන් සමග. මේ ඉවසිලිවන්ත ගමන යන්න ඔවුනුත් මට බොහෝ දේ කියලා දුන්නා. ඒ වගේම දෙවෙනි වරටත් මගේ ගීතයේ රූප රචනයේ පෙනී සිටි කැළුම් ශ්‍රී ව ආදරයෙන් සිහිපත් කරනවා. ඔහුත් එක්ක කරපු පළවෙනි ගීතය තරමටම දෙවෙන ගීතයත් සාර්ථකයි. සමහරවිට මේ ගීතය ජනප්‍රිය වෙන්න ඔහුගේ වාසනාවත් බලපාන්න ඇත. හැමෝගෙම උදවු ජීවිතයට ලැබෙන කොට බොහෝ දේ වෙනස් වෙනවා. ඒ වෙනසත් එක්ක නිලාන් හෙට්ටිආරච්චිගේ තවත් අලුත් වැඩක් ළඟදීම ඔබට දැකගන්න පුළුවන්.





මට ඕනෑ වුණේ මගේම සල්ලි වලින් වාහනයක් ගන්න - රංගි රාජපක්ෂ




පහුගිය කාලේදී රූපවාහිනී නාලිකාවේ විකාශනය වුණ මැටි කඩුළු ටෙලිනාට්‍යයේ වගේම මේ දවස්වල සිදූ ටෙලිනාට්‍යයෙනුත් ඔබ අතරට එන රංගි රාජපක්ෂ ඇය කැමති දේවල් ගැන මෙලෙස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


අහන්න ආසම ගීතය


මම ගීත අහන්න හරි ආසයි. ඒ අතරින් මේ දවස්වල මම අහන්න ආසම කරන්නේ මම රඟපාපු මැටිකඩුළු ටෙලිනාට්‍යයේ තේමා ගීතයටයි. මම රඟපෑ අනෙක් ටෙලිනාට්‍යවල ගීතවලටත් මම ආසයි. නමුත් මැටි කඩුළු ටෙලිනාට්‍යයේ මේ ගීතය මගේ හදවතට දැනෙනවා. ඒකේ පද වෙනසට වගේම සංගීතයටත්, ඒ හඬත් මගේ හදවතට දැනෙනවා. ඒ ගීතය පද රචනා කළේ නිමල් රත්නායකයි. සංගීතවත් කළේ ගයාන් ගණකධාරයි. ගීතය ගායනා කරන්නේ සදාෂා රත්නායක සහ ලාල් අමරසිරියි.


බොරළු පාරේ තිරිවාන කැට

දැනෙන වාරේ හිනැහියං

නිසල වැව්දිය සසල කරනවට 

මැටි කඩුළු බිද පිපීයං...


 යාළුවන් එක්ක කතාකරන්න ආසම මාතෘකාව මොකක්ද?


ඇත්තම කිව්වොත් මට එහෙම යාළුවෝ කියලා ගොඩක් අය නැහැ. මේ කාලේදී මේ ක්ෂේත්‍රයේ ඉන්න දෙතුන් දෙනෙක් මගේ හොඳ යාළුවෝ වෙලා ඉන්නවා. ඉතින් අපි එකතුවුණාම මේ නිර්මාණ ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ. මේ කාලේදී අනුරාධා එදිරිසිංහ මගේ හොඳ යාළුවෙක්. ඉතින් අපි මුණගැහුණාම මේ නිර්මාණ ගැන, අඩුපාඩු ගැන කතා කරනවා.


 පුංචි කාලේට යන්න ඇත්නම් යන්න ආසා කරන්නේ කොයි කාලේටද?


ඉස්කෝලේ තුන වසර හතර වසර කාලවල ගෙවුණ ළමා කාලයට මම හරි ආසයි. මම ඉගෙන ගත්තේ හංවැල්ල ශ්‍රී සුමනජෝති මහ විදුහලෙයි. අපි ගැමි පරිසරයක ජීවත්වුණ අයයි. ඒ කාලේට මම හරි ආසයි.


ආස කරපු සෙල්ලම මොකක්ද?


