සරාට ලැබෙන ප්‍රතිචාර හොඳටම හොඳයි -චාන්දනී සෙනෙවිරත්න

gossiplanka image 1
 

සුමිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ගෑනු පිරිමි මල් පලතුරු’ ටෙලි නිර්මාණය වෙනස්ම ශානරයේ නිර්මාණයක් ලෙස මේ වනවිට බොහෝ දෙනාගේ ආදරය දිනා ගැනීමට සමත්වී ඇත. කාන්තාවන් සිව් දෙනකුගේ ජීවන අරගලය වටා ගෙතුණු කතා තේමාවේ සරා ලෙසින් සුවිශේෂී රංගනයක නියැළෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්නය. ඇයගේ රංගන ප්‍රතිභාව ගැන අමුතුවෙන් කිව යුතුද නොවේ. පසුගියදා පැවැති 37 වැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය ලෙසින් සම්මානිත වූ ඇය වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවද එකසේ ජයගත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් ලෙස ජාත්‍යන්තරයේද අගැයීමට ලක්වූ බව අමතක කළ නොහැක. අද අපේ කතාබහට එක්වන්නේ ඇයයි.



ඔබ මේ දිනවල පුංචි තිරයේ සරා. ‘ගෑනු පිරිමි මල් පලතුරු’ කියන්නේ වෙනස් තේමාවකින් ගලා යන ටෙලි නිර්මාණයක්. මොකද හිතෙන්නේ?


අද බොහෝවිට දකින්න ලැබෙන්නේ හරිම ඒකාකාරී කතා තේමාවන්. බොහොම කලාතුරකින් තමයි වෙනස් තේමාවක් දකින්න ලැබෙන්නේ. නමුත් සුමිත් රත්නායක හැම වෙලාවෙම උත්සාහ කරන්නේ වෙනස්ම දෙයක් කරන්න. එහි කතාවේ වෙනසට ගැළපෙනම රංගන ශිල්පීන් තෝරාගැනීම ගැනත් ඔහු අවධානය යොමු කරනවා. ඒ වෙනස් අත්දැකීමට මං හරි කැමතියි.


කතා තේමාව ප්‍රධාන වශයෙන් ගලාගෙන යන්නේ කාන්තාවන් සිව් දෙනකු වටා. ඔබට කොහොමද ඒ අත්දැකීම දැනුණේ?


මේක ඇතුළෙ තියෙන කතාවත් එක්ක ගත්තහම පීඩාවට පත්වුණු ජීවිතවල සාමාන්‍යයෙන් පිරිමියා නිතරම උත්සාහ කරන්නේ දීර්ඝ කාලීන පිළිතුරුවලට වඩා කෙටිකාලීන පිළිතුරුවලට යන්න. නමුත් මේ කතාවට සම්බන්ධ වෙලා ඉන්න කාන්තා චරිත ටික ඊට වඩා මේ ජීවිතෙත් එක්ක හැප්පිලා දරුවෝ, පවුල කියන ඒකකය වෙනුවෙන් ලොකු කැපවීමකින් කටයුතු කරන පිරිසක්. ඒක සාමාන්‍යයෙන් ගැහැනු ස්වභාවය වෙනවා වගේම දරුවෝ ගැන හිතද්දී ඇයට වෙනමම ශක්තියක් එනවා. ගැහැනිය කොහොමටවත් ලේසියෙන් අතහරින්නෙ නැහැ. ගන්න තීරණ හරිද වැරදිද කියල බලන්නෙ පස්සේ වුවත් තමන්ගේ පවුල ජීවත් කරවන්න හැරෙන ඕනෙම පැත්තකට කුමක් හෝ පියවරක් ඇය ගන්නවා. ඒවා හරියනවාමයි කියල හිතාගෙන ගන්න තීරණ නොවෙන්නත් පුළුවන්. හරිද වැරදිද කියලා හොයනවට වඩා ඒ ගන්න වෙහෙසේ කොටසක් තමයි මේ චරිත හරහා මේ විදිහට නිරූපණය වෙන්නේ. ඒකම තමයි මේ චරිතවල විශේෂත්වය.


