මාංචන පීරිස් අධ්‍යක්ෂණය සිදුකළ ‘අග්නි ජය’ සිනමා නිර්මාණය පසුගිය 29 වැනිදා ඉඳලා තිරගත කිරීම ආරම්භ කළා. මේක මගේ පළමු සිනමා නිර්මාණය. මාව රිදී තිරයෙන් හා හා පුරා කියලා දකින්න ලැබෙන පළමු අවස්ථාව තමයි මේක. ඒ ගැන ඇත්තටම සතුටුයි වගේම ගොඩාක් වාසනාවන්තයි කියලා හිතෙනවා.
හා හා පුරා කියලා අජිත් බණ්ඩාරගේ දුව අරඹපු සිනමා ගමන ගැන ඔන්න ඔහොම තමයි කතාව පටන් ගත්තේ.
මගේ තාත්තා අජිත් බණ්ඩාර. ගායකයෙක් හින්දා තාත්තාගේ දක්ෂතා දැකලා මමත් පොඩි කාලෙ ඉඳලා සින්දු කියන්න පුරුදු වුණා. ඒ වුණාට පුංචි කාලෙ ඉඳලා රඟපෑමටත් හැකියාවක් තිබුණා. තාත්තා සිරස සුපර් ස්ටාර් තරගය හරහා ගායනයට ආවා වගේ මමත් තීරණය කළා මගේ හැකියාවන් රියැලිටි තරගයකින් රටටම පෙන්වන්න. ඉතිං hiru super hero තරගයේ තරගකාරියක් වෙලා තරග වැදුණා. එතැනදී මට super hero සහ Best child actress කියන කිරුළු දෙකම හිමිවුණා. ඊට පස්සෙ හිරු ටීවී නාළිකාවේ ටෙලි චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ගොඩාක්දෙනෙක් මාව අඳුරගත්තේ රඟපෑමෙන්. ඒ හින්දා මමත් රඟපෑමට ලොකු ඉඩක් ලබාදෙනවා. හැබැයි මට සින්දු කියන්නත් පුළුවන්.
සත්සරණීගේ කලා ගමන ගැන තාත්තා වන අජිත් බණ්ඩාරට තියෙන්නේ මේ වගේ අදහසක්.
අප්පච්චි නම් කියන්නේ කලාව හොඳයි, හරි විදිහට කරගෙන යන්න කියලා. අප්පච්චිගේ අකැමැත්තකුත් නැහැ. ගොඩාක් වෙලාවට කියන්නේ ඉගෙනගෙන රට යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ වුණාට මම කැමැති නැහැ වෙන රටකට ගිහිල්ලා ජීවත්වෙන්න. අකැමැත්තක් නැති වුණාට අප්පච්චි කියන්නේ කලාවේ ඉන්නවා නම් හරි විදිහට ගොසිප් එකක් අහගන්නේ නැති විදිහට ඉන්නයි කියලා. අනික දැන් මාව හැමෝම දන්නේ සත්සරණී බණ්ඩාර කිව්වහම නෙමෙයි. අජිත් බණ්ඩාරගේ දුව කිව්වාමයි හැමෝම වගේ දන්නේ. ප්‍රේක්ෂකයොත් ඒ කතාව ටික ටික දැනගෙන යනවා.
මම මුලින්ම රඟපෑමට එන්නේ සිරස නාළිකාවේ විකාශය වුණු ‘සුවඳ තරුමල්’ ටෙලිනාට්‍යය හරහායි. මේ දවස්වල සද්ධාමංගල සර්ගේ සහ සිවගුරුනාදන් සර්ගේ ‘කොළඹ කට්ටිය’ ටෙලිනාට්‍යයේ රඟපානවා. ටීවී දෙරණ නාළිකාවේ ඒ නාට්‍යය විකාශය වෙනවා. ‘කොළඹ කට්ටිය’ ටෙලිනාට්‍යයේ මම රඟපාන්නේ විශාරද විභාගය සමත්වෙලා සංගීත පන්ති පවත්වන ගුරුවරියකගේ චරිතයක්. අරුණ ජයවර්ධන අයියාගේ ‘මාරම්බරී’ කියන ටෙලිනාට්‍යය හිරු නාළිකාවේ විකාශය වීමට නියමිතයි. තව මේ දිනවල මහේෂ් රත්සර මද්දුම ආරච්චි පිටපත ලියන ප්‍රසන්න රසාංග අංකල්ගේ අලුත් ටෙලිනාට්‍යයක රූගත කිරීම් සිදු කෙරෙනවා.
සත්සරණීගේ වැඩවලට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි හැම වැඩේටම පස්සෙන් ඉන්නේ. අම්මා, තාත්තා දෙන්නගෙන්ම ලැබෙන සහයෝගය හින්දා සත්සරණීට මේ වෙනකොට ලොකු දුරක් යන්න පුළුවන් වෙලා තියෙනවා.
මම පාසල් ගියේ රෝයල් ජාත්‍යන්තර පාසලට. ඊට පසුව තොරතුරු තාක්ෂණ ඉන්ජිනේරු අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. පුංචි කාලෙ ඉඳලා මම හීන මැව්වේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ හීනයට ගෙදරින් වැඩි කැමැත්තක් නැති හින්දා දැන් මටත් ඒ හීනය ටිකක් ඈත්වෙලා ගියා. දැන් නම් මම මූලිකත්වය ලබාදෙන්නේ කලාවට. වෘත්තිය විදිහට කලාව තෝරාගන්න තමයි අදහස. මම තමයි අපේ පවුලෙ එකම දරුවා. අනික අම්මාගේ එකම හීනය වුණේ මම රඟපාන එක. අම්මාගේ හීනය සැබෑ කරන්න පුළුවන් වුණා.
ඔන්න ඔහොම තමයි සත්සරණිගේ විස්තර ටික අපිට කියන්න පටන් ගත්තේ. අපි ඇහැව්වා තාත්තාගේ හැකියාව දුවට නැතිද කියලා.
තාත්තා වගේම මටත් සින්දු කියන්න පුළුවන්. ළඟකදී මමත් ගීතයක් නිර්මාණය කළා අප්පච්චිගේ හැකියාවත් මට පිහිටලා තියෙනවා. මේ දවස්වල හැමෝම අහන්නේ අප්පච්චි එක්ක ගීතයක් කරන්නෙ නැද්ද කියලා. මගෙත් අදහසක් තියෙනවා අප්පච්චි එක්ක ගීතයක් නිර්මාණය කරන්න.
මම තවම හරිම පුංචි කෙනෙක්. ඉතිං මම මාව ‘අග්නි ජය’ චිත්‍රපටයෙන් රිදී තිරය හරහා මුලින්ම දකින කොට හරිම සතුටු වුණා. අප්පච්චියි අම්මයි චිත්‍රපටය නරඹලා මම හොඳට රඟපෑවා කියලත් කිව්වා. මේ වෙනකොටත් මට තවත් චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණා.
රියැලිටි ඉතිහාසයේ පළමු තරුව වුණු අජිත් බණ්ඩාර ගැනත් දුව සත්සරණී කතාබහ කළා.
තාත්තා ගැන ඇත්තටම සතුටුයි. තාත්තා හදාගත්ත නම ඇතුළේ මටත් ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනෑ සිරස ටීවී ආයතනයට. තාත්තා රියැලිටි තරුවක් වෙන්න ඉදිරිපත් වෙන්නේ 2005 අවුරුද්දේ. එතකොට මම ඉපදිලත් නැහැ. මම අම්මාගේ කුසේ තමයි ඉඳලා තියෙන්නේ.