ප්රශ්නය: ඔබ රංගන ක්ෂේත්රයට පිවිසෙන්නේ කෙසේද?
පිළිතුර: 2022 වසරේ පැවති 'දෙරණ අවුරුදු කුමරිය' තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීමත් සමඟ මට රංගන ක්ෂේත්රයට පිවිසෙන්නට අවස්ථාව හිමි වුණා.
ප්රශ්නය: 'එහෙව් හිතක ආදරයක්' යනු ඔබ රංගනයෙන් දායක වන කීවැනි ටෙලිනාට්‍යයද?
පිළිතුර: මෙය මා රංගනයෙන් සම්බන්ධ වන සිව්වැනි ටෙලිනාට්‍යයයි. මම මීට පෙර 'මගේ ඉපැරැණි පෙම්වතිය' වැනි ටෙලිනාට්‍යවල අතිරේක චරිතවලටත්, 'තත්පර කට්ටා' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයටත් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන චරිතයක් හරහා දෙවැනි වරටත් මා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ මේ දිනවල විකාශය වන 'එහෙව් හිතක ආදරයක්' ටෙලිනාට්‍යයෙන්.
ප්රශ්නය: එම ටෙලිනාට්‍යයේ වේටර්වරියක ලෙස රඟපෑමට ලැබීම පිළිබඳව ඔබට හැඟෙන්නේ කුමක්ද?
පිළිතුර: 'එහෙව් හිතක ආදරයක්' ටෙලිනාට්‍යය තුළ මා රඟපාන්නේ ආශිගේ චරිතයයි. පවුලේ අයගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිතය ද ගොඩනඟා ගැනීමේ බලාපොරොත්තුවෙන් හෝටලයක වේටර්වරියක ලෙස සේවය කරමින් ඇය ජීවන අරගලයක නිරත වනවා. මීට පෙර එවැනි චරිතයක් නිරූපණය කර නොතිබුණු නිසා මෙය මට නවමු අත්දැකීමක් වුණා. නමුත් එහි අධ්යක්ෂ සාලින්ද රත්නායක මහතාගේ උපදෙස් මත චරිතය නිසි ලෙස ගොඩනඟා ගනිමින් සාර්ථකව රඟපෑමට මට හැකියාව ලැබුණා. කිසිවකු මත හෝ යැපෙන්නේ නැතිව අපහසුතා දරාගනිමින් තමන්ගේ පවුලත් සමඟ දියුණු වීමට උත්සාහ කරන ආශි වැනි තරුණියකගේ චරිතයක් රඟපෑමට ලැබීම ගැන මා සතුටු වෙනවා.
ප්රශ්නය: ආශිගේ චරිතයේදී ඔබට වඩාත්ම සමීප වූ කාරණය කුමක්ද?
පිළිතුර: ස්වයං උත්සාහයෙන් ජීවිතය ජයගැනීමට වෙහෙසෙන තරුණියක වීම එහිදී මට වඩාත්ම සමීප වුණා. ඊට ප්‍රධානතම හේතුව නම්, මමත් ආශි වගේම මහන්සි වී ජීවිතය ජයගැනීමට උත්සාහ කරන කෙනෙක් වීමයි. මගේ ජීවිතයේ තිබෙන ලොකුම බලාපොරොත්තුව වන්නේ මටම කියා නිවසක් සහ වාහනයක් මිලදීගෙන පවුලේ අයවත් හොඳින් බලාගන්නා අතරතුර දියුණු වීමයි. මේ වන විට මගේ වාහනයක් ගැනීමේ සිහිනය නම් ඉටුකරගෙන තිබෙනවා.
ප්රශ්නය: මෙම ටෙලිනාට්‍යයේදී ඔබට දඟකාර මල්ලී කෙනෙකු සිටිනවා නේද?
පිළිතුර: ඔව්, නිතරම දඟ වැඩ කරන පණ්ඩිත මල්ලී කෙනෙකු මට එහිදී ලැබී තිබෙනවා. ශාරද් චන්දුම තමයි මගේ මල්ලී විදිහට රඟපාන්නේ. මගේ සැබෑ ජීවිතය තුළත් පවුලේ ශාරද් වගේම දඟකාර මල්ලී කෙනෙකු ඉන්නවා. ඒ නිසා සැබෑ ජීවිතයේ මල්ලී සමඟ තිබෙන සහෝදර බැඳීම කිසිදු වෙනසකින් තොරව රංගනයේදී ශාරද් සමඟත් පවත්වාගන්නට මට පුළුවන් වී තිබෙනවා.
ප්රශ්නය: 'එහෙව් හිතක ආදරයක්' ටෙලිනාට්‍යයේදී ඔබ මුහුණ දුන් විශේෂ අත්දැකීම් මොනවාද?
පිළිතුර: එය නරඹන ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී මා පිරිමි ළමයින් සමඟ සටන් කරන දර්ශන දැකගන්නට ලැබේවි. සාමාන්‍ය රංගන රාමුවෙන් ඔබ්බට ගොස් එවැනි සටන් ජවනිකා රඟපෑමට ලැබීම එහිදී මා ලැබූ විශේෂම අත්දැකීමක් වුණා.
ප්රශ්නය: ඔබ ඉදිරියට යන්නේ චරිතාංග නිළියක ලෙසද?