චාන්දනී කියන්නේ කොහොමත් අභියෝගාත්මක චරිත නොබියව භාරගන්න කෙනෙක්. සරා කියන්නෙත් ඒ වගේ අභියෝගයක්ද ?


සරලව ගලාගෙන යන චරිතයක් නම් ඇත්තටම රංගන ශිල්පියකුට කරන්න දේකුත් නැති වෙනවා. ඒකමයි සුමිත් තෝරාගන්න නාට්‍යවල තියෙන විශේෂත්වය. අරුණ ප්‍රේමරත්න ඒක හරිම ලස්සනට ගොනු කරලා ලියලත් තියෙනවා. එහෙම බලද්දි සරා කියන්නෙත් එක්තරා අභියෝගයක්.


සරාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ වෙනසත් හැමදාම වගේ ප්‍රේක්ෂකයාට ආකර්ෂණයක් ගෙනැල්ලා දීල තියෙනවා කියල ප්‍රේක්ෂකයන් කතාකරන විදිහෙන්, ලැබෙන ප්‍රතිචාරවලින් තේරෙනවා. හැමදාමත් වගේ ප්‍රතිචාර හොඳටම හොඳයි. මම රඟපාන හැම චරිතයකටම වගේ හැමදාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සරාටත් මේ දවස්වල ඒ වගේම ප්‍රතිචාර ලැබෙනවා.


මානාවාරී කියන්නෙත් නුදුරේදීම ඔබේ අභියෝගාත්මක රංගනයක් දැකගන්න පුළුවන් ටෙලි නිර්මාණයක්. ඒ අත්දැකීම ගැනත් කතා කරමු?


ඒකත් දුෂ්කර පැත්තක රූගත කළ ටෙලි නිර්මාණයක්. මානාවාරි තුළ තියෙන්නෙත් හේන් කොටමින්, වගාකරමින් අභියෝගාත්මකව ජීවිතයට මුහුණ දෙන ගැහැනියකගේ භූමිකාවක්. ඇය ජීවත්වන සමාජ තලය වෙනස්. ඒ පරිසරය වෙනස්. ඒ පරිසරය තුළ ඇය ලබන අත්දැකීම් වෙනස්. ඒ නිසා තවත් අමුතු දේවල් ටිකක් මැවෙනවා. ඒකෙ වෙනස සමාජ පසුබිමත් එක්කයි වෙනස් වෙන්නේ.


මානාවාරී රූගත කරද්දී අමතක නොවන අත්දැකීම් ලබන්න ඇති?


අපි ඒක රූගත කරන කාලේ ගොඩක් පෑවිල්ලෙ. ඒ නිසා ගොඩක් දුෂ්කර වුණා. රූගත කළේ තන්තිරිමලය සහ විල්පත්තුව ප්‍ර‍දේශයේ. රූගත කරන තැනට එක පැත්තකින් අලි එනවා කියලා අපිව දැනුවත් කරල තිබුණා. ඒ පැත්තට ලයිට්ගහගෙන යුනිට් එක ලොකු අවධානයකින් හිටියා. අපිත් ගොඩක් බයෙන් හිටියේ. කොහොමහරි කිසිම අනතුරක් නැතුව වැඩේ ලස්සනට කළා.


මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය ඔබ. ඒ අත්දැකීම ගැනත් කියන්න යමක් ඇති?


ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙළුම් කුළුණ සිනමාපටයේ රංගනය උදෙසා මට හොඳම සහය නිළියට හිමි සම්මාන ලැබුණා. මීට කලින් මම මේ වගේ හාස්‍යජනක නිර්මාණවලට දායක වෙලා තිබුණෙ නැහැ. මේක ව්‍යංගාර්ථයෙන් හාස්‍ය උපදවන නිර්මාණයක් කිව්වත් හරි. මෙතනදි මට ඒ අවස්ථාව උපරිමයෙන් ලැබුණා. පිටපතේ තිබුණේ පුංචි නූලක් වගේ තියෙන හැඟීම් ටිකක්. ඒක වෙන විදිහ මම හිතාගත්තා. ඕපදූප හොයන ගෑනියක් කිව්වම අපි හැමතැනම වගේ දැකලා තියෙනවා. කමලාගේ චරිතය මම කරපු විදිහේ පුංචි වෙනසක් තියෙනවා කියල මට හිතෙනවා. ඒක වෙන්න ඇති මේ තරම් ආකර්ෂණයට ලක්වුණේ. කුහකකමින් කුණු හිතකින් අනුන්ගේ දේවල් හොයන චරිතනේ අපි නිතර දකින්නේ. මේකෙදි මම ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහකට හැසිරුණා කියලා මම හිතනවා. ඒ චිත්‍රපටය පුරාම ඒ හාස්‍ය මුසුව තිබුණ නිසා ඒකට සරිලන විදිහට කමලාගේ චරිතයත් ගලාගෙන යන්න ඕන කියන එක මම තේරුම් ගත්තා. සමහර වෙලාවට සමාජයේ පැත්තකට වුණු චරිත තියෙනවා. ඔවුන් හරි ආසයි අනෙක් අයගේ කොටසක් වෙන්න. කමලා කියන්නෙත් ඒ වගේ චරිතයක්. කමලට ඕන අනෙක් ෆැමිලි එකේ පාට්නර් කෙනෙක් වෙන්න. පාර්ට් එකක් වෙන්න. “ඇයි මට කිව්වෙ නැත්තේ… කිව්ව නම් මම එනවානේ උදව්වට” කියලා ඇය කියන්නෙ ඒ නිසා. ඒ කතාව ඇතුළෙ අදාළ කෙනාට දැනගන්න ඕන කාරණයත් ගැබ්වෙලා තියෙනවා. “මාව පැත්තකට දාල කොහොමද එහෙම කරන්නේ… මෙහෙම කරදරයක් වුණහම මම ඉන්නම ඕන.” වගේ අදහසකින් තමයි කමලා ඒක කියන්නේ. ඒකට ඉඩක් ලැබුණෙ නැති තැනදි තමයි ඇය වෙනස් වෙන්නේ.


ඔබ සිනමාවේ අත්දැකීම් බහුල රංගන ශිල්පිනියක්. ඉලංගෝ රාම් වගේ නවක අධ්‍යක්ෂවරයෙක් යටතේ ඔය වගේ තිරපිටපතකට ආරාධනා ලැබෙද්දී මොකද හිතුණේ?


මම මෙතෙක් කරපු නැති ශානරයේ වැඩක් නිසා පොඩි චකිතයක් නොතිබුණාම නෙවෙයි. නමුත් පිටපත සහ එයට සම්බන්ධ වෙන දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් දැක්කම හොඳ අවසානයක් තියේවි කියන හැඟීම මට ඇතිවුණා. මේ සිනමා නිර්මාණය මේ තරම් ජනප්‍රිය වෙන්න තිරපිටපත වගේම අධ්‍යක්ෂවරයා, කැමරා අධ්‍යක්ෂවරයා සහ යොදාගෙන තිබුණු රංගන ශිල්පීන් බලපෑවා කියන එක විශේෂයෙන්ම කිව යුතුයි. මේක අපි රූගත කළේ රටේ ගොඩක්ම ගැටලු තිබුණු කොවිඩ් වසංගතය පැවැති කාලයේ නිසාත් මේක අපට විශේෂයි. සියලු කරදර මැද්දේ වුවත් අපි හොඳ අරමුණක් කරා ගියා කියන සතුට දැනෙනවා.


ඔබත් සිනමාවෙන් ජාත්‍යන්තරයේ අගැයීමට ලක්වුණු රංගන ශිල්පිනියක්. ඒ අභියෝගාත්මක අතීතය නැවත සිහිපත් කරනවා නම්?


ඇත්තම කතාව කියනවා නම් හොඳ පිටපතක් ලැබෙනවා නම් එහෙම දේවල් කරන්න බැරි නැහැ. මට ජාත්‍යන්තරයේ අගැයීමක් ලැබෙන්නේ අරුණ ජයවර්ධනගේ නිකිනි වැස්ස සිනමාපටයේ මිනී එම්බාම් කරන ගැහැනිකගේ භූමිකාව නිරූපණය වෙනුවෙන්. තිරපිටපතත් ඔහුගේමයි. අරුණ කියන්නේ වෙනස් විදිහට හිතන කෙනෙක්. අපේ රටේ එහෙම වෙනස් විදිහට හිතන දක්ෂ රචකයන් ගොඩක් අඩුයි. සීමාසහිත පිරිසක් තමයි දැන් ඔය හැමදේම කරන්නේ.


