ප්රශ්නය: තවමත් වයස අවුරුදු 21 ක් වුණාට, දසුනි දැන් පුංචිතිරයට නැතුවම බැරි නිළියක් වෙලා නේද?
පිළිතුර: මම රංගන ක්ෂේත්රයට පිවිසිලා තවම ගතවෙලා තියෙන්නේ සුළු කාලයක්. නමුත් ඒ කෙටි කාලය තුළ නිළියක් විදිහට මට බොහෝ දුරක් පැමිණීමට හැකිවුණා කියලා මම විශ්වාස කරනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් සමඟින් යන මේ ගමන ඇත්තටම හරිම සුන්දරයි. මේ වෙද්දි මම ඒ සුන්දරත්වය උපරිමයෙන්ම අත්විඳිමින් ඉන්නවා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.
ප්රශ්නය: මේ දිනවල ඔබ දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
පිළිතුර: මේ දිනවල අහස රූපවාහිනියේ විකාශය වන සාරංග මෙන්ඩිස් සහ ලහිරු මායාදුන්න විසින් අධ්‍යක්ෂණය කරන ‘මේ මොහොත මත නවතින්න’ ටෙලිනාට්‍යයෙන් මෙන්ම, සියත නාලිකාවේ විකාශය වන සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක් වන ‘එයත් ලස්සනයි’ ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින්ට මාව දැකගන්න පුළුවන්. ඊට අමතරව මාංචන තාරක පීරිස් අධ්‍යක්ෂණය කළ ‘අග්නිජය’ සිනමාපටයත් පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ඉඳන් දිවයින පුරා තිරගත වීම ආරම්භ කළා.
ප්රශ්නය: ඒ අතරින් මේ දිනවල සාර්ථකව තිරගත වන ‘අග්නිජය’ චිත්‍රපටිය ගැන කිව්වොත්?
පිළිතුර: පසුගිය කාලය පුරාවටම නිළියක් විදිහට මාව ප්‍රේක්ෂකයින්ට නිතරම දැකගන්න ලැබුණේ ටෙලිනාට්‍ය හරහායි. සෑහෙන කාලයකින් මාව සිනමාපටයකින් දකින්න ලැබුණේ නැහැ. අන්න ඒ වගේ පසුබිමක තමයි ‘අග්නිජය’ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ වුණේ. ඒ සිනමාපටය තුළ මම නිරූපණය කරන්නේ ‘රියා’ කියන චරිතයයි. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද කියලා දැනගන්න මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ප්රශ්නය: දසුනිට රංගනයෙන් දායක වෙන්න ලැබුණු ඉතාම සුවිශේෂී චිත්‍රපටියක් ඉදිරියේදි තිරගත වෙන්න නියමිතයි. ඒ ප්‍රවීණ චිත්‍රපටි අධ්යක්ෂ, මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘කැලෑ හඳ’ චිත්‍රපටිය. අපි ඒ ගැනත් කතා කරමු?
පිළිතුර: ඔව්, මේ වෙද්දි ඒ සිනමාපටයේ රූගත කිරීම් කටයුතු සියල්ලම සම්පූර්ණයෙන්ම අවසන් වෙලා තියෙන්නේ. බොහෝදුරට ලබන වසරේදී ප්‍රේක්ෂකයින්ට ඒක දැකබලා ගන්න පුළුවන් වෙයි. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මාලිනී හෙවත් විෂ්ණුභායිගේ චරිතයට පණ පොවන්නේ මමයි. මාත් එක්ක රවීන් කනිෂ්ක, නෙතූ ගම්ලත්, දුලීකා මාරපන, සේමිණී ඉද්දමල්ගොඩ, කුමාර තිරිමාදුර වගේ ප්‍රවීණ සහ ජනප්‍රිය නළු නිළියන් රැසක්ම මීට රංගනයෙන් දායක වෙනවා.
ප්රශ්නය: 1953 දි තිරගත වුණු ‘කැලෑ හඳ’ චිත්‍රපටියේ මාලිනීගේ චරිතය කළේ සිංහල සිනමාවේ පළමු නිළිය වන රුක්මණී දේවි මහත්මිය. ඇය සිංහල සිනමාවේ සිටි අග්‍රගණ්‍ය නිළියක්. එවන් නිළියක් රඟපෑ ‘කැලෑ හඳේ’ මාලිනී චරිතය මෙවර දසුනිට ලැබීම ගැන මොකද හිතෙන්නේ?
