ක්ලිෆ් බූත් (Cliff Booth) යනු ගොපළු වර්ගයේ රූපවාහිනී නාට්‍ය (Western TV Shows) හි තරුවක් වන හොලිවුඩ් රංගන ශිල්පී රික් ඩෝල්ටන් ගේ ක්‍රියාදාම යුග්මකයා (Stunt Double) සහ හොඳම මිතුරාය. දෙවන ලෝක යුද්ධයෙහිදී දස්කම් දැක්වූ විරුවෙක්ද වන බූත් දෙවරක් යුධ සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. ඔහු පිහිය හැසිරවීමේ සහ සතුරා සමඟ සමීපව කෙරෙන සටන් සම්බන්ධ විශේෂඥයෙකි.
නිතර ඩෙනිම් ඇඳුමකින් සැරසී සිටින බූත් බ්‍රැන්ඩි නමැති පිට් බුල් වර්ගයට අයත් සුරතල් සුනඛයා සමඟ ජංගම නිවහනක් තුළ දිවි ගෙවයි. බූත් අතින් සිය බිරිඳ මිය ගිය බවට පවතින කටකතාවක් නිසා හොලිවුඩයේ ප්‍රමුඛ චිත්‍රාගාර ඔහුට රැකියාවක් පිරිනැමීම ප්‍රතික්ෂේප කරයි.
එලෙස දැක්වූයේ 2019 වසරේදී නිකුත් වූ Once Upon a Time in Hollywood නමැති සිනමාපටයේ කැපී පෙනෙන චරිතයක් වූ ක්ලිෆ් බූත් සම්බන්ධ චරිත ලක්ෂණයන්ය. උක්ත සිනමාපටයේ තිරනාටකය ලියා අධ්‍යක්ෂණය කළේ ක්වින්ටන් ටැරන්ටිනෝ (Quentin Tarantino) විසිනි. බූත්ගේ චරිතයට පණ පෙවීම වෙනුවෙන් හොලිවුඩ් ජනකාන්ත නළු බ්‍රැඩ් පිට්ට හොඳම සහාය නළුවාට හිමි ඇකඩමි සම්මානයද හිමි විය. එලෙස අවධානයට ලක් වූ ක්ලිෆ් බූත්ගේ චරිතය පදනම් කරගෙන ටැරන්ටිනෝ තවත් තිරපිටපතක් ලිවීය. එය නම් කර ඇත්තේ The Further Mis-Adventures of Cliff Booth යනුවෙනි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය පැවරී ඇත්තේ තවත් පෙරළිකාර සිනමාකරුවෙක් වන ඩේවිඩ් ෆින්චර් (David Fincher) වෙතය.
2025 දී ලෝ ප්‍රකට Netflix සමාගම ටැරන්ටිනෝ ලියූ තිරපිටපත මිලට ගෙන ඇත. ප්‍රධාන චරිතය නිරූපණය කරන බ්‍රැඩ් පිට්ට අයත් Plan B Entertainment සමාගම සමඟ ඩේවිඩ් හේමන් හා ටැරන්ටිනෝ සිනමාපටය නිෂ්පාදනයට උරදී සිටියි.
2025 ජූලි මස දී සිනමාපටයේ රූගත කිරීම් ඇරඹිණි. ඒ දකුණු කැලිෆෝනියා හි ලොස් ඇන්ජලීස් ආශ්‍රිතවය. ෆින්චර් ගේ දිගුකාලීන නිර්මාණ සගයෙක් වන එරික් මෙසර්ච්මිඩ්ට් (Erik Messerschmidt) සිනමා චායාරූප ශිල්පියා ලෙස කටයුතු කරයි. එම සුසංයෝගය මින් පෙර නිපදවූ Mindhunter, Mank හා The Killer දක්වා විහිදේ.
ප්‍රධාන රූපගත කිරීම් 2026 ජනවාරි මසදී අවසන් වුවද අමතර රූගත කිරීම් අගෝස්තු මස දක්වා ඇදී ගොස් තිබිණි. එහිදී ෆින්චර් කැමරාව භාර කළේ ඔහුගේ තවත් දිගු කාලීන නිර්මාණ මිතුරෙක් වන ජෙෆ් ක්‍රොනන්වර්ත් හටය.
