පොඩ්ඩි කියන්නේ ස්ක්‍රිප්ට් එකේ තිබුණු නමක් නෙමෙයි - විනුමි වන්සදී

gossiplanka image 1
 

 

ධර්ම යුද්ධය චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතර ආදරණීය ‘පොඩ්ඩි‘ බවට පත්වූ විනූමි වන්සදි මේ වන විට අධ්‍යාපන කටයුතු සමඟින් රංගන කටයුතුද සමබරව ඉදිරියට ගෙන යමින් සිටියි. ධර්ම යුද්ධය දෙවන සහ තුන්වන චිත්‍රපටවලටද රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණු ඇය, වර්තමානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියි. සිය රංගන ගමනේ අත්දැකීම් සහ අලුත් චිත්‍රපටයේ සචිනිගේ චරිතය පිළිබඳව විනූමි රසඳුන සමඟ මෙලෙස අදහස් දැක්වීය.


“මම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ Applied Science අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. මේ වෙද්දි මම දෙවැනි වසරේ ඉන්නේ. අධ්‍යාපන කටයුතු කරගෙන යන අතරතුර තමයි ධර්ම යුද්ධය දෙවැනි සහ තුන්වැනි චිත්‍රපට දෙකටම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණේ. මේ දවස්වල නම් විශ්වවිද්‍යාලයේ අවසන් විභාග එන නිසා අධ්‍යාපන කටයුතුවලට වැඩි අවධානයක් දීලා ඉන්නවා.”


විනූමිගේ රංගන ගමනේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ධර්ම යුද්ධය චිත්‍රපටය හැඳින්විය හැකි පවසන ඇය තමන් සිනමාවට පැමිණි ආකාරය සඳහන් කළේ මෙලෙසිනි.


“ධර්ම යුද්ධය කියන්නේ මම රංගනයෙන් දායක වුණු දෙවැනි චිත්‍රපටය. මගේ පළමු චිත්‍රපටය ‘හෝ ගානා පොකුණ’. ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙද්දි මම හිටියේ ඉස්කෝලේ පහ වසරේ. ධර්ම යුද්ධය පළමු චිත්‍රපටයට දායක වෙද්දි මම නවය වසරේ වගේ හිටියා. ඊට අවුරුදු ගණනකට පස්සේ තමයි ධර්ම යුද්ධය දෙවැනි චිත්‍රපටයට මට ආරාධනා ලැබෙන්නේ. ඒකාලේ මම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා. තුන්වැනි චිත්‍රපටය කරද්දි මම දෙවැනි වසරේ. ධර්ම යුද්ධය පළමු චිත්‍රපටයේ මගේ නම සචිනි. නමුත් සචිනි කියන නමට වඩා පොඩ්ඩි කියන නම ගොඩාක් ජනප්‍රිය වුණා. පොඩ්ඩි කියන්නේ ස්ක්‍රිප්ට් එකේ තිබුණු නමක්වත් නෙමෙයි. ධර්ම යුද්ධය පළමු චිත්‍රපටය රූගත කරද්දි ජැක්සන් මාමා සහ දිල්හානි නැන්දා නිකම් කතා කරපු නමක්. අන්තිමට ඒ නමින් තමයි මාව ප්‍රේක්ෂකයෝ දැනගත්තේ. අදටත් සචිනි කියනවට වඩා පොඩ්ඩි කියන නම කිව්වම තමයි ගොඩක් දෙනෙක් මාව හඳුනන්නේ.”


කාලයත් සමඟ තමන්ගේ ජීවිතය සහ සමාජය දෙස බලන ආකාරය වෙනස් වී ඇති බව පවසන විනූමි, ඒ වෙනස සචිනිගේ චරිතය නිර්මාණය කිරීමේදීද බලපෑ බව සඳහන් කළාය.


“මම දැන් විශ්වවිද්‍යාලයට යන කෙනෙක් විදිහට මගේ චරිතය දිහා බලන විදිහ වෙනස්. මම මේ වයසෙදි දේවල් ගොඩක් විවෘතව බලනවා. රාමුවකට කොටු නොවී රාමුවෙන් පිට ගිහින් දේවල් දිහා බලනවා. ඒ නිසා මම සචිනිව නිර්මාණය කළේ මට දැනෙන විදිහට. සචිනි කියන්නේ පවුලේ පොඩිම කෙනා. එයා යම් ප්‍රශ්නයකට මුහුණ දුන්නම කොහොම හැසිරෙයිද, මගේම අක්කට එවැනි දෙයක් වුණොත් මම කොහොම හැසිරෙයිද කියන අදහස මත තමයි මම සචිනිව නිර්මාණය කළේ.”


සිනමා ක්ෂේත්‍රයට තවමත් ආධුනික වූ තමන්ට රඟපෑම අභියෝගයක් වූ බවද ඇය පවසයි.


