මේ දිනවල ජීවිතය ගෙවෙන්නේ කොහොමද?
මේ දිනවල ජීවිතය ඉතා හොඳින් ගෙවී යනවා. රංගන කටයුතු සහ අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යන නිසා තරමක් කාර්යබහුලයි. නමුත් ඒ සියල්ල හොඳින් කළමනාකරණය කරගනිමින්, ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය සතුටින් භුක්ති විඳිමින් දවස් ගෙවනවා.
ඔබ කලා ක්ෂේත්රයට පිවිසීමට මුලින්ම අවස්ථාව උදාකර ගත්තේ කෙසේද?
මම මේ ක්ෂේත්රයට පිවිසුණේ හරිම අහම්බයකින්. ගෙදර අයත් එක්ක නුගේගොඩ ඉන්න අයියාව බලන්න ගිහින් නැවත බදුල්ලට එන අතරමඟදී චිත්‍රපට සංස්ථාව ඉදිරිපිට තිබුණු පරීක්ෂණයකට (audition) හදිසියේම සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණා. එතැන හිටපු අය විවිධ නර්තන ඉදිරිපත් කරනවා දැක්කම, පාසල් කාලයේදී නර්තනය හදාරලා තරගවලින් ජයග්‍රහණය කර තිබුණු නිසා මටත් ඒ සඳහා ඉදිරිපත් වෙන්න උනන්දුවක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස සති දෙකකින් පමණ චිත්‍රපටයක චරිතයක් සඳහා මාව තෝරාගත් බවට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ හරහා තමයි මම මුලින්ම කලා ක්ෂේත්රයට සම්බන්ධ වුණේ.
පළමු වරට රංගන පරීක්ෂණයකට මුහුණ දෙද්දී ඔබට දැනුණු අත්දැකීම කොයි වගේද?
එදා මට ඒ ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. තාත්තාට රැකියාවට යන්න හදිසියක් තිබුණු නිසා අපට එතැන වැඩි වේලාවක් රැඳී ඉන්න ලැබුණෙත් නැහැ. හැබැයි එතැන හිටපු පිරිස තමන්ගේ රංගනයන් ඉදිරිපත් කරන ආකාරය දැක්කම මටත් ඒකට සහභාගි වෙන්න ආසාවක් ඇතිවුණා. කිසිම පූර්ව සූදානමකින් තොරව අහම්බෙන් මුහුණ දුන් ඒ පළමු පරීක්ෂණයෙන්ම චිත්‍රපටයකට තේරීම ගැන මට හිතුණේ ඒක හරිම පුදුමසහගත සහ වාසනාවන්ත අවස්ථාවක් කියලයි.
ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු සහ පෞද්ගලික ජීවිතය සමබර කරගන්නේ කෙසේද?
රංගනය වගේම අධ්‍යාපනයත් මගේ ජීවිතයට ඉතාම වැදගත්. මම මේ වන විට හොරයිසන් විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරමින් සිටිනවා. මම පාසල් ගියේ බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයට සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයටයි. ඒ පාසල් දෙකේම ගුරුවරුන් මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඊට අමතරව මගේ අම්මා, තාත්තා සහ අයියා ඇතුළු පවුලේ සියලුම දෙනාගෙන් මගේ කලා ගමනට සහ අධ්‍යාපන කටයුතුවලට විශාල සහයෝගයක් ලැබෙනවා.
කලා ක්ෂේත්රය තුළින් ඔබට ලැබෙන සහයෝගය සහ මඟපෙන්වීම කොහොමද?
‘හුස්මක් ළඟින්’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක සහ එහි පිටපත් රචක නිදුක් මධුෂික ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන් වගේම ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මට ඉහළ සහයෝගයක් හා මඟපෙන්වීමක් ලැබෙනවා. ඔවුන්ගෙන් මම දිනපතාම රංගනය පිළිබඳව අලුත් දේවල් රැසක් ඉගෙන ගන්නවා.
ටෙලිනාට්‍යයේ 'දැහැමි'ගේ චරිතය සහ ඔබේ සැබෑ ජීවිතය අතර සමානකම් තිබෙනවාද?
ඔව්, 'දැහැමි' කියන්නේ මගේ සැබෑ ස්වභාවයට අතිශයින්ම සමීප චරිතයක්. ඇගේ හැසිරීම් රටාව සහ ගතිගුණ සැබෑ ජීවිතයේ මගේ ස්වභාවයට බොහෝ දුරට සමානයි. ඒ නිසාම එම චරිතයට ජීවය ලබා දෙන්න මට ලොකු පහසුවක් වුණා වගේම ප්රේක්ෂකයින්ටත් එය ඉතා සමීපව දැනිලා තිබෙනවා.
