‘බෝවිටියා මල්‘ ගීතයෙන් ජනප්‍රිය වුණු 'පට්ටි ගෙදර' පොඩි අරවින්ද

gossiplanka image 1
 මේ දිනවල දිවයින පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ‘බෝවිටියා මල්‘ ගීතයේ රූප රචනාව හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් කුඩා දරුවා ඔබට මතක ඇති. කලා හැකියාවන් රැසකින් සපිරි මේ පුංචි තරුව නමින් කුමිත සස්රු ය. ඔහු සමඟ කළ කතාබහක් පහතින් දැක්වේ.


කුමිත දැන් ‘බෝවිටියා මල්‘ හරහා හැමෝම ආදරය කරන චරිතයක් බවට පත්වෙලා නේද?


ඔව්. ‘බෝවිටියා මල්‘ ගීතයේ මගේ රංගනයට ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු ආදරයක් ලැබෙනවා. මම එළියට ගියාමත් ගොඩක් අය මාව අඳුර ගන්නවා. සමහරු මට ‘බෝවිටියා මල්ලි‘ කියලත් තවත් අය ‘බෝවිටියා මල‘ කියලත් කතා කරනවා. එහෙම කියද්දි මට හරිම සතුටුයි. ඒ වගේම මගේ ප්‍රේක්ෂකයන්ට අලුත් ආරංචියකුත් දෙන්න තියෙනවා. ඉදිරියේදී ‘බෝවිටියා මල්‘ ගීතයේ දෙවැනි කොටසත් බලාගන්න පුළුවන්.


බෝවිටියා මල් දෙවැනි කොටස කියන්නේ ටෙලි නාට්‍යයක් ද?


නැහැ. ‘බෝවිටියා මල්‘ ගීතය ඇසුරින් අලුත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වෙනවා. ඉදිරියේදී ඒ වැඩකටයුතු ආරම්භ වේවි.


ඒක ප්‍රේක්ෂකයන්ට සුබ ආරංචියක්. කුමිත මේ ගීතයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


රෙබෙකා දිල්රුක්ෂි අක්කා නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. රවි ජේ අයියා කාලෙක ඉඳලා මේ ගීතයේ රූප රචනාවට ගැළපෙන මල්ලිගෙ චරිතය කරන්න ළමයෙක් හොයමින් ඉඳලා තියෙනවා. රෙබෙකා අක්කා මම ගැන රවි අයියට කිව්වට පස්සේ, ඔහු මාත් එක්ක කතා කරලා මාව ඒකට තෝරා ගත්තා. රිවස්ටන් අවට තමයි මේ ගීතය රූගත කළේ. ඒ දවස් ටික නම් හරිම සුන්දර අත්දැකීම් ගොඩක් එක්ක ගෙවිලා ගියා.


මේ දවස්වල ඔයා මොකද කරන්නේ?


මේ දවස්වල මගේ අධ්‍යාපන සහ ක්‍රීඩා කටයුතුවලට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. ඊට අමතරව මම සම්බන්ධ වුණු තවත් කලා නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.


ඔයා ක්‍රීඩාවලටත් දක්ෂයි කිව්වා නේද? මොනවද ඔයා කරන ක්‍රීඩා?


මම කරාතේ, පිහිනුම්, වෝටර් පෝලෝ සහ ජීවිතාරක්ෂක (Life Saving) ක්‍රීඩාවල නිරත වෙනවා. කරාතේ ක්‍රීඩාවෙන් මට අවුරුදු හතරක්ම සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ ලබාගන්න හැකි වුණා. පිහිනුම් අංශයෙනුත් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.


ඔයා කලාවට සම්බන්ධ වුණේ කොහොමද?


මම රංවල බළකායේ සාමාජිකයෙක්. මම පළවැනි ශ්‍රේණියේ ඉන්නකොට තමයි රංවල බළකායට ඇතුළත් වුණේ. මගේ කලා ගමන ආරම්භ වෙන්නේ එතැනින්. මට රංගනය, නර්තනය, ගායනය වගේම වාදනයත් පුළුවන්. මේ හැමදේකටම මට මුල්ම අඩිතාලම වැටුණේ රංවල බළකායෙන්. ඒ වෙනුවෙන් සහන් රංවල සර්ට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පාසල් තරගවලදි ජන ගායනා අංශයෙන් පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් මට ජයග්‍රහණ ලැබිලා තියෙනවා.


ඔයා රංගනයෙන් දායක වුණු අනෙකුත් නිර්මාණ මොනවද?


මම මුලින්ම සම්බන්ධ වුණේ නලීන් ලුසේනා මාමා රචනා කළ ‘මදනි‘ ටෙලි නාට්‍යයට. ඒකෙ ප්‍රධාන ළමා චරිතය කරන්නේ මමයි. ඒ නාට්‍යය ළඟදීම විකාශය වීමට නියමිතයි. ඊට අමතරව අනුෂ්ක රසාංජන අයියගේ ‘අන්තෝ ජටා‘ කියන චිත්‍රපටයටත් මම සම්බන්ධ වුණා. එයත් ඉදිරියේදී තිරගත වේවි. පසුගිය කාලයේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘පට්ටි ගෙදර‘ ටෙලි නාට්‍යයේ ‘පොඩි අරවින්ද‘ විදියට හිටියෙත් මමයි. ‘අලුත් සර්, හුස්මක් ළඟින්‘ කියන ටෙලි නාට්‍යවලටත් මම දායක වුණා.