සිනමාපටයෙන් දැක්වෙන්නේ 1970 දශකයට අයත් හොලිවුඩයයි. එය ප්‍රංශ නව රැල්ල හමුවේ හොලිවුඩයේ හැඩය වෙනස් වෙමින් පැවති කාලයකි. රූප රාමු තුළින් එම පෙනුම ලබාදීම සඳහා ඊට අවශ්‍ය දර්ශන තල වන වෙෙළඳසැලවල ඉදිරි පෙනුම, 70 දශකයේ පැවති සිනමාශාලා ආදිය ප්‍රතිනිර්මාණය කිරීමට සිදුව ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන සැලසුම්කරණයෙන් එක්වී ඇත්තේ ඩොනල්ඩ් ග්‍රැහැම් බර්ට් (Donald Graham Burt) ය.
චිත්‍රපටය සංස්කරණය වී ඇත්තේ කර්ක් බැක්ස්ටර් (Kirk Baxter) අතිනි. ඔහු ෆින්චර් සමඟ මින් පෙර නිර්මාණකරණයට එක් වෙමින් The Social Network, The Girl with a Dragon Tattoo වෙනුවෙන් හොඳම සංස්කරණයට හිමි ඇකඩමි සම්මානයට පාත්‍ර වූවෙකි.
සිනමාපටය මුදාහැරීමට සැලසුම් කර ඇත්තේ මෙම වසරේ නොවැම්බර් 25 දිනය. ඒ මුළුමනින්ම IMAX මාදිලිය ඔස්සේය. සිනමාපටය Netflix සමාගමට අයත් ඩිජිටල් වේදිකාවන් ඔස්සේ එළිදකින්නේ ඉන් අනතුරුවය. මෙය අද Netflix වැනි සමාගම් පවා පුළුල් තිර අත්දැකීමට මුල්තැනක් ලබා දෙන බවට සාක්ෂියකි.
තිර පිටපතට දායක වී සිටින ටැරන්ටිනෝ අනූව දශකයේ සිනමාලොව දිග්විජය කළ පෙරළිකාර නිර්මාණකරුවෙකි. ඔහුගේ මුල් යුගයේ සිනමාපට වන Reservoir Dogs සහ Pulp Fiction වැනි සිනමාපට විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමදව දිනාගත් අමෙරිකානු ස්වාධීන සිනමාවේ අග්‍ර කෘති ලෙස සැලකේ. අනතුරුව ඔහු ඉතිහාසය තමාට රිසි ලෙස ප්‍රති අර්ථනිරූපණය කරමින් අපූරු නිර්මාණ කිහිපයක් සිදු කළේය. Inglorious Basterds ගෙන් ඇරඹි එම ධාරාවේ කූටප්‍රාප්තිය සටහන් වූයේ Once Upon time in Hollywood ඔස්සේය.
ප්‍රධාන චරිතය නිරූපණය කරන බ්‍රැඩ් පිට් ප්‍රථමයෙන් මතකයේ රැඳුනු රංගනයක් ඉදිරිපත් කළේ රිඩ්ල් ස්කොට් ගේ Thelma & Louise සිනමාපටයෙනි. ඉන් අනතුරුව ෆින්චර්ගේම Seven හා Fight Club මෙන්ම බ්ලොක්බස්ටර් මාදිලියේ Ocean’s Eleven, Troy හා Mr. & Mrs. Smith ඔහුව ප්‍රමුඛ පෙලේ තරුවක් බවට පත් කළේය. ඊට අමතරව චිත්‍රපට නිෂ්පාදනයටද උරදී සිටින පිට් විසින් නිපදවූ 12 Years a Slave සිනමාපටයට හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානද හිමි විය.
සිනමාව, රූපවාහිනිය සහ ගීත රූප රචනය යන අවකාශ ත්‍රිත්වයේම සිය දස්කම් දක්වන ඩේවිඩ් ෆින්චර් ලොව ප්‍රමුඛ පෙෙළ් අධ්‍යක්ෂවරයෙක් ලෙස සැලකේ. ඔහු අධ්‍යක්ෂණයට අත තබන්නේ Alien 3 නමැති විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය ඔස්සේය. ඔහු නිපදවූ Seven, Fight Club හා Gone Girl වැනි චිත්‍රපට ඔහුව ලෝක මට්ටමට ඔසවා තැබීමට හේතු විය. ඊට අමතරව ෆින්චර් Netflix වෙනුවෙන් House of Cards හා Manhunter වැනි මාලා නාටකද මැඩෝනා, The Rolling Stones හා මයිකල් ජැක්සන් වෙනුවෙන් ගීත රූප රචනා ද සිදු කර ඇත. වාර කිහිපයකදී හොඳම අධ්‍යක්ෂණයට හිමි ඇකඩමි සම්මානයට නිර්දේශ වී සිටින ෆින්චර් එමී, ග්‍රැමී සහ ගෝල්ඩන් ග්ලෝබ් ආදී සම්මාන රැසකින්ද පිදුම් ලැබූවෙකි.