ප්‍රේක්ෂකයාට දෙවිදියක සිනමා අත්දැකීමක් විඳිය හැකි චිත්‍රපටයක්- දිනේෂ් ප්‍රියසාද්

gossiplanka image 1
 දශක පහකට අධික කාලයක් පුරා මෙරට වාණිජ සිනමාවේ සිය අනන්‍යතාව සනිටුහන් කළ ප්‍රවීණ සිනමාකරු දිනේෂ් ප්‍රියසාද්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘රහයි ජීවිතේ’ අද සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ වේ.


මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ දිනේෂ් ප්‍රියසාද් සිනමාවට පිවිසෙන්නේ මෙරට සජීවීකරණ හා විශේෂ දෘශ්‍ය ප්‍රයෝග කලාවේ පුරෝගාමියකු වූ සිය සොහොයුරු ගිවන්ත අර්ථසාද්ගේ මඟ පෙන්වීම යටතේය. එකල කැමරාවක් භාවිතයෙන් තොරව මිලිමීටර් 35 දළ සේයා පටලයේ කටු පෑනෙන් චිත්‍රණය කරමින් ‘කදාවළලු’, ‘ලංගම’, සහ ‘ලෝකයා’ වැනි කාටූන් චිත්‍රපට නිර්මාණය කිරීමට ඔහු දායක විය. ලංකාවේ ප්‍රථම වෘත්තාන්ත කාටූන් චිත්‍රපටය වූ සිය සහෝදරයාගේ ‘දුටුගැමුණු’ නිර්මාණය වෙනුවෙන් කාටූන් රූගත කළ හැකි කැමරාවක් නිර්මාණය කිරීමට ද ඔහුට හැකි විය.


ඉන්පසුව දේශීය සිනමාවට විශේෂ දෘශ්‍ය ප්‍රයෝග හඳුන්වා දෙමින් චණ්ඩි ශ්‍යාමා, මරුවා සමඟ වාසේ, බඹරු ඇවිත්, වීර පුරන්අප්පු, ගැහැනු ළමයි, ජයසිකුරුයි සහ නොමියෙන මිනිසුන් ඇතුළු චිත්‍රපට හැත්තෑවකට අධික ප්‍රමාණයකට ඔහු සිය දායකත්වය ලබා දුන්නේය. ඔප්ටිකල් ප්‍රින්ටර් මුද්‍රණ යන්ත්‍ර සහ මිලිමීටර් 16 චිත්‍රපට මිලිමීටර් 35ට විශාලනය කළ හැකි යන්ත්‍ර නිර්මාණය කරමින් ඔහු මෙරට සිනමා තාක්ෂණය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය.


විජය කුමාරතුංග සහ බොලිවුඩ් නිළි තනූජා ප්‍රධාන චරිත නිරූපණය කළ 1986 වසරේ තිරගත වූ ‘පෙරළිකාරයෝ’ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයයි. ඉන් අනතුරුව නොම්මර එකයි, වරදට දඬුවම්, හිතේ දුකක් නැති මිනිහා, පාරාදීසේ, හොඳ හොඳ සෙල්ලං, කම් ඕ ගෝ චිකාගෝ, දෙමොදර පාලම, නරලොව හොල්මං, අපායේ තත්පර අසූහාරදාහක්, කොළොම්පූර්, ඔන්න බබෝ සහ ඇද්ද ලණුව දැම්ම කොඩිය ආදී අතිශය ජනප්‍රිය වාණිජ චිත්‍රපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලදී. එසේම ශ්‍රී ලංකාවේ දෙවැනි කාටූන් චිත්‍රපටය වූ ‘මහදැනමුත්තයි ගෝලයො රොත්තයි’ අධ්‍යක්ෂණය කළේ ද ඔහු විසිනි. එය මෙරටට ඩිජිටල් සිනමා තාක්ෂණය හඳුන්වා දුන් පුරෝගාමී අවස්ථාවක් ද විය. 1999 වසරේදී ඩිජිටල් සිනමා ආරෝපණ යන්ත්‍රයක් නිපදවා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් දැවැන්ත තිරයට ගෙන ඒම ද ඔහුගේ සුවිශේෂී සන්ධිස්ථානයකි.