පුංචි කාලේ අපි සෙල්ලම් ඇති තරම් කළා. ඒ අතරින් සෙල්ලම් ගෙවල් දාන්න මම හරිම ආසා කළා. සෙල්ලම් ගෙදරදිත් මම වැඩිපුරම අම්මා සහ ගුරුවරිය කියන චරිත වැඩිපුරම රඟපෑවා. ගස්වලට ගගහා ඉගැන්නුවා. අම්මගේ සාරියක් හරි රෙද්දක් හරි ඇඳගෙන හැඩ බැලුවා. ඒ කාලේ හරි සුන්දරයි. දැන් දරුවන්ට ඒ ළමා කාලයක් ගත කරන්න ලැබෙන්නේ නැහැ. මට තාම මතකයි පුංචි පුංචි සුදු තිත් තිබුණ, පාට පාට පොඩි මැටි වළං සෙට් එකක් ඒ කාලේ මට තිබුණා. අපි සෙල්ලම් වැලි බත් ඉව්වා. කොළ කඩල ඒවා එළවළු හැදුවා. ඒක අදටත් හොඳට මතක සුන්දර කාලයක්.


 ආසා කරන වාහනය මොකක්ද?


දැන් මම පදින්නේ Honda Grace එකක්. මේ වාහනය මීට මාස හයකට විතර කලින් ගත්තේ. ඊට පෙර මම Toyota Passo එකක් තිබුණේ. මගේ තාත්තා ලර්නර්ස් එකක් කරනවා. ඒ නිසා අපේ ගෙදර වාහන තියෙනවා. ඒත් මට ඕනවුණේ මගේ සල්ලිවලින් මගේම වාහනයක් අරගෙන පාවිච්චි කරන්නයි. ඉතින් මීට අවුරුදු පහකට කලින් මට පොඩි මයික්‍රො වාහනයක් ගත්තා. ඊට පස්සේ Passo එකත් දැන් Honda Grace එකක් මම ගත්තා


කැමැතිම පර්ෆියුම් එක මොකක්ද?


ආසම Dior පර්ෆියුම් එකට.


 වැඩිපුරම ආස කරන ඇඳුම මොකක්ද?


මම දිගට අඳින්න කැමති කෙනෙක්. ඒ නිසා වැඩිපුරම දිග ගවුම් තමයි අඳින්නේ.


 ලංකාවේ යන්න ආසා කරන තැනක් තියෙනවාද?


කොච්චර ගියත් මට නුවරඑළිය පැත්තේ තියෙන ඒ දේශගුණය එපා වෙන්නේ නැහැ. ඒ පැත්තට මම හරි ආසයි. ඒ වගේම රිවස්ටන් යන්නත් මම හරි ආසයි.


 ඇවිදින්න ආසා කරන රට මොකක්ද?


මම බැංකොක් ගිහින් තිබෙනවා. ප්‍රංශයට යන්න හරි ආසයි. කොහොමත් මම ඇවිදින්න යන්න නම් හරි ආසයි.


 කෙනෙකුට තෑග්ගක් දෙන්න තෝරද්දී හිත මුලින්ම යන්නේ මොනවටද?


ඒ තෑග්ග දෙන කෙනා වැඩිපුරම කැමැති දෙයක්දෙන්න මම උත්සාහ කරනවා.


 කාගෙන් හරි තෑග්ගක් ලැබෙනවානම් ආසා කරන තෑග්ග මොකක්ද?


මම පර්ෆියුම්වලට හරි ආසයි. ඒ නිසා මාව දන්න අය මට වැඩිපුරම තෑගි කරන්නේ පර්ෆියුම්. මට පර්ෆියුම් ලොකු එකතුවක් තියෙනවා.


 කොච්චර කෑවත්, බිව්වත් එපා වෙන්නේ නැති ආහාරය හා පානය මොකක්ද?


කොච්චර කෑවත් මට දූරියන් නම් එපා වෙන්නේ නැහැ. දූරියන් තියෙන කාලේට මම එකදිගට දූරියන් කනවා. ඒ වගේම අඹ ජූස්වලටත් හරි ආසයි.


 ජීවත් වෙන්න කැමැති?


හැමෝම එක්ක හිනාවෙලා කතාබහ කරලා මගේ පාඩුවේ ජීවත් වෙන්න මම කැමතියි.