“තුන්වැනි චිත්‍රපටයත් මට අභියෝගයක් වුණා. මම සිනමා ක්ෂේත්‍රයට තවමත් ආධුනිකයි. ඒ අභියෝගය ජයගන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. ඒකට මගේ වටේ හිටපු හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. මගේ අම්මා, අප්පච්චි, මල්ලි වගේම මගේ පාසලේ ගුරුවරුන් මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ධර්මයුද්ධය දෙවැනි සහ තුන්වැනි චිත්‍රපටවලදී විශ්වවිද්‍යාලයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මගේ මිතුරු මිතුරියන් වගේම ගුරුවරුන් හැම දෙයක්ම සමබරව කරගෙන යන්න මට උදව් කළා. ගුරුවරුන්ගෙන් යාළුවන්ගෙන් මට ලැබෙන සහයෝගය නිසා මානසික නිදහසකින් මේ වැඩේ කරන්න පුළුවන් වුණා. මගේ යාළුවෝ තමයි මා ගැන හොයලා බලලා, ප්‍රශ්නයක් ඇති නොවෙන්න දෙකම සමබර කරගමු කියලා මාත් එක්ක හිටියේ. ඒ වගේම ආධුනික කෙනෙක් කියලා මට දැනෙන්නෙ නැති විදිහට හැමෝම සහයෝගය දුන්නා. ජැක්සන් මාමා, දිල්හානි අක්කා, කුසුම් නැන්දා වගේම තවත් බොහෝ දෙනෙක්ගෙන් පළමු චිත්‍රපටයේදී මට ලොකු සහයෝගයක් ලැබුණා. දෙවැනි සහ තුන්වැනි චිත්‍රපටවලදී බිමල් මාමාගෙන් ලැබුණු සහයෝගයත් අමතක කරන්න බැහැ. ඒ හැමෝමත් එක්ක හරිම ලස්සන කාලයක් ගත කළා. මම ගොඩක් දේවල් එයාලගෙන් ඉගෙන ගත්තා. මම ආධුනිකයි කියලා දැනෙන්න ඉඩ නොදී හැම වෙලාවෙම හැමෝම මා ගැන හොයලා බැලුවා.”


ධර්ම යුද්ධය චිත්‍රපට මාලාව සමඟ බැඳුණු අමතක නොවන මතක රැසක්ද විනූමි සතුව තිබේ. ඒ අතරින් පළමු චිත්‍රපටයේදී අම්බුළුවාවට ගිය අවස්ථාව ඇය විශේෂයෙන් සිහිපත් කරයි.


“මට පොඩි ෆෝබියා එකක් තියෙනවා. උසකට ගියාම මට ටිකක් අමාරුයි. ඒ නිසා උස තැන්වලට නඟින්න මම බයයි. ඒත් අපිට අම්බුළුවාව උඩටම යන්න වුණා. ජැක්සන් මාමා තමයි මාව අල්ලගෙන එක්කගෙන ගියේ. උඩට ගියාට පස්සේ අපේ ඩ්‍රෝන් එකේ බැටරිය බැස්සා. ඒක චාර්ජ් වෙනකල් අපිට උඩ ඉන්න වුණා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැති සිදුවීමක්. අපේ හෝටල් කාමර තිබුණේ එක ළඟ. අපි එළියට ඇවිල්ලා කතා කරනවා, විහිළු කරනවා. ඒ වගේ හරි ලස්සන මතක තියෙනවා. තිසුරි අක්කගේ බබත් අපිත් එක්ක හිටියා. එයා නිසා අපිට කිසිම වෙලාවක පාළු දැනුණේ නැහැ. සෙල්ලම් කර කර, හුරතල් කර කර එයාත් එක්ක හිටපු කාලයත් ලස්සන මතකයක්.”


පොඩ්ඩි ලෙස ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් අවස්ථාද ඇයගේ රංගන දිවියේ සුවිශේෂී මතකයන්ය.


“ධර්ම යුද්ධය පළමු චිත්‍රපටය තිරගත වෙද්දි මට චිත්‍රපටය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවලට සහභාගි වෙන්න සිදුවුණා. සමහර අවස්ථාවලදී මම ෆිල්ම් හෝල්වලට ගිහින් ප්‍රේක්ෂකයන් අතර ඉඳගෙන චිත්‍රපටය බලනවා. චිත්‍රපටයේ අවසාන කොටසේ සිදුවීමක් කියද්දි ප්‍රේක්ෂකයෝ දන්නේ නැහැ මම එතන ඉන්නවා කියලා. ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ ප්‍රතිචාර දැකපු එක මට හරිම සතුටක්. ඒගොල්ලෝ චිත්‍රපටය ඇතුළේ ජීවත් වෙනවා වගේ මම පිට ඉඳන් දැක්කා. පොඩ්ඩි කියන චරිතය ප්‍රේක්ෂකයන්ගේ හිත්වල මතකයක් විදිහට ඉතුරු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. ලංකාවේ සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණු නිර්මාණයකට තවත් වරක් දායක වෙන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. නමුත් රංගනය ජීවන වෘත්තිය කර ගන්න නම් අදහසක් මට නැහැ. විද්‍යාඥවරියක් වීම තමයි මගේ බලාපොරොත්තුව.”


ධර්ම යුද්ධය දෙවැනි චිත්‍රපටය අවසන් වන විටම තුන්වැනි චිත්‍රපටයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති වූ බවද ඇය පැවසුවාය. එය කෙටි කාලයකින් යථාර්ථයක් බවට පත්වීම ඇයට විශේෂ සතුටක් විය

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post