ඔහු පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ ඩිලංක රංගනාත්ගේ කුළුඳුල් වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන ‘ඩිංගා‘ චිත්‍රපටය හේතුවෙනි. ආදරය සොයා යන කොළඹ තරුණයකුගේ ජීවිත කතාවක් වටා ගෙතුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නේ ඔහු විසිනි. මෙහි තුමිඳු දොඩන්තැන්න, තිලක්ෂිණී රත්නායක සහ අංජන ප්‍රේමරත්න ඇතුළු රංගන ශිල්පීන් රැසක් ද සිය දායකත්වය ලබා දී ඇත.
මේ, සිය අලුත්ම සිනමා අත්දැකීම සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබඳව තුසිත ලක්නාත් සමඟ සිදු කළ කතාබහකි.
මුලින්ම අත අල්ලපු කෙල්ලව මතකද?
ඔව්. ඒ පාසල් යන කාලයේ ඇති වුණු ප්‍රේම කතා. අදටත් ඒ හැම කෙනෙක් එක්කම මගේ හොඳ මිත්‍රත්වයක් තියෙනවා. අපි හොඳ යාලුවෝ වගේ ආශ්‍රය කරනවා.
ඩිංගා කියන්නේ මේ කොන්ක්‍රීට් කොළඹ මැද්දේ තමන්ගේ ජීවිතය සහ තමන්ට හිමි තැන හොයන කොල්ලෙක්. කොහොමද ඔබට ඩිංගාව දැනුණේ?
ඕනෑම පිරිමියෙකුගේ චරිතය ඇතුළේ ඩිංගා වගේ ලක්ෂණ තියෙනවා. විරුද්ධ ලිංගිකයෙක් ආකර්ෂණය කරගැනීම සහ එය ජය ගැනීම පිළිබඳව එක් එක් අය විවිධ අන්දමින් අත්දැකීම් ලබනවා. සමහර උත්සාහයන් සාර්ථක වෙනවා වගේම සමහර ඒවා අසාර්ථක වෙනවා. මටත් ඒ වගේ ප්‍රේමයන් සහ උත්සාහයන් තිබිලා තියෙනවා. හදවතට දැනෙන ගතිය වගේම බඩ දඟලලා යනවා වගේ හැඟීමක් මටත් දැනිලා තියෙනවා. ඇත්තටම ඩිංගා කියන්නේ මට ඉතාමත් ප්‍රේමණීයව දැනුණු චරිතයක්.
මේ චිත්‍රපටය නරඹද්දී හිතුණේ, පළමු වෙඩිල්ල පත්තු කරන එක හිතන තරම් ලේසි නෑ කියලා. සමාජයේ ඇත්තටම එහෙම අය ඉන්නවා. මේ ගැන ඔබේ අදහස මොන වගේද?
ඒ අත්දැකීම එක් එක් කෙනාට විවිධාකාරයෙන් බලපාන්න පුළුවන්. ඒකට ධෛර්යය තියෙන අය වගේම නැති අයත් සමාජයේ ඉන්නවා. ධෛර්යය නැති අය යම් මොහොතකදී ඒක ඇතිකර ගන්නවා. මේ දේවල් ප්‍රේමණීයව විසඳගන්න බැරි අයත් ඉන්නවා. මේ අවස්ථාව විවිධ හැඩතලවලට වගේම අපූර්වත්වයකටත් අයිති වෙනවා.
චිත්‍රපටය ගලාගෙන යන අතරතුර ඩිංගා ප්‍රේක්ෂකයන් සමගත් කතාබහේ යෙදෙනවා. මේක ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන්ට තරමක් අලුත් අත්දැකීමක් නේද?
ඔව්. මේක සිනමැටික් ඩ්‍රාමා ගණයට අයත් චිත්‍රපටයක්. වේදිකාව තුළ නම් ප්‍රේක්ෂකයන් සමඟ කතා කිරීම සාමාන්‍ය හුරුපුරුදු දෙයක්. මම වේදිකා නාට්‍යවල ප්‍රේක්ෂකයන්ට ආමන්ත්‍රණය කරන චරිත සහ ආත්ම කථන කිහිපයක්ම කරලා තියෙනවා. මේ හරහා ප්රේක්ෂකාගාරයත් චිත්‍රපටයේම කොටසක් බවට පත්වෙනවා. එය ප්‍රේක්ෂකයන්ට සජීවී අත්දැකීමක් ලබා දෙන අවස්ථාවක්.
මේ ඩිලංක රංගනාත්ගේ පළමු අධ්‍යක්ෂණයයි. ඔහුව මුලින්ම මුණගැසුණේ කොහොමද සහ මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
ඩිලංකව මුලින්ම මුණගැසුණේ ‘නිනෝ live’ චිත්‍රපටය අතරතුරයි. ලක්මාල් ධර්මරත්න එහි පළමු සහාය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, මම දෙවැනි සහාය අධ්යක්ෂ විදිහට කටයුතු කළා. ඊට පස්සේ අපි කූඹියෝ ටෙලිනාට්‍යයේදීත් මුණගැහෙනවා. ඇත්තටම ඩිලංකයි මායි මුලින්ම කළේ ඔහු ඩිංගා කතාව කියවද්දී මම ඒක ටයිප් කරපු එක. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කොහුවල පරිශ්‍රයේ පහළ තට්ටුවේ තමයි අපි මේ වැඩේ කළේ. ඩිලංක කියන්නේ මට හමුවුණු ඉතා සුවිශේෂී චරිතයක්. ඔහුට සිනමාව ගැන හොඳ දැනුමක් වගේම විශාල උනන්දුවකුත් තියෙනවා. අපි වැඩ කළේ කණ්ඩායමක් විදිහට. ඩිංගා චරිතය නිරූපණය කරද්දී ඔහු මට අවශ්‍ය හොඳ නිදහසක් ලබා දුන්නා. ඔහු තිර පිටපත ගැන දරන අදහස සහ අපේ තියෙන දැනහැඳුනුම්කම නිසා මට හොඳ අවබෝධයක් තිබුණා. ඔහු ඉතා නිදහස්ව නිර්මාණ කාර්යයේ නියැළෙන, හදවතටම කතා කරන්න පුළුවන් අධ්යක්ෂවරයෙක්.
මෙවර සරසවිය සම්මාන උලෙළේදී ඔබ 'නෙළුම් කුළුණ' චිත්‍රපටයේ මල්ලිගේ චරිතය වෙනුවෙන් සම්මාන ලාභියකු බවට පත්වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒක වෘත්තීය ජීවිතයට ලොකු ගැම්මක් වගේම කර්මාන්තයේ රැඳී ඉන්න අලුත් ජවයක් ලබා දෙන දෙයක්. ඒ ගැන ඇත්තටම සතුටුයි. රංගන ශිල්පියෙක් තමන්ගේ ආත්මයෙන්ම ඒ කාර්යයේ නියැළෙනවා. ඒ උත්සාහයට මෙවැනි ඇගයීමක් ලැබීම ලොකු දෙයක්. හරියට ඒක ආභරණයක් වගේ.
විදෙස්ගතව සිටීම රංගන ජීවිතයට යම් පසුබෑමක් ගෙන එනවා කියලා හිතෙන්නේ නැද්ද?
ඒක එක්තරා විදිහක පසුබෑමක් කියලා කියන්න පුළුවන්. මම රඟපෑ ‘නෙළුම් කුළුණ’ සහ ‘ඩිංගා’ චිත්‍රපට මේ වෙද්දි තිරගත වුණා. මම ප්‍රධාන චරිත රඟපාපු තවත් චිත්‍රපට තුන හතරක්ම ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. රංගන ශිල්පියෙකුගේ ලොකුම සම්පත වෙන්නේ ප්රේක්ෂකාගාරයයි. විදෙස්ගත වීමත් එක්ක ප්‍රේක්ෂකාගාරයෙන් ඈත් වීම නිසා යම් කඩාවැටීමක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. මම දැනට පදිංචිව ඉන්නේ එක්සත් රාජධානියේ. මෙහිදීත් සිනමාපටයකට සම්බන්ධ වෙන්න මම උත්සාහ කරමින් ඉන්නවා. විදෙස්ගත වුණා කියලා මගේ කිසිම පසුතැවීමක් නැහැ. මගේ ඊළඟ උත්සාහය වෙන්නේ මේ හරහා නිර්මාණ කාර්යයට අවශ්‍ය පසුබිමක් සකසා ගැනීමයි.
ඔබේ පෞද්ගලික ජීවිතයේ විස්තර ගැනත් කියමුද?
මගේ බිරිඳ කෞෂල්‍යා මෙන්ඩිස්. ඇය තමයි මාව මේ තරම් දුරක් එක්කගෙන ආවේ. අපිට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. පුතා ගර්ෂියා ගලින්දවත්ත, දුව ගර්ෂියා ගලින්දවත්ත. අපි පවුලක් විදිහට ගොඩක් සතුටින් එක්සත් රාජධානියේ ජීවත් වෙනවා.
අවසාන වශයෙන් ඩිංගට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට, විශේෂයෙන්ම ඔබ මෙරට නැති නිසා මොනවද කියන්න තියෙන්නේ?
අපි හැමෝම පෙම්වතුන් සහ පෙම්වතියන් විදිහට කාලය ගත කරපු අතීතයක් තියෙනවා. ප්‍රේමයට වයසක්, ජාතියක් හෝ ආගමක් අදාළ වෙන්නේ නැහැ. මුළු ලෝකයේම ඉන්න මනුෂ්‍යයන්ගේ ජීවිත වර්ණවත් වෙන්නේ ප්‍රේමය නිසා. ඒ ප්‍රේමය වැලඳගන්න, භාරගන්න. ප්‍රේමය වෙනුවෙන් අරගල කරන්න. ප්‍රේමණීය සමාජයක් ගොඩනගන්න චිත්‍රපටය නරඹලා, ප්‍රේමණීය මිනිස්සුන්ව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා මම ආරාධනා කරනවා.
ENGLISH SUMMARY:
Sri Lankan actor Thusitha Laknath is currently receiving widespread attention for his lead role in the newly released cinematic drama movie 'Dinga', the directorial debut of Dilanka Ranganath. Laknath portrays a young man searching for love and identity amidst the urban landscape of Colombo. The cast also includes Thumindu Dodantenna, Thilakshini Rathnayake, and Anjana Premarathna. In a recent interview, Laknath opened up about his character, his memories of teenage romance, and his successful acting journey. He shared fond memories of previously collaborating with director Ranganath on 'Nino Live' and the hit television series 'Koombiyo'. Laknath also expressed his gratitude for winning an acting award for his performance as 'Malli' in the movie 'Nelum Kuluna' at the Sarasaviya Awards. Despite currently residing in the United Kingdom with his wife, Kaushalya Mendis, and their children, Garshya Galindawatta, the actor continues to pursue his passion for cinema. He concluded by encouraging audiences to embrace love without boundaries and experience 'Dinga' in theaters.