ශලනි තාරකා තිර රචනය කරන අසංධිමිත ටෙලි නාට්‍යය හරහා කියන ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවකගේ ආන්දෝලනාත්මක කතාව ගැන බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙලා තියනවා. රංගන ශිල්පිනියක් විදිහට ප්‍රසිද්ධ ශලනි මෙවැනි සමාජ කතිකාමය ටෙලි නාට්‍යයක් කිරීම ගැන ඇයගෙන් ඇසුවා.
ශලනි, අසංධිමිත වැනි සමාජ කේන්ද්‍රීය ටෙලි නාට්‍යයක් තිර රචනය කරන්න හිතුවෙ ඇයි?
ප්‍රේක්ෂකයෝ නිතර නරඹන සාම්ප්‍රදායික ටෙලි නාට්‍යයක් කරනවට වඩා සමාජය ආශ්‍රයෙන් කාලීන සිදුවීමක් වටා යන කතාවක් කරන්න ඕන කියන අදහසිනුයි ගෘහස්ථ හිංසනය තේමා කරගෙන මම අසංධිමිත ටෙලිනාට්‍ය තිර රචනය කෙරුවෙ. අපි ඉන්නෙ 2026 නවීන යුගයේ වුනත් ගෘහස්ථ හිංසනයට කාන්තාවො තවමත් මුහුණ දෙනවා. මම මේ ගැන මාස ගාණක් තිස්සෙ සමීක්ෂණය කරලා විවිධ සත්‍ය සිදුවීම් ඇසුරු කරගෙනයි අසංධිමිත තිර රචනය නිර්මාණය කළේ.
ඔබගේ සමීක්ෂණය අනුව කාන්තාව හිංසනයට ලක්වෙන්නේ කුමන ආකාරයටද?
ගෙදර තුළ කාන්තාව හිංසාවට ලක්වෙන ප්‍රභේද කීපයක්
තියනවා, මානසිකව වැට්ටවීම, ලිංගිකව පිළිනොගැනීම, කායිකව පහරදීම, පවුලෙන් හුදෙකලා කිරීම වැනි හිංසාවන්ට කාන්තාවන්ව ලක්වෙනවා. ගොඩක් දුරට කාන්තාව හිංසාවට ලක්කරන්න පිරිමි පුරුදුවෙලා ඉන්නෙ පවුල තුළ පිරිමියා විතරක් බලවත්විය යුතුයි කියන අදහසින් සහ කාන්තාවට කිසිදු අයිතියක් නැති මෙවලමක් විදිහට දැකීමෙන්. ඒ ඇරුණහම පිරිමියා කුඩා කාලේ හැදුණ වැඩුණ අත්දැකීම්, විවිධ ඇබ්බැහිවීම්, පවුල පැත්තකට දාලා සල්ලි මත්තෙම යාම වැනි දේවල් හරහා පිරිමියා අතින් නිවස තුළ කාන්තාව හිංසාවට ලක්වෙන්න බලපානවා.
විවාහ වුණාට පස්සෙ ආදරේ පැනලා යනවද?
පිරිමියා තුළ ඉන්න හිංසාකාරී පුද්ගලයා විවාහ වුණාට පස්සෙ ඉපදෙන පුද්ගලයෙක් නෙමෙයි. හිංසාකාරි ආකල්ප පිරිමියා තුළ කාලයක් තිස්සෙම තියනවා. හැබැයි ආදරය කරන කාලෙදි පිරිමියා එක්ක කාන්තාව එකට ජීවත්වෙන්නෙ නැති නිසා හිංසකාරී පිරිමියව දකින්නෙ නැහැ. සමහර වෙලාවට ආදරය කරන කාලෙදිත් හිංසනයට ලක්කරන පිරිමියව දකින්න පුළුවන්වෙන අවස්ථා තියනවා. නමුත් ඉතින් මම එයාට ආදරෙයි කියන සිතුවිල්ලෙන් ඉඳගෙන පිරිමියා ගැන හොඳටම දැන දැනම විවාහවෙලා දුක්විඳින කාන්තාවො සමාජයේ ඉන්නවා.
හිංසනයට විරුද්ධව සටන් කරන්න බැරි ගැහැනියක්ව අසංධිමිත තුළින් ගෙනත් තියෙන්නෙ ඇයි?
හිංසනයට විරුද්ධව කාන්තාවන්ට අතින් පයින්නම් කොහොමත් සටන් කරන්න බැහැ. අතින් පයින් සටන් කෙරුවොත් පිරිමියගෙන් වෙන හිංසන තත්ත්‍ව වැඩිවෙන එකයි වෙන්නෙ.
දික්කසාද වුණොත් පරම්පරාවට කැලැලක්, වෙන්වුණොත් දරුවොන්ගෙ ජීවිතවලට ප්‍රශ්නයක් වෙයි, ගුටිකාගෙන හරි පවුල් ජීවිතේ ගෙනියන්න කියන දෙමව්පියන්ගේ බලකිරීම, දෙමව්පියො දරුවව විශ්වාස නොකිරීම වැනි දේවල් නිසා පිරිමියගෙන් සිද්ධවෙන හිංසනයට විරුද්ධව සටන් කරන්න කාන්තාවට ආත්ම විශ්වාසයක් නැතිවෙලා තියනවා. අසංධිමිත තුළ ඉන්න යශෝගේ කතාවත් ඒ වගේ. අපේ සමාජයේ ගෘහස්ථව හිංසනයට ලක්වෙන බහුතරයක් කාන්තාවන්ගෙ කතාව තමