මුලින්ම ඔබගේ පෞද්ගලික තොරතුරු ගැන සඳහන් කළොත්?
මගේ ගම කිරිඳිවැල වුණත්, දැනට පදිංචි වී සිටින්නේ නුගේගොඩ ප්‍රදේශයේයි. මගේ පවුලේ සිටින්නේ තාත්තා, අම්මා සහ මම පමණයි. එය ඉතා සාමකාමී වටපිටාවක් සහිත ආදරණීය පවුලක්. මම පාසල් ගියේ කිරිඳිවැල ජාතික පාසලටයි. මේ වන විට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ උපාධි අපේක්ෂිකාවක ලෙස අධ්‍යාපනය ලබනවා.
ඔබේ මුල්ම කලා නිර්මාණය කුමක්ද?
රංගන ශිල්පිනියක ලෙස මා මුලින්ම දායක වූයේ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩු මහතාගේ 'හෝ ගානා පොකුණ' චිත්‍රපටයටයි. එහි ළමුන් දහඅට දෙනාගෙන් එක් ගැහැනු ළමයෙකුගේ චරිතයට පණ පෙවීමට මට අවස්ථාව ලැබුණා.
මේ දිනවල ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?
මේ දිනවල කලා කටයුතු කිහිපයක් සමඟම සම්බන්ධ වී සිටිනවා. සියත නාළිකාවේ විකාශය වන අසංක සායක්කාර මහතාගේ 'මහ උළු ගෙදර' ටෙලිනාට්‍යය, දෙරණ නාළිකාවේ විකාශය වීමට නියමිත 'නාරි' ටෙලිනාට්‍යය සහ නිවේදන කටයුතුවලට අමතරව අසංක සායක්කාර මහතාගේම 'කොටු' සිනමාපටයට ද මම රංගනයෙන් දායක වෙනවා. 'කොටු' චිත්‍රපටය නොවැම්බර් 13 වැනිදා සිට නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදා වෙනවා.
කලා ක්ෂේත්රයේ ප්‍රවීණයන් සහ නවකයන් සමඟ කටයුතු කිරීමේදී ඔබ ලබන අත්දැකීම් කෙබඳුද?
මම ක්ෂේත්රයට තවමත් නවකයෙක්. නමුත් නවකයකු ලෙස මෙම ක්ෂේත්රය තුළ ගමනක් යද්දී ප්‍රවීණයන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම ජගත් චමිල මහතා, කැලුම් ගම්ලත් මහත්මිය සහ සුමිත් ඉලංගෝ මහතා මට 'මහ උළු ගෙදර' නාට්‍යයේ 'අයෝමි' ගේ චරිතය ගොඩනඟා ගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම 'සින්ටෝ' ටෙලිනාට්‍යයේ 'මදූ' ගේ චරිතය සාර්ථක කර ගැනීමට ජයනි සේනානායක මහත්මියගෙන් ලැබුණු සහයෝගයත් කෘතවේදීව මතක් කරන්න කැමතියි. මට මුණගැසුණු සියලුම ප්‍රවීණයන් මා හට නිරන්තරයෙන්ම මඟ පෙන්වනවා.
මෙම කලා ගමනේදී ඔබට මුහුණ දීමට සිදුවූ අභියෝග සහ ඒවා ජයගත් ආකාරය කෙසේද?
මට ලැබෙන සෑම චරිතයක්ම එකිනෙකට වෙනස් ආකාරයෙන් නිරූපණය කිරීමයි මා දකින ප්‍රධානතම අභියෝගය වන්නේ. මට ලැබෙන්නේ කුඩා චරිතයක් වුණත්, එය වෙනස් විදිහකට ඉදිරිපත් කිරීමට මම නිතරම උත්සාහ කරනවා. ඒ සඳහා ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් මෙන්ම තනිවම සිදු කරන අධ්‍යයනයන් ද ඉතා වැදගත් වෙනවා.
මෙතෙක් ඔබ දායක වූ නිර්මාණ අතරින් ඔබේ සිතට වඩාත්ම සමීප වූ නිර්මාණය කුමක්ද?
මේ වන විට මා රංගනයෙන් දායක වී ඇත්තේ ඉතා සීමිත චරිත ප්‍රමාණයකට පමණයි. ඒ අතරින් 'සින්ටෝ' නාට්‍යයේ 'මදූ' මෙන්ම 'මහ උළු ගෙදර' නාට්‍යයේ 'අයෝමි' යන චරිත මට විශේෂයි. මා මෙතෙක් දායක වූ නිර්මාණ තුළ මගේ උපරිම සාධාරණයක් ඉටු කිරීමට හැකි වූ බව මා විශ්වාස කරනවා.