පිළිතුර: එසේ වන්නට පුළුවන්. මා මෙතෙක් විශාල ටෙලිනාට්‍ය ප්‍රමාණයක රඟපා නැහැ. නමුත් රඟපෑ සෑම ටෙලිනාට්යයකින්ම මා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියේ එකිනෙකට වෙනස් චරිත හරහායි. ඒ අනුව ඉදිරියේදී ගැමි චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණීමට මා කැමැත්තෙන් සිටිනවා.
ප්රශ්නය: රංගනය යනු ඔබේ එකම වෘත්තියද?
පිළිතුර: නැහැ. රංගනයට අමතරව නිරූපණ ශිල්පිනියක මෙන්ම සමාජ මාධ්‍ය බලපෑම් කරන්නියක ලෙස ද මා කටයුතු කරනවා. නිරූපිකාවක ලෙස මියුසික් වීඩියෝ සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙනවා. ඊට අමතරව විවිධ වෙළෙඳ නිෂ්පාදන ජනතාවට සමීප කිරීමේ කටයුතුවලත් නිරත වෙනවා.
ප්රශ්නය: ප්‍රේක්ෂකයන් අතර ඔබ වඩාත් ප්‍රසිද්ධ සරාගී නිළියක ලෙසයි...
පිළිතුර: ඔව්. හැබැයි මා විශේෂයෙන්ම සරාගී වීමට උත්සාහ කරන්නේ නැහැ. මම මගේ ශරීරය හැඩකාරව පවත්වාගෙන යනවා. විලාසිතාවක් විදිහට තරමක් විවෘත ඇඳුම් අඳින්නට පුරුදු වී සිටිනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන් මාව සරාගී කෙනෙකු ලෙස හඳුන්වනවා ඇති.
ප්රශ්නය: ඔබට විවිධ විවේචන එල්ල වන අවස්ථා තිබෙනවාද?
පිළිතුර: නැහැ. මා නිරූපණය කරන චරිතයක්, මගේ නිරූපණ කටයුත්තක්, සමාජ මාධ්‍ය තුළ කරන ප්රවර්ධනයක් හෝ මගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් මේ දක්වා කිසිම කෙනෙකු මාව විවේචනය කර නැහැ.
ප්රශ්නය: ඉදිරියේදී සරාගී චරිත රඟපෑමේ අදහසක් ඔබට නැද්ද?
පිළිතුර: කලාත්මක වටිනාකමක් තිබෙන සරාගී චරිතයක් නම් රඟපෑමට මා කැමතියි. නමුත් එම චරිතය ඇතුළත කරන්නට තිබෙන දේවල් සහ ඇඳුම් පැලඳුම් පිළිබඳව දැඩි සේ සැලකිලිමත් වීමෙන් පසුවයි එය රඟපානවාද නැද්ද යන්න මා තීරණය කරන්නේ. මගේ පෞද්ගලික ප්‍රතිරූපයට හානියක් වන හෝ ප්‍රේක්ෂකයන් අතර නරක විදිහට ප්‍රසිද්ධ වන ආකාරයේ චරිත මා කිසිවිටෙකත් භාරගන්නේ නැහැ.
ප්රශ්නය: කලා කටයුතුවලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කෙසේද?
පිළිතුර: මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, නංගී සහ මල්ලී. රංගන ක්ෂේත්රයට ආ මුල් කාලයේදී අම්මා මා සමඟම රැඳී සිටිමින් මට ලොකු රැකවරණයක් ලබා දුන්නා. ක්ෂේත්රය ගැන අවබෝධයක් ලබාගෙන ඉදිරියට යද්දී තමයි ඇය මට තනිවම වැඩවලට යන්න ඉඩ දුන්නේ. කලා ක්ෂේත්රයෙන් මා ඉදිරියටම යනවා දකින්න තාත්තා, නංගී සහ මල්ලීත් ගොඩක් කැමතියි. මගේ අඩුපාඩු පෙන්වා දෙමින් ජීවිතය ජයගන්නට මට උදව් කරන මගේ හොඳම රසිකයන් ලෙස පවුලේ අයව හඳුන්වන්න මා කැමතියි.
සටහන: ලක්ෂාන් ජයසූරිය
ENGLISH SUMMARY:
Sri Lankan actress Sherangi Natasha, who won second place at the Derana Avurudu Kumari 2022 pageant, is currently gaining popularity for her role as Ashi in the TV Derana television drama "Ehew Hithaka Adarayak". Directed by Salinda Rathnayake, the drama features Sherangi portraying a hardworking hotel waitress striving to support her family while building her own future. In a recent interview with entertainment journalist Lakshan Jayasuriya, she revealed that the character deeply resonates with her own life, as she is also working diligently to achieve her dreams, which include purchasing a house and a vehicle—a goal she has partially fulfilled by recently buying a car.
Sherangi noted that the drama marks her fourth television appearance and her second lead role, following her performance in "Thappara Katta". She will also be seen executing action sequences and fight scenes alongside male actors in the upcoming episodes. Outside of acting, Sherangi works as a professional model for music videos and television commercials, and as a social media influencer. Addressing her reputation as a glamorous actress, she clarified that she naturally maintains her fitness and enjoys open fashion without intentionally seeking a controversial image, affirming that she will only accept mature roles that hold true artistic value without damaging her personal reputation.