රුක්මණී දේවි ප්‍රතිනිර්මාණය කරන්න ලැබීම සතුටක් - හිමාලි සිරි­ව­ර්ධන

gossiplanka image 1
 


හිමාලි සිරි­ව­ර්ධන කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉහළ ජන­ප්‍රි­ය­ත්ව­යක් හිමි­ක­ර­ගෙන සිටින සම්මා­න­ලාභී රංගන ශිල්පි­නි­යක් සහ දක්ෂ නර්තන ශිල්පි­නි­යක්. මේ දින­වල ඇය ගැන වැඩි කතා­බ­හක් ඇතිව තිබෙන්නේ සාර්ථ­කව තිර­ගත වන ‘එදා රෑ‘ චිත්‍ර­ප­ටය නිසා. එහි ඇයට ලැබුණු භූමි­කාව සුවි­ශේ­ෂියි. ඒ අපේ සින­මාවේ සහ සංගී­තයේ නොමැ­කෙන සල­කු­ණක් වෙන ‘රුක්මණී දේවී‘ගේ චරි­තය. ‘රුක්මණී දේවී‘යගේ 48 වන ගුණ­ස­ම­රුව පසු­ගිය 28 වන­දාට යෙදී තිබුණා. රස­ඳුන මේ කතා­බහ එදා රෑ හි ‘රුක්මණී දේවී‘ට ජීවය දුන් හිමාලි සිරි­ව­ර්ධන සමඟයි


රුක්මණී දේවී‘ වැනි අස­හාය චරි­ත­යක් රඟ­පාන්න ඔබට ඇර­යුම් ලැබෙද්දී මුලින්ම මොකද හිතුණේ?


කලා­වට සම්බන්ධ වෙලා අවු­රුදු ගණ­නා­වක් වුණත් මට සින­මා­වට දායක වෙන්න ලැබුණේ හරිම අඩු­වෙන්. ඒ එක්කම මම ටික කාල­යක් ක්ෂේත්‍ර­යෙන් ඈත් වෙලා හිටියා මගේ පුතා ලැබු­ණට පස්සේ. ඊට පසුව මෑත කාල­යේදී සම්බන්ධ වෙන්න අව­ස්ථාව ලැබුණු චිත්‍ර­ප­ට­යක් තමයි ‘එදා රෑ‘ කියන්නේ. ඒ නිසා එතැ­නම තියෙ­නවා මට සුවි­ශේෂී බවක්. කාල­යක් තිස්සේ ටෙලි නාට්‍ය සින­මාව කියන අංශ දෙකෙන්ම ඈත් වෙලා හිටිය නිසා. නැවත රංග­න­යට ආවත් සින­මා­වට අව­ස්ථාව ලැබුණේ නැහැ. කාල­ය­කට පස්සේ ලැබුණු හොඳම අව­ස්ථා­වක් තමයි එදා රෑ. කලා­වට ආ කාලයේ ඉඳන්ම මම සින­මා­වට ආස කළා. පුංචි තිරයේ මට චරි­තාංග නිළි­යක් විදි­යට මගේ හැකි­යා­වන් පෙන්නුම් කරන්න පුළු­වන් විදියේ නිර්මාණ ලැබුණා. ඒ හරහා සම්මා­නත් ලැබුවා.


නමුත් මම ආස කරන විදියේ සිනමා නිර්මාණ මට ලැබුණේ නැහැ. සම­හර ආරා­ධනා මගේ තියෙන යම් යම් සීමා­වන් නිසා ප්‍රති­ක්ෂේප කර­න්නත් සිද්ධ වුණා.


ඒ නිසා මට හැම­දාම සින­මා­වට දායක වෙන්න බැරි වුණා කියන දුකක් මගේ හිතේ තිබුණා. ඔය අතරේ තමයි ‘එදා රෑ‘ චිත්‍ර­ප­ටයේ අධ්‍යක්ෂ අරුණ අයියා මට කතා කරන්නේ. ඔහු­ගෙන් ඒ ඇම­තුම ලැබු­ණම ඔහු කිවුවේ, නංගි අපි මිල්ටන් මල්ල­ව­ආ­රච්චි මහ­තාගේ ජීවිත කතාව සින­මා­වට ගේනවා, එකේ ‘රුක්මණී දේවී‘ චරි­ත­යට ඔයාව තෝරා ගත්තා කිවුවම මම පොඩි වෙලා­වක් නිහ­ඬව හිටියා. මම හිතුවේ කවුරු හරි මට කරන විහි­ළු­වක් කියලා.