පිළිතුර: ඇත්තටම මුලින්ම මට ලොකු සතුටක් දැනුණා. ඒ වගේම එය මට ලොකු අභියෝගයක් කියලත් හිතුණා. හැබැයි පළමු ‘කැලෑ හඳ’ සිනමාපටය මට නරඹන්න අවස්ථාව තිබුණා නම් ඒ අභියෝගය තරමක් දුරට හරි අඩු වෙන්න ඉඩ තිබුණා. සුනිල් ආරියරත්න සර් සඳහන් කරපු විදිහට, තත්පර කිහිපයක පුංචි වීඩියෝ කොටසක් හැරෙන්න සම්පූර්ණ සිනමාපටයම නරඹන්න අද වෙද්දි කිසිම ක්‍රමයක් නැහැ. ඒත් මාලිනීගේ චරිතය සාර්ථකව ගොඩනඟා ගන්න සුනිල් ආරියරත්න සර් ඇතුළු මුළු කණ්ඩායමෙන්ම මට විශාල සහයෝගයක් ලැබුණා.
ප්රශ්නය: ඉදිරියේදි ‘කැලෑ හඳ’ තිරගත වෙනකොට සිනමා විචාරකයින් වගේම ප්‍රේක්ෂකයින්, ඔබ රුක්මණී දේවි සමඟ අනිවාර්යයෙන් සංසන්දනයට ලක්කරනවා. එතැනදි ඔබට ධනාත්මක මෙන්ම සෘණාත්මක ප්‍රතිචාරත් ලැබෙන්න පුළුවන්. ඒකට ඔබ මේ වෙනකොට සූදානම්ද?
පිළිතුර: ඔව්, ඒ ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් සතුටින් බාරගන්න මම මේ වෙද්දිත් සූදානම් වෙලයි ඉන්නේ. ඒ කොහොම වුණත් අදාළ චරිතයට මගේ උපරිමයෙන්ම සාධාරණයක් ඉටු කළා කියලා මම විශ්වාස කරනවා.
ප්රශ්නය: දසුනි කියන්නේ කවදාවත් නිළියක් වෙන්න හීන නොදැකපු කෙනෙක් කියන්නේ ඇත්තද?
පිළිතුර: ඔව් ඒක ඇත්ත. මම කවදාවත්ම නිළියක් වෙන්න හීන දැක්කේ නැහැ. මම නිළියක් වෙනවා දකින්න ආස වුණෙත්, ඒ හීනය දැක්කෙත් මගේ තාත්තා. ඉතින් එදා මගේ තාත්තා දැකපු ඒ හීනය තමයි අද වෙද්දි මම මේ විදිහට සැබෑ කරගෙන තියෙන්නේ.
ප්රශ්නය: හැබැයි මේ වෙනකොට ඔබේ තාත්තා ඔබේ ළඟ නෑ. එහෙම නේද?
පිළිතුර: ඔව්, ඇත්තටම මට තාත්තාව වැඩියෙන්ම ඕන කරන කාලේ එයා මගේ ළඟ නැහැ. මීට අවුරුදු කිහිපයකට කලින් එයා අපිව දාලා යන්න ගියා. ඒත් එයා කොතැනක හරි ඉඳන් මගේ දිහා බලාගෙන, අද මම ඇවිත් ඉන්න මේ තැන දැකලා සතුටු වෙනවා ඇති කියලත්, මට ආශිර්වාද කරනවා ඇති කියලත් මම තදින්ම විශ්වාස කරනවා.
ප්රශ්නය: රංගනයට වගේම ඔබ නර්තනයටත් දක්ෂ තරුණියක්. ඔබ තුළ ඉන්න ඒ නර්තන ශිල්පිනිය ගැන කිව්වොත්?
