සංගීත්ට මුලින්ම කස්තුරිව මුණගැසුණේ කොහොමද?
මට මුලින්ම කස්තුරිව දකින්න ලැබුණේ ෆේස්බුක් ගිණුමේ තිබුණු ඡායාරූපයකින්. ඒ දවස්වල රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන, මමත් රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යයක් සඳහා අලුත් නිළියක් හොයමිනුයි හිටියේ. කස්තුරිගේ හුරුබුහුටි පෙනුම නිසා, ටෙලිනාට්‍යයක රඟපාන්න කැමතිද කියලා අහලා මම ෆේස්බුක් හරහා ඇයට පණිවිඩයක් යැව්වා. ඒ වගේම ඇගේ දුරකථන අංකයත් ඉල්ලා සිටියා. නමුත් මුලදී ඇය මාව එතරම් ගණන් ගත්තේ නැහැ. ඉල්ලා සිටි දුරකථන අංකය වෙනුවට ඇය මට ලබා දුන්නේ වැඩ කරන්නේ නැති අංකයක්. මේක බොරුවක් නෙවෙයි, ඇත්තටම ටෙලිනාට්‍යයක රඟපාන්න කතා කළේ කියලා පැහැදිලි කළාට පස්සෙයි ඇය තිර පරීක්ෂණයට (Screen test) ඇවිත් මා සමඟ රංගනයට එක්වුණේ. අපි දෙන්නා මුලින්ම මුණගැසුණේ ඒ විදිහටයි.
කස්තුරිට ආදරය කරන්න හිතුණේ ඇයි?
ඡායාරූපයෙන් ඇයව මුලින්ම දකින විටත් මට ඇය ගැන පුංචි ආකර්ෂණයක් ඇති වුණා. ඒ ආකර්ෂණය ආදරයක් බවට පත් වුණේ අපේ අදහස් හොඳින් ගැලපුණු නිසයි. ටෙලිනාට්‍යයේ වැඩ කරන අතරතුර අපි එකට ආහාර ගත්තා. ඇය නිර්මාංශික (Vegetarian) කෙනෙක් බව මට දැනගන්න ලැබුණේ ඒ වෙලාවේ. මමත් නිර්මාංශිකයි. ඒ ගැලපීමත් සමඟ එතැනිනුයි අපේ ආදර කතාව මුලින්ම ආරම්භ වුණේ.
කස්තුරිගේ ඔබ වඩාත් කැමතිම ගුණාංග මොනවාද?
ඇගේ උත්සාහවන්තකම සහ පිළිවෙළ තමයි මම වඩාත්ම කැමති දේවල්. මම බොහොම පහළ තැනක ඉඳලා උත්සාහයෙන් දියුණු වෙන්න මහන්සි වුණු කෙනෙක්. කස්තුරි ඒ තත්ත්වය තේරුම් අරගෙන මගේ ගමනට ලොකු ශක්තියක් වුණා. මගේ ජීවිතය පිළිවෙළක් කරගන්න මාත් එක්ක එකතු වුණු කෙනා විදිහට කස්තුරිව හඳුන්වන්න පුළුවන්.
සංගීත්ගේ සහ කස්තුරිගේ ආදර කතාවට කොපමණ කාලයක් ගතවෙනවාද?
අපේ ආදරයට දැන් අවුරුදු 7ක් වෙනවා. රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ 'හුස්මක් තරමට' ටෙලිනාට්‍යයේ රඟපාන කාලයේදියි අපි ආදරය කරන්න පටන් ගත්තේ. ඒ වගේම අපේ කිට්ටුවන්ත මිතුරන් දෙදෙනෙකු වන ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා මුලින්ම මුණගැහිලා ආදරය කරන්න පටන් ගත්තෙත් මේ ටෙලිනාට්‍යයේ රඟපාන අතරතුරදියි. හැබැයි අපිට කලින් ගයාන් සහ පූජනී විවාහ වුණා.
ආදර සම්බන්ධතාවයේදී ප්‍රශ්න ඇති වුණේ නැද්ද?
මේ ලෝකේ ප්‍රශ්න නැති ආදර සම්බන්ධතාවයක් නැහැ කියලයි මම හිතන්නේ. ඒ නිසා අපේ ආදර සම්බන්ධතාවයටත් විවිධ ප්‍රශ්න ආපු අවස්ථා තිබුණා. සමහර වෙලාවට අපි දෙන්නා අතර මතභේද ඇතිවෙලා රණ්ඩු වුණු වෙලාවලුත් තිබුණා. හැබැයි ඒ හැමදෙයක්ම අවසානයේ ඉතිරි වුණේ අපේ ආදරය විතරයි.