නිකිනි වැස්සේ සෝමලතා කියන්නේ මිනී එම්බාම් කරන කාන්තාවක්. කොහොමද ඒ අභියෝගය නොබියව භාරගත්තේ?


ඒ අත්දැකීමට මුහුණ දෙන්න කලින් අපි මහරගම මල් ශාලාවකට ගිහින් සජීවීව ඒ අත්දැකීම ලබාගත්තා. ඔවුන් එක්ක කතා කරද්දී ඒක වෙනමම ලෝකයක් කියලා තේරුණා. ජීවිතය සහ මරණය අතර අපිට ලොකු වෙනසක් දැනුණට ඔවුන්ට එහෙම නැහැ. හුස්ම ටික ගියාට පස්සේ ඒ ගැන සංකීර්ණව හිතන්න දෙයක් එයාලට නැහැ. නිකිනි වැස්ස රූගත කළේ අම්පාරේ ඇත්තම මිනී පෙට්ටි සාප්පුවක. මිනිසුන් අතරේ පවතින නොයෙක් මතභේදාත්මක කතා හේතුවෙන් ඔවුන් එම්බාම් කරන ක්‍රියාව සිදුකරන්නෙත් විවෘත කොටසක ඕනෑම කෙනෙකුට බලාගන්නත් පුළුවන් විදිහට. එදා අපි හිටිය වෙලාවේ මෝටර් බයිසිකල් ඇක්සිඩන්ට් එකකින් මරණයට පත්වුණු තරුණයකුගේ මිනියක් එම්බාම් කරනව දැක්කා. ඒකත් මේ ජීවිතේ ලබාගත්ත අමතක නොවනම අත්දැකීමක්.


ඉදිරියේදී ඔබ දකින්න ලැබෙන නිර්මාණ ගැනත් කියමු?


ආනන්ද අබේනායකගේ පළමුවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය ‘ආදරයෙන් හරි අඩක්’, අශෝක හඳගමගේ නවතම චිත්‍රපටයක්, අනුර සිල්වාගේ ‘මෝහිනී’ වගේම පුංචි තිරයේ අරුණ අබේරත්නගේ ‘මානාවාරී’, වසන්ත වන්නිගමගේ ‘සඳ මං කළුවර’ එන්න තියෙනවා.


චාන්දනී කියන්නේ වේදිකාවෙන් බිහිවුණු දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල වේදිකාවත් එක්ක සම්බන්ධතාව කොහොමද?


මම වේදිකාවට පිවිසෙන්නේ සෝමලතා සුබසිංහ ගුරුවරිය සහ ළමා හා යොවුන් රංග පීඨය නිසා. ඇය නොසිටියානම් මම මේ මාධ්‍යයටවත් සම්බන්ධ වේවිද කියලවත් දන්නෙ නැහැ. ඇත්තටම මම ඉගෙන ගත්තේ වෛද්‍යවරියක් වෙන්න. මේක මම යන්න හිතපු ගමනක් නෙවෙයි. ‘කතන්දර දෙකක්’ සහ ‘විකෘති’ නාට්‍ය හරහා වේදිකාවට අවතීර්ණ වුණාට පස්සේ තමයි මේකට තියෙන ඇම්මගැම්ම ආවේ. එදා ඉඳන් අද දක්වා මේ ගමන යනවා. මේ දිනවල නම් මගේ නාට්‍යවල වේදිකාගත වන දර්ශන නැහැ. ඉදිරියේදී පූජිත ද මැල්ගේ Wingfield Familyහි පරිවර්තනය ‘පුංචි පළිඟු රෑන’ ලෙසින් වේදිකාගත වීමට නියමිතයි. ඊට අමතරව සචිත්‍ර රාහුබද්ධගේ ‘ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය’ සහ ‘චක්‍රායුදම්’ කියන කෙටි නාට්‍ය හතර වේදිකාගත වීමට නියමිතයි. කලාතුරකින් ලැබුණු රංගන දායකත්වයක් නිසා මට මේ වේදිකා නිර්මාණ කිහිපයම හරිම විශේෂයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post