පිළිතුර: මම පුංචි කාලේ ඉඳන්ම නර්තනයට ගොඩක් කැමතියි. ඒ නිසාම තමයි එදා ඉඳන් නර්තනය හැදෑරුවේ. මට වයස අවුරුදු හතරෙදි මම 'දෙරණ ලිට්ල් ස්ටාර්' රියැලිටි තරගයට සහභාගි වුණා. එතැනදි වයස අවුරුදු අටෙන් පහළ අංශයෙන් අවසන් තරගකරුවන් පස්දෙනා අතරට එන්න මට හැකිවුණා. ඊටපස්සේ 2012 වසරේදී 'හිරු සුපර් ඩාන්සර්' තරගයටත් සහභාගි වෙලා එහි අවසන් දසදෙනා අතරට තේරී පත්වුණා. හැබැයි නර්තන අංශයෙන් මම ලබාගත්ත ලොකුම ජයග්‍රහණය විදිහට මම දකින්නේ 'හිරු මෙගා ස්ටාර් - සීසන් 4' නර්තන රියැලිටි තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමයි.
ප්රශ්නය: සාමාන්‍යයෙන් විවේකයක් ලැබුණම දසුනි විවේකය ගතකරන්න කැමති කොයි විදියටද?
පිළිතුර: රංගන ශිල්පිනියක් විදිහට මම බොහොම කාර්යබහුල කෙනෙක්. ඒ නිසා පොඩි හරි විවේකයක් ලැබුණු ගමන් කරන්නේ පවුලේ අයත් එක්ක කාලය ගතකරන එකයි. ඒ වගේම ගෙදර ඉන්න වෙලාවට චිත්‍රපටි බලන්නත් මම ගොඩක් වෙලාව වෙන් කරනවා. මොකද මම සිනමාවට ඇත්තටම ගොඩක් කැමතියි.
ප්රශ්නය: ජීවිතේ වැඩිපුරම සතුටු වුණු දවසක් වගේම සංවේදී වුණු දවසකුත් ඇති?
පිළිතුර: මෑත කාලයේදී මම ගොඩක්ම සතුටු වුණේ මගේ 21 වැනි උපන්දිනය දවසේ. මොකද අවුරුදු 21 කියන්නේ ගෑනු ළමයෙක්ගේ ජීවිතේ සුවිශේෂීම උපන්දිනයක්. ඒ නිසා මම ඒක ටිකක් ලොකුවටම සැමරුවා. ජීවිතේ ගොඩක්ම සංවේදී වුණු දවස විදිහට දකින්නේ මගේ තාත්තා නැතිවුණු දවස. ඒ වේදනාව අදටත් මගේ හිතේ එහෙම්මම තියෙනවා.
ප්රශ්නය: ඔබෙන් ආදරය ගැන ඇහුවේ නැත්නම් ඒක මේ කතාබහට ලොකු අඩුවක්?
පිළිතුර: මම විශ්වාස කරන විදිහට ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. හැබැයි ඒ සුන්දරත්වය විඳින්න නම් ආදරය කියන හැඟීමේ නියම වටිනාකම දන්න කෙනෙක් අපිට මුණගැහෙන්නම ඕන. එතකොට තමයි ආදරය ඒ කියන තරම්ම සුන්දර වෙන්නේ.
ප්රශ්නය: එහෙම ආදරයක් දසුනිට දැන් මුණගැහිලා තියෙනවද?
පිළිතුර: ඔව්, මේ වෙද්දි මට එහෙම ආදරයක් මුණගැහිලා තියෙනවා.
ENGLISH SUMMARY:
Popular Sri Lankan actress Dasuni Senethma is set to play the iconic role of Malini (also known as Vishnu Bhai) in the highly anticipated upcoming film adaptation of W.A. Silva's classic 1933 novel "Kele Handa". Directed by Prof. Sunil Ariyaratne, this new film is a remake of the renowned 1953 cinematic production that originally starred the legendary Rukmani Devi and Stanley Perera. Starring alongside a talented cast including Raveen Kanishka, Nethu Gamlath, Duleeka Marapana, Semini Iddamalgoda, and Kumara Thirimadura, Dasuni considers this a major milestone in her acting career. The 21-year-old actress, who recently celebrated her milestone birthday, is currently appearing in television dramas "Me Mohotha Matha Nawathinna" on Ahasa TV (directed by Saranga Mendis and Lahiru Mayadunna) and "Eyath Lassanai" on Siyatha TV (directed by Saranga Mendis). Her latest film "Agnijaya", directed by Manjana Tharaka Peiris, is also currently screening in theaters. A talented dancer who won the "Hiru Mega Star - Season 04" reality competition, Dasuni expressed that she pursued acting to fulfill her late father's dream and is fully prepared to embrace the inevitable comparisons to Rukmani Devi in her upcoming legendary role.