දෙදෙනාගේ ආදරයට පවුල්වලින් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?
කස්තුරිගේ වගේම මගේ පවුලේ අයත් සාමාන්‍ය පවුල් පසුබිමකින් ආපු අයයි. තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙන්න හදන තරුණයෙක් විදිහට මාව බෑණා කරගන්න කස්තුරිගේ පවුලේ අය කැමති වුණා. මගේ පවුලේ සහෝදරියන් නැහැ. ඒ නිසා අපේ අම්මා කස්තුරිව භාරගත්තේ ලේලියක් විදිහට නෙවෙයි, තමන්ගේම දුවක් විදිහටයි. අපි දෙන්නා ආදරය කරන්න පටන් ගත්තට පස්සේ අම්මට ඇයව ළඟින්ම ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. අම්මාගේ පුතා මම වුණත්, අද වෙද්දී අපේ අම්මා මටත් වඩා ගොඩක් ආදරය කරන්නේ කස්තුරිටයි.
කස්තුරිව විවාහ කරගන්නා යෝජනාව සංගීත් ඉදිරිපත් කළ ආකාරය ගැන සමාජ මාධ්‍යවල තවමත් කතාබහට ලක්වෙනවා නේද?
අපි දෙන්නා විවාහ වීමේ බලාපොරොත්තුවෙන් ආදරය කළත්, කවදාද විවාහ වෙන්නේ කියලා මම හරියටම ඇයට කියලා තිබුණේ නැහැ. ඒ නිසා කස්තුරිව පුදුම කරන්න හිතාගෙන පසුගිය ඔක්තෝබර් 02 වැනිදා ඇයට මල් කළඹක් දීලා මුද්දක් පැලඳුවා. ඒ වගේම එදින මම ඇයට විවාහ යෝජනාව ඉදිරිපත් කළා. ඒක කස්තුරිගේ වගේම මගේ ජීවිතයේත් කවදාවත් අමතක නොවන සුන්දර මතකයක්.
විවාහ ගිවිසගැනීම සැලසුම් කළේ කොහොමද?
අපි මේ සිදු කළේ අපේ විවාහ ගිවිසගැනීම පමණයි. ඉදිරියේදී ප්‍රසිද්ධ විවාහ උත්සවයක් ගන්න අපි සූදානම් වෙනවා. කිසිවෙකුට ණය නොවී, අපිට තියෙන විදිහට සුදු පැහැය තේමා කරගෙන ඉතා සරල උත්සවයක් ලෙස අපේ විවාහ ගිවිසගැනීම සිදු කළා. ඒ වෙනුවෙන් අපිට උදව් කළ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.
සැමියා සහ බිරිඳ විදිහට අනාගතය ගැන තියෙන අදහස මොකක්ද?
අපි දෙන්නා දැන් පවුලක්. අපේ වෘත්තිය වෙන්නේ රංගනය සහ ව්‍යාපාරික කටයුතුයි. රංගන ක්ෂේත්රයෙන් ඉදිරියටම ගිහින්, අපේ ව්‍යාපාර කටයුතුත් සාර්ථක කරගෙන සතුටින් ජීවත් වීම තමයි අපේ එකම බලාපොරොත්තුව.
සාකච්ඡා කළේ: ලක්ෂාන් ජයසූරිය.
ENGLISH SUMMARY:
Sri Lankan actors Sangeeth Prabhu and Kasturi Jayawardena recently celebrated their engagement. Their seven-year relationship began when they met through Facebook and later co-starred in the teledrama "Husmak Tharamata," directed by Ravindra Wijerathna. Sangeeth initially reached out to Kasturi for a screen test, and their shared thoughts and vegetarian lifestyle quickly sparked their romance. During the teledrama's production, their close friends Gayan Gunawardena and Poojani Bhagya also met and fell in love. Keeping his plans a secret, Sangeeth surprised Kasturi with a romantic marriage proposal on October 2, presenting her with a beautiful bouquet and a ring. The couple hosted a simple, white-themed engagement ceremony to celebrate the milestone and are planning a larger public wedding in the future. Now officially a family, Sangeeth and Kasturi look forward to continuing their acting careers and successfully managing their business ventures together.