ඒ වගේම මාතලේ සහ හෝමගම දියගම අවට රූගත කළ ‘Missing Thread‘ කියන චිත්‍රපටයත් අ‍ෙමරිකාවේ තිරගත වීමට නියමිතයි. දියගම රූගත කිරීම් කරද්දි නම් සර්පයෝ ගොඩක් හිටපු නිසා ටිකක් බයෙන් තමයි හිටියේ. ලංකාවේ ශිල්පීන්ට අමතරව විදේශීය ශිල්පීන් කිහිපදෙනෙකුත් මේ නිර්මාණයට එක් වුණා. රංගනයට අමතරව මම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී ඉඳලා තියෙනවා.


කුමිතව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගිය චරිතය මොකක්ද?


මුලින්ම ප්‍රේක්ෂකයන්ට මාව මතක හිටියේ ‘පට්ටි ගෙදර‘ නාට්‍යයේ පොඩි අරවින්දගේ චරිතයෙන්. දැන් නම් ‘බෝවිටියා මල්’ ගීතයේ මල්ලිගෙ චරිතය හරහා මම ජනතාව අතර ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා.


කලා කටයුතුත් එක්ක පාසලේ අධ්‍යාපන වැඩ කටයුතු සමබරව කරගන්නේ කොහොමද?


මම ඉගෙන ගන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ. කලා කටයුතුවලට සම්බන්ධ වෙද්දි අධ්‍යාපන කටයුතුවලට යම් බාධාවක් වෙනවා. පාසල් යන්න බැරි වෙන දවස්වල පාඩම් ආවරණය කරගන්න රවිරු ඇතුළු මගේ යාළුවොත්, ගුරු මණ්ඩලයත් මට ගොඩක් උදවු කරනවා. මම වඩාත්ම කැමැති විෂයය වෙන්නේ සෞන්දර්යය.


රඟපාන්න කැමැති කොයි වගේ චරිතවලටද?


එහෙම විශේෂයක් නැහැ. හැඟීම්බරව රංගනය හොඳින් පෙන්වන්න පුළුවන් ඕනෑම චරිතයක් කරන්න මම කැමැතියි. හැබැයි මගේ පෙනුමත් එක්ක ගැමි දරුවෙකුගේ චරිතය මට ගොඩක්ම ගැළපෙනවා කියලා මම හිතනවා.


කුමිතගේ පවුලේ තව කවුද ඉන්නේ?


මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි. ඒ වගේම මට පොඩි බලු පැටියෙකුත් ඉන්නවා. මම රූගත කිරීම්වලට යන්නේ අම්මත් එක්කයි.


කුමිතට දේශීය සහ විදේශීය වාදන භාණ්ඩ රැසක් වාදනය කරන්න පුළුවන් නේද?


ඔව්. මට පහතරට බෙරය, ගැටබෙරය, තම්මැට්ටම, උඩැක්කිය, රබාන, ජෙම්බෙ, ඉන්දියන් ඩෝල්, ඩ්‍රම් සෙට්, බොංගො සහ කොංගො වගේ වාදන භාණ්ඩ වාදනය කරන්න පුළුවන්.


විවේකී වෙලාවට මොනවද කරන්න කැමැති?


ඉඩ ලැබෙන හැම වෙලාවකම ලස්සන තැන් බලන්න යන එකයි, ඒ තැන්වල ලස්සන පින්තූර ගන්න එකයි තමයි මගේ විනෝදාංශය. ඊට අමතරව රංවල බළකායේ රූපවාහිනී වැඩසටහන්වලටත් මම සම්බන්ධ වෙනවා.


කුමිතගේ අනාගත බලාපොරොත්තු මොනවද?


මම දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ තාල වාද්‍ය භාණ්ඩ වාදන ශිල්පියෙක් වෙන්න කැමැතියි. මේ අවස්ථාවේදී මගේ අම්මා, තාත්තා, සහන් රංවල ගුරුතුමා ඇතුළු රංවල බළකායේ ඉන්න සියලුම ගුරුවරුන්වත්, රවී ජේ අයියා, අනුෂ්ක රසාංජන ද සිල්වා අයියා, මෙලාන් සුගතදාස මාමා, අසංක මාමා, දිනුෂා නැන්දා වගේම රෙබෙකා දිල්රුක්ෂි අක්කවත් මම ආදරයෙන් මතක් කරනවා. ඔවුන් නිසයි අද මට ප්‍රේක්ෂකයෝ මෙතරම් ආදරය කරන්නේ. මම හැමෝටම ගොඩක් ආදරෙයි.


ENGLISH SUMMARY:

Kumitha Sasru, the talented Sri Lankan child actor widely recognized for his appearance in the highly popular "Bovitiya Mal" music video by Ravi Jay, is rapidly rising in the entertainment industry. Initially rising to fame as 'Podi Aravinda' in the ITN teledrama "Patti Gedara", Kumitha has proven his versatility as an actor, singer, and multi-instrumental percussionist. Nurtured by Sahan Ranwala and the Ranwala Balakaya, the Grade 8 student from Nalanda College, Colombo, excels not only in arts but also in sports, holding all-island championship titles in Karate alongside notable achievements in swimming and water polo.


Kumitha Sasru's upcoming projects include a new film adaptation based on the "Bovitiya Mal" song. Additionally, he is set to appear as the lead child star in the teledrama "Madani" by Nalin Lucena, and in Anushka Rasanjana De Silva's upcoming movie "Antho Jata". He is also making international strides with his role in the movie "Missing Thread," which was filmed in Matale and Diyagama and is scheduled for an American theatrical release.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post