සිය නිර්මාණ දායකත්වය වෙනුවෙන් 1995 දී ‘දෙමොදර පාලම’ සහ 1997 දී ‘අපායේ තත්පර අසූහාර දාහක්’ චිත්‍රපටවල විශේෂ දර්ශන ප්‍රයෝග සඳහා ඔහු සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, 2001 වසරේදී ‘මහදැනමුත්තයි ගෝලයො රොත්තයි’ වෙනුවෙන් සිග්නීස් සිනමා උලෙළේ විශේෂ ජූරි සම්මානය ද දිනා ගත්තේය.


කලකට පසු ප්‍රේක්ෂකයන්ට සමීප වන ඔහුගේ නවතම අධ්‍යක්ෂණය වන ‘රහයි ජීවිතේ’ අද්විතීය ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ අවසන් සිනමා රංගනය වීම ද විශේෂත්වයකි. ධනංජය සෙනරත් සහ මොහාන් හෙට්ටිආරච්චි විසින් නිෂ්පාදනය කර ඇති මෙහි සහය නිෂ්පාදනයෙන් තුවාන් රිස්මි ඩූල් සහ හේමන්ත යාපා එක්ව සිටිති. මෙරට සිනමාවේ දැවැන්තයන් රැසක් යළිත් රිදී තිරයේ දැකගැනීමේ අවස්ථාව මෙමඟින් ප්‍රේක්ෂකයන්ට හිමි වනු ඇත.


මෙම චිත්‍රපටයේ ඇති වඩාත් සුවිශේෂී කරුණ වන්නේ එය ප්‍රේක්ෂකයාට දෙවිදියක සිනමා අත්දැකීමක් ලබා දීමයි. මීට පෙර 1977 වසරේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘පෙම්බර මධූ’ චිත්‍රපටයේ අවසන් මිනිත්තු 9 දුක්බර සහ ප්‍රීතිජනක ලෙස අවස්ථා දෙකකින් නිර්මාණය කර සිනමාහල්වල මාරුවෙන් මාරුවට ප්‍රදර්ශනය කෙරිණි.


එම අත්දැකීම යළිත් සිහිපත් කරමින්, ‘රහයි ජීවිතේ’ චිත්‍රපටය ද ප්‍රධාන ආකාර දෙකකින් සිනමාහල්වලට මුදාහැර තිබේ. ඉන් සිනමාහල් විසිපහක තිරගත වන්නේ ටෙනිසන් කුරේගේ පියා ලෙස ප්‍රවීණ නළු රොබින් ප්‍රනාන්දු රංගනයෙන් දායක වන චිත්‍රපටයයි. සෙසු සිනමාහල් විසිහතේ තිරගත වන්නේ එම පියාගේ චරිතය ප්‍රවීණ නළු රෙක්ස් කොඩිප්පිලි විසින් නිරූපණය කරන චිත්‍රපටයයි. මෙය නිෂ්පාදනයේදී මෙන්ම රංගනයේදී ද දැඩි අභියෝගාත්මක කාර්යයක් වූ බව නොරහසකි. ඒ අනුව ප්‍රේක්ෂකයන්ට තම අභිමතය පරිදි රොබින් ප්‍රනාන්දු හෝ රෙක්ස් කොඩිප්පිලි රඟන චිත්‍රපටය නැරඹීමට අවස්ථාව සැලසී ඇති අතර, මෙය ලෝක මට්ටමේ සිනමා අත්දැකීමක් බව දිනේෂ් ප්‍රියසාද් පවසයි.


ENGLISH SUMMARY:

Veteran Sri Lankan commercial film director Dinesh Priyasad’s highly anticipated new comedy movie, 'Rahai Jeewithe', has officially released islandwide, offering audiences a rare and unique dual-cinema experience. The film holds immense emotional weight as it features the final on-screen performance of legendary Sri Lankan comedian Tennyson Cooray. In an ambitious directorial move, Priyasad has released two different versions of the film simultaneously. In 25 theaters, veteran actor Robin Fernando plays the role of Tennyson Cooray’s father, while in 27 other theaters, Rex Kodippili portrays the exact same character. This unique theatrical release style is reminiscent of Sugathapala Senarath Yapa’s 1977 film 'Pembara Madhu', which featured alternate happy and sad endings. With a cinematic career spanning over five decades, Dinesh Priyasad is widely celebrated as a digital cinema and visual effects pioneer in Sri Lanka. Having made his directorial debut with 'Peralikarayo' in 1986 alongside Vijaya Kumaratunga and Bollywood actress Tanuja, his latest project brings a remarkable cast of veteran stars back to the silver screen.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post