ඒ වෙලාවේ නම් මට කිසිම ප්‍රති­චා­ර­යක් හිතට ආවේ නැහැ. මම ඒ ඇර­යුම බොහොම ආසා­වෙන් භාර ගත්තා. ගොඩාක් සීන්ස් නෑ නංගි, සීන්ස් දෙකයි තුනයි තියෙන්නේ’ කිය­ලත් අරුණ අයියා මට කිවුවා. මට ඇත්ත­ටම ඒකේ එක සීන් එකක්ද දෙකක්ද තුනක්ද තියෙන්නේ කියලා අදා­ළම වුණේ නැහැ. මම ආස කළේ ඒ චරි­තය කොයි තරම් වටිනා චරි­ත­යක් ද කියන එක පම­ණයි.


මීට පෙර ඔබ කළ ප්‍රබන්ධ චරි­ත­ව­ලට වඩා, මුළු රටම හොඳින්ම හඳු­නන සැබෑ චරි­ත­යක් ප්‍රති­නි­ර්මා­ණය කිරී­මේදී නිළි­යක් විදි­හට ඔබට මුහුණ දීමට සිදු වූ ප්‍රධා­නම අභි­යෝ­ගය මොකක්ද?


ඒක අභි­යෝ­ග­යක්. ආරා­ධ­නාව ලැබු­ණට පස්සේ මම රුක්මණී ගැන හොයන්න ගත්තා. එතු­මිය කතා කරපු විලා­ස­යක් තිබු­ණානේ, මම හිතුවා මට ඒක ඉමි­ටේට් කරන්න වෙයි කියලා. හැබැයි කොයි වෙලා­ව­ක­වත් අධ්‍ය­ක්ෂ­ක­ව­රයා කිවුවේ නැහැ ඒ කතා විලා­සය ගන්න ඕනේ නැහැ කියලා.


ඒ වගේ කතා කරන්න ගියොත් සම­හර වෙලා­වට අපිට ඒක හරි­ය­ටම නිරූ­ප­ණය කර­ගන්න බැරි­වු­ණොත් ඒක විහි­ළු­වට ලක්වෙ­න්නත් පුළු­වන්. ඒ නිසා මම බොහොම පරි­ස්සම් වුණා.


මේ අපේ රටේ ඇත්ත­ටම හිටපු සහ මිනි­ස්සුන්ගේ හිත්වල තදින්ම කාවැ­දිච්ච චරිත. අලුත් චරි­ත­යක් මවා­ගෙන නිර්මා­ණය කර­නවා වගේ නෙවෙයි. ඒගො­ල්ලොන්ගේ ජීවිත කතා­වල් කරද්දී හරිම පරි­ස්සම් වෙන්න ඕනේ කියලා මම තදින්ම විශ්වාස කර­නවා.


රුක්මණී දේවීගේ එදා යුග­යට ගැළ­පෙන පෙනුම කොණ්ඩ විලා­සිතා සහ ඇඳුම් පැල­ඳුම් සම­ඟින් ඔබව හැඩ­ගැන්වූ පළමු දවසේ කැඩ­පත ඉදි­රියේ ඔබ, ඔබ­වම දුටු­වම දැනුණු හැඟීම සහ රිදී තිර­යෙන් පළමු වතා­වට එදා රෑ චිත්‍ර­ප­ටය බලද්දී දැනුණු හැඟීම මොන­ව­ගේද?