ප්‍රේක්ෂකයින්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව කතා කළොත්?
ප්‍රේක්ෂකයින්ගෙන් මට හිතාගන්නවත් බැරි තරම් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මඟතොටදී වගේම සමාජ මාධ්‍ය හරහාත් බොහොමයක් දෙනා කතාබහ කරනවා. දැහැමිගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම ඇයට විශාල ආදරයක්ද හිමිවෙලා තියෙනවා. කුඩා දරුවන් පවා මගේ ළඟට ඇවිත් කතා කරලා තෑගි දීලා තියෙනවා. ඒ ආදරය මගේ ඉදිරි ගමනට විශාල ශක්තියක්.
ඉදිරියේදී ප්‍රේක්ෂකයින්ට ඔබව දැකගන්න ලැබෙන අලුත් නිර්මාණ මොනවාද?
ඉදිරියේදී තවත් සාර්ථක නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයින් අතරට එන්න අදහසක් තිබෙනවා. මට මෙතරම් ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයකින් අපූරු අත්දැකීමක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
ඔබ පාසල් යන කාලයේ සිටම නිළියක් වීමට සිහින දැක්කාද?
ඇත්තටම මට එහෙම බලාපොරොත්තුවක් තිබුණේම නැහැ. මගේ හීනය වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වීමයි. නමුත් පසුව ඒ හීනය වෙනස් වුණා. ඊට හේතුවක් තිබුණා. පාසල් යන කාලයේදී මම ඉන්දියානු රූපවාහිනී කතාමාලාවක් නැරඹුවා. එය බලද්දි මට රංගනයට පිවිසෙන්න ලොකු ආසාවක් ඇතිවුණා. ඒත් මගේ ගෙවල් තිබුණේ බදුල්ලේ නිසා රඟපාන්න අවස්ථාවක් හොයාගන්න මට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මම නොහිතූ වෙලාවක මට රංගනයට පිවිසෙන්න වරමක් ලැබුණා.
ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට ලබාදීමට තිබෙන පණිවිඩය කුමක්ද?
'දැහැමි'ගේ චරිතයට ලබාදෙන ප්‍රේක්ෂක ආදරයට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ප්‍රේක්ෂකයින් මේ තරම් දුරට දැහැමිව ආදරයෙන් වැලඳගනීවි කියලා මම හිතුවේවත් නැහැ. ඒ ආදරය මගේ ජීවිතයට විශාල ශක්තියක් මෙන්ම ආඩම්බරයක්. ඒ අසීමිත ආදරයට මම හැමදාමත් ආදරෙයි.
නවක රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයට පිවිසීමට බලාපොරොත්තු වන අයට ඔබ ලබාදෙන උපදේශය කුමක්ද?
පළමුවෙන්ම තමන්ගේ හීන වෙනුවෙන් කැපවීමෙන් මහන්සි වෙන්න කියලයි මම කියන්නේ. නිරන්තරයෙන් අලුත් අත්දැකීම් ලබාගන්න උත්සාහ කළ යුතුයි. කොතරම් අභියෝග ආවත් තමන්ගේ ගමන අතහරින්නේ නැතුව තමන් ගැන විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න. අවංකව උත්සාහ කළහොත් කවර දිනක හෝ ජීවිතය ජය ගන්නට පුළුවන්.
ENGLISH SUMMARY:
Sri Lankan actress Amasha Malalagama, widely known for her popular role as "Dahami" in the Derana TV teledrama "Husmak Langin," recently shared insights into her unexpected entry into the entertainment industry. Originally dreaming of becoming an air hostess, her passion for acting blossomed after watching Indian television serials during her school days. Hailing from Badulla, Amasha received her education at Viharamahadevi Balika Vidyalaya and Badulla Central College, and she is currently pursuing a degree at Horizon Campus.
Amasha's acting journey began completely by chance when she serendipitously participated in a film audition near the National Film Corporation while returning home from Nugegoda. Expressing gratitude to director Sriyantha Prasad Rathnayake, scriptwriter Niduk Madhushika, and her family, she credited them for their continuous support in balancing her studies and acting career. Overwhelmed by the public affection for her character, Amasha hopes to entertain her audience with entirely different roles in the future.