ප්රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් 'සින්ටෝ' ටෙලිනාට්‍යයේ 'මදූ' ගේ චරිතය ආදරයෙන් වැලඳගත්තා. එම චරිතය වෙනුවෙන් මට දිගින් දිගටම ඉතා හොඳ ප්‍රතිචාර හිමි වුණා.
ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට ඔබව දැකගත හැකි නව නිර්මාණ මොනවාද?
දෙරණ නාළිකාවේ විකාශය වීමට නියමිත 'නාරි' ටෙලිනාට්‍යයෙන් සහ 'කොටු' සිනමාපටයෙන් ඉදිරියේදී මා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි. ඊට අමතරව තවත් අලුත් නිර්මාණයකට ආරාධනා ලැබී තිබෙනවා.
රංගනය යනු ඔබේ වෘත්තියද?
ඔව්, රංගනය මගේ වෘත්තියයි. නමුත් එය මගේ ජීවිතයේ ආශාව (passion) ලෙස හැඳින්වීමටයි මා වඩාත් කැමති.
මෙම කටයුතු සඳහා පවුලෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු සහ කලා ක්ෂේත්රයේ වැඩකටයුතු සමබරව කරගෙන යාමට මගේ පවුලෙන් ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අම්මා සහ තාත්තා සැමවිටම කියන්නේ "අපි ඔයා ගැන දන්නවා, අපිට ඔයාව විශ්වාසයි, හොඳම දේ කරන්න" කියලයි. මේ දක්වා මානසිකව වැටෙන්නට නොදී මාව ආදරයෙන් රැකබලා ගන්නේ ඔවුන් දෙදෙනායි. අම්මා සහ තාත්තා නැත්නම් මේ කිසිම දෙයක් මට හිමිවන්නේ නැහැ. මගේ ජීවිතයේ විශාලතම ආශිර්වාදය ඔවුන් දෙදෙනායි.
කලා ලෝකයෙන් බැහැරව ගත කරන සාමාන්‍ය ජීවිතයේදී ඔබ වඩාත් ප්‍රිය කරන්නේ මොන වගේ දේවල්වලටද?
මම බොහෝ වෙලාවට තනිවම කාලය ගත කිරීමට කැමති කෙනෙක්. ඒ වගේම මගේ සමීපතම කුඩා මිතුරු කවය සමඟ සතුටින් සිටීමට මම ප්‍රිය කරනවා. තනිවම සිටින විට චිත්‍රපට නැරඹීමට සහ විවිධ කෑම වර්ග සෑදීමට මම ආසයි. පරිසරය සමඟ ජීවත් වීමට මම ඉතාමත් කැමතියි.
ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?
මේ වන විට මට අනාගතය පිළිබඳ බලාපොරොත්තු රැසක් තිබෙනවා. මගේ උපාධිය සම්පූර්ණ කරගන්නා අතරම, දක්ෂ රංගන ශිල්පිනියක් වීමේ දැඩි බලාපොරොත්තුවක් ද මට තිබෙනවා. ඒ සියලුම බලාපොරොත්තු එකින් එක සැබෑ කරගැනීමට මට හැකි වේවි යැයි මා විශ්වාස කරනවා.
ENGLISH SUMMARY:
Sri Lankan actress Wasana Niranjali is steadily making a name for herself in the local entertainment industry. Originally from Kirindiwela and currently a final-year undergraduate at the University of the Visual and Performing Arts in Colombo, she first entered the field with a role in Prof. Indika Ferdinando's hit film "Ho Gaana Pokuna." Wasana is now a familiar face on television, gaining popularity for her role as Madhu in the "Sinto" drama series and her ongoing performance as Ayomi in Asanka Sayakkara's "Maha Ulu Gedara" airing on Siyatha TV. The talented young actress is also preparing for the cinematic release of Asanka Sayakkara's latest movie "Kotu" on November 13, and will soon appear in the upcoming Derana TV drama "Naari." Wasana expressed her gratitude towards veteran actors such as Jagath Chamila, Kalum Gamlath, Sumith Ilango, and Jayani Senanayake for their immense guidance in shaping her characters. Balancing her higher education and acting career, she hopes to establish herself as a versatile and skilled professional in Sri Lankan cinema and television.