මම අදත් හෙටත් හැමදාමත් නළුවෙක්-සංගීත් ප්‍රභූ

gossiplanka image 1
 

‘කවඩියා’ ලෙසින් කා අතරත් ජනප්‍රියත්වයට පත්වූ ඔහු, රංගන කටයුතුවලට අමතරව ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් තමන්ගේම ගමනක් හදාගත් කොට්ටාවේ පිහිටි “සැලෝන් ප්‍රභූ”හි හිමිකරුවායි. එතැනින් නොනැවතී අලු‍ත් ව්‍යාපාරික කටයුත්තකටත් අතගසා සිටින ඔහුගේ අලුත්ම වංහුං ගැන කතාබහ කරන්නට අද හාට් අපි එකතු කරගන්නේ රංගන ශිල්පී සංගීත් ප්‍රභූයි. 


සංගීත්, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකේ වැඩ අවසන් වෙලා තියෙන්නේ මේ වෙද්දි. 28 වැනිදා ෆිල්ම් එක රිලීස් වුණා. ඒක තමයි විශේෂම දේ. ඒකෙ වැඩ සහ තව චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙ වැඩයි ඒ ටික තමයි දැනට. ඒ වගේම මගේ අලු‍ත් ව්‍යාපාරයක් ආරම්භ වෙනවා ඒකත් ඉස්සරහට දැනුම් දෙන්නම්.

කස්තුරිට ළඟදී ලොකු සප්‍රයිස් එකක් දීලා තිබුණා නේද?

ලොකු එකක් නෙමෙයි ඒක ඉතින්. සමහර දේවල් අපි ප්ලෑන් කරලා කරනවාට වඩා ඒගොල්ලො හිතන්නේ නැති දේවල් කළාම මම හිතනවා ගොඩක් සප්‍රයිස් වෙනවා කියලා. ඉතින් අපි දෙන්නාගේ එෆෙයා එකට අවුරුදු ගානක් වෙනවා. ඒත් එක්කම ඉස්සරහට අපි විවාහ වෙන්න තීරණය කරලා තියෙනවා. එන්ගේජ්මන්ට් එක හෙට අනිද්දාම ප්ලෑන් කරගෙන තියෙනවා.

ඊළඟ කලා ක්ෂේත්‍රයේ වෙඩින් එක ඔබ දෙපළගේ වෙයිද?

අපි දෙන්නා විවාහ වෙන්න සූදානම් වෙමින් ඉන්නවා. ඇත්තටම අපි දෙන්නා එන්ගේජ් වෙන්න ඉන්නේ කියල හැමෝම දන්නවා. එහෙම විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. බලමු ඉතින් නේද, මොකද වෙන්නේ කියලා. ඒක අනිවාර්යයෙන්ම දැනුම් දෙන්නම්. විවාහය ඉක්මනටම සිද්ධ වෙයි. ඒ දේවල් එක්ක අපි දෙන්නා බිසී ඒකයි. ඒ දේවලු‍ත් අපි කොහොම හරි කරගන්න ඕනනේ.

කොට්ටාවේ පිහිටි සැලොන් ප්‍රභූ ආයතනය ආරම්භ කරන්න හිතුවේ ඇයි?

ඇත්තටම මම සැලුන් එක දාන්න හේතුව වුණේ අපි කලාකරුවෝ සහ මගේ රස්සාව. ඒ හැම දේමත් එක්ක සැලු‍න් එකක් කියන්නෙ අපි හැමෝම යන්න ඕන තැනක්. ඉතින් මම බැලු‍වා මට යන්න ඕන තැනක් මගේම කරගත්තම ගොඩක් වටිනවා කියලා. ඒ වගේම කොට්ටාව කියන්නේ මගේ ජීවිතයේ විශේෂ ස්ථානයක්. මම කොට්ටාවෙන් තමයි ජීවිතය පටන් ගත්තේ. ඉතින් මම කැමැතියි කොට්ටාවෙන්ම ඒ හැම දේම ආරම්භ කරන්න.

සැලෝන් එකේ වැඩත් එක්ක කාර්යබහුල වෙලාද ඉන්නේ?

ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. සැලෝන් එක වගේම නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක ඉදිරියේදී මම දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක සහ පොඩි පොඩි දේවල් චිත්‍රපට කිහිපයක්, ටෙලිනාට්‍යයකුත් කතා කරගෙන ඉන්නවා. ඒ දේවල් එක්ක ඉතින් ඉස්සරහදි හම්බවෙමු.