ඇත්ත­ටම ඒකත් අපිට තිබුණු එක අභි­යෝ­ග­යක්. ඒ ස්වරූ­පය මවා ගන්න එක. කොණ්ඩ විලා­සිතා සහ ඇඳුම් පැල­ඳුම් සිය­ල්ලම. හැබැයි චිත්‍ර­ප­ටයේ අංග රචනා ශිල්පියා විදි­හට කට­යුතු කළේ බුව­නෙක රණ­වක ඇතුළු කණ්ඩා­යම. ඇඳුම් පැල­ඳුම් කළේ පවිත්‍රා ඇතුළු කණ්ඩා­යම.


ඒ තෝරා ගෙන තිබුණු ප්‍රවීණ ශිල්පීන් නිසා මට ඒ බර දැනුණේ නැහැ. හැබැයි මම ඔවුන් එක්ක කතා බහ කළා. මුල් කාලයේ ඇය සිහින් සිරු­රක් තිබුණු කෙනෙක්. ඒ එක්කම මුල් කාලයේ ඇයගේ මුහුණ දිග­ටියි. ඒ නිසා මාව හැඩ­ගැ­න්නු­වට පසුව මට බොහෝ දෙනෙක් කිවුවේ, එතු­මි­යගේ රුව වගේ කියන එක. ඒ ලැබුණු ප්‍රති­චාර මට සතු­ටක් ගෙන ආවා.


ඉදි­රි­යට එන්න තියෙන සිනමා නිර්මාණ මොන­වද?


නලින් මාපි­ටිය අධ්‍ය­ක්ෂ­ණය කළ තානා­ප­ති­ලාගේ ගෙදර චිත්‍ර­ප­ටය සහ ලකී ඩයස් මහතා අධ්‍ය­ක්ෂ­ණය කළ ‘බ්‍රේකින් නිව්ස්‘ චිත්‍ර­ප­ටය.


චරි­ත­ය­කට ආරා­ධනා ලැබු­ණාම භාර ගන්න­වද නැද්ද කියලා තීර­ණය කරන්න මූලි­ක­වම සලකා බලන්නේ මොන­වද?


දැන් නම් මම මුලින්ම බලන්නේ මට ඇර­යුම් ලැබෙන චරි­තය මට සුදුසු ද කියන එක. මම කව­දා­වත් නිරු­වත් දර්ශන තියෙන චිත්‍ර­පට චරිත භාර ගන්නේ නෑ. ඒ හැරෙන්න මම ආසයි මට දැනෙන චරි­ත­යක් කරන්න. මම හරිම ආසයි මට දෙයක් කරන්න තියෙන චරිත කරන්න. ඒ වගේම තමයි මම චිත්‍ර­පටවලට ලෝභයි. ඒකට හේතුව මට තවම චිත්‍ර­පට හරි­යට ලැබුණේ නැති නිසා. ඒ නිසා මම ආසා­වෙන් ඉන්නවා හොඳ චිත්‍ර­ප­ට­යක හොඳ චරි­ත­යක් කරන්න.


නර්ත­න­යෙන් කලා­වට ඇවිත්, අද වෙද්දී පුංචි තිරය සින­මාව හරහා ප්‍රේක්ෂ­ක­යින්ට සමීප වෙනවා. ආපු ගමන් මඟ ගැන අද මොකද හිතෙන්නේ?


ඇත්ත­ටම රංග­න­යට වඩා නර්ත­න­යෙන් ආව ගමන ගැන මම සීයට දෙසී­යක් සතුටු වෙනවා. නර්තන කණ්ඩා­ය­මක් හදලා ඒ නම මිනිස්සු අත­රට ගෙන යන්න මහන්සි වුණා. සෙන්සේ­ෂන් නර්තන කණ්ඩා­යම නතර කරලා දැන් අවු­රුදු 7ක් 8ක් වෙනවා. තාමත් මට ආරා­ධනා ලැබෙ­නවා. ඒ කියන්නේ මගේ නර්තන කණ්ඩා­යම තුළ තිබුණු කොලිටි එක නිසා වෙන්න ඕනේ. නැත්නම් එහෙම වෙන්නේ නැහැනේ. ඒ නිසා නර්ත­නය පැත්තෙන් මම ආව ගමන ගැන මම ගොඩක් සතුටු වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post