දැන් ඔබව ටෙලිනාට්‍යවල වැඩිය දැකගන්න නැහැ නේද?

එහෙම දෙයක් නැහැ. ටෙලිනාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. මගේ සමහර දේවල් නිසා මට ලංකාවේ එහෙට මෙහෙට යන්න වුණා. මම හිතනවා ඒක නිසා මම කාර්යබහුල වුණා කියලා. නමුත් ටෙලිනාට්‍යවල රඟපාන එක අත්හරින්නේ නැහැ. ටෙලිනාට්‍ය සහ කලාව වෙනුවෙන් මම කරන්න ඕනෙ කැපකිරීම අනිවාර්යයෙන් කරනවා. ඉතින් ඒක මම කවදාක්වත් නැති කරගන්නේ නැහැ. මම හිතනවා මේ දවස් ටිකේ මගේ මේ වැඩ තිබුණ නිසා එක දිගට වැඩ කරගන්න බැරි අපහසුතාවකට පත්වුණා කියලා. නැත්නම් මම ටෙලිනාට්‍යවලින් තමයි මිනිස්සු අතරට ආවෙ. ඉතින් මගේ අදහස මම හැමදාම මගේ ප්‍රේක්ෂකයෝ එක්ක ඉන්නවා. ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙනවා.

ළඟදි අලු‍ත් ෆිල්ම් එකක් එනවා කියලා ආරංචියි?

ඔව්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ෆිල්ම් එකක් තමයි ‘අග්නිජය’. ඔක්තෝබර් 28 වැනිදා මේක රිලීස් වුණා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාංචන. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය සහ පළමු නිර්මාණය රංගනයෙන් දායක වෙන ප්‍රධාන චරිතය රඟපාන. ඉතින් මම හිතනවා ඒ ෆිල්ම් එක මිනිස්සුන්ට ඉතාමත් ළංවෙයි කියලා. මොකද මෑතකාලීන මේ විදිහෙ චිත්‍රපටයක් හම්බ වුණේ නැහැ. ඉතින් මේ චිත්‍රපටය ගැන තවත් කතා කළොත් මේක නරඹන්න ඕනෙම චිත්‍රපටයක්. අපේ ලංකාවේ සීනියර් ආටිස්ලා සෑහෙන්න ප්‍රමාණයක් ඉන්නවා සහ එච්චර කලාකාරයන් ගොඩක් එකම නිර්මාණයක දකින්න පුළුවන් නිර්මාණයක් විදිහට අග්නි ජය කියන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. මම හදවතින්ම සුබ පතනවා මාංචන ඔයාගේ මේ පළමු නිර්මාණයට.




‘කවඩියා’ කිව්වාම අපට මතක් වෙන්නෙ වෙනස්ම චරිතයක්. ඒ වගේ චරිතයක්ද මෙහි ඔබ රංගනයෙන් දායක වෙන්නේ?

‘කවඩියා’ කියන්නේ යම්කිසි කාලෙක මිනිස්සු වැඩිපුරම ආදරය කරපු චරිතයක්. ඒක ගැන කියන්න දෙයක් නැහැ. සමහර කට්ටිය දන්නව ඇත්තටම කවඩියා කියන්නේ ඉතාම සුන්දර චරිතයක් කියලා. මම හිතනවා අග්නි ජය චිත්‍රපටය තුළ කවඩියාව නම් බලාගන්න බැරි වෙයි. හැබැයි ඉතින් ඒ වගේම හොඳ මිත්‍රයෙකු පිළිබඳ කතාවේ මිත්‍රත්වය පිළිබඳ දැක ගන්න පුළුවන් වෙයි. මොකද මිත්‍රයෙක් කියන්නේ ඕනෙ වෙලාවක ළඟින් ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේම තමයි මේ අග්නි ජය චිත්‍රපටය තුළත් මම මාංචනගේ යාළුවෙක් විදිහට ඉන්නවා. ඉතින් ඒක හොඳ යාළුකමක් කියලා හිතනවා. ඒ වගේම මතක් කරන්න ඕනෙ ඒ චිත්‍රපටයෙන් ලැබුණු යාළුකම අදටත් එහෙම්මමයි. මාංචන මගේ ඉතාමත් ළඟ මිත්‍රයෙක් වෙලා ඉන්නේ දැන්.

කොහොමද ඔබට ‘අග්නි ජය’ ෆිල්ම් එකට සම්බන්ධ වෙන්නෙ අවස්ථාව ලැබුණේ?

මම හිතන්නේ මම ඒ කාලය තුළ චිත්‍රපට කීපයකටම රංගනයෙන් දායක වුණා. මට ආරංචියක් ආවා මාංචන විශේෂයෙන්ම මාව මෙන්ෂන් කරලා කියලත් තියෙනවා කියලා සංගීත්ව මේකට ගන්න ඕනෙ කියලා. මම හිතනවා මේක මාංචනගෙ තේරීමක් කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕන කිහිප දෙනෙක් ඉන්නවා. ඩොනල්ඩ් ජයන්ත ඔහුත් මාව විශේෂයෙන් මතක් කරලා තිබ්බා. මොකද ඔහුත් එක්ක මම චිත්‍රපට කිහිපයකම වැඩ කරලා තිබ්බා. ඒ වගේම මම හිතනවා මාංචනගේ තේරීමට මම පුළුවන් උපරිම සාධාරණයක් කරන්න ඇති කියලා.

අලු‍තින් තවත් නිර්මාණ දැකගන්න පුළුවන් වෙයිද?

ඔව්. අනිවාර්යයෙන්ම පුළුවන්. විශේෂයෙන් මතක් කරන්න ඕනෙ චිත්‍රපට කීපයකම මම රංගනයෙන් දායක වෙනවා. ඒ ටිකත් ළඟදිම එනවා. ඒකත් එක්ක දෙසැම්බර් මාසයේ රූගත කරන්න චිත්‍රපටයක් ප්ලෑන් කරමින් ඉන්නවා. ඉතින් ඒකෙ විස්තරත් මම ඉස්සරහට කියන්නම්. මට පුළුවන් පමණින් උපරිම සාධාරණය කරන්න උත්සාහ කරනවා.

මේ සෑම වැඩකටයුත්තකටම ඔබට කස්තුරිගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඔව්. මේ වැඩකටයුතුත් එක්ක කස්තුරිගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා සහ මේ දේවල් ටිකත් එක්ක අපි අලු‍ත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඒ පිළිබඳ සාකච්ඡා කරමින් ඉන්නේ. මම හිතනවා ඒ වැඩ ටිකත් වැඩි දවසක් යන්න කලින් ආරම්භ වෙයි කියලා. දැනටමත් වැඩ පටන් අරගෙන තියෙන්නේ. තව ටික දවසකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒකත් මොකක්ද කියලා. ඉතින් එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මේ හැම කටයුත්තකදිම.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත් මොන වගේ ක්ෂේත්‍රයකින්ද ඉදිරියේදී සංගීත් දැකගන්න පුළුවන් වෙන්නෙ?

එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මම අදත්, හෙටත්, හැමදාමත් ඕගොල්ලෝ ආදරේ කරපු සංගීත් ප්‍රභූම තමයි. මම මොන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ආවත් මම කවදාවත් මගේ රංගනය අමතක කරන්නේ නැහැ. මගේ ජීවිත කාලය පුරාවට හැමදාමත්, හෙටත්, අනිද්දත් මගේ ජීවිතේම නළුවෙක් වෙන්න තමයි ආසා කළේ. ඒක නැති කරගන්නේ නැහැ. ඉතින් හැමදාම වගේ මේ ක්ෂේත්‍රය වෙනුවෙන් මම වැඩ කරනවා අනිවාර්යයෙන්ම. මොන ක්ෂේත්‍රයකින් ඉදිරියට ආවත්, මොන විදිහට ඉදිරියට ආවත් මම නළුවා කියන කෙනාට ආදරේ කරනවා. ඉතින් සංගීත්ව දැකගන්නෙ, දැනගන්නෙ ඒ හැම දෙයක්ම ටෙලිනාට්‍ය, චිත්‍රපට හරහා. ඒක මම කවදාවත් නැති කරගන්නේ නැහැ. ඒ ආදරේ මම හැමදාම රැකගන්න උත්සාහ කරනවා. ඉතින් මම ආදරෙයි මේ නළුකමට.


නෙත්මි මල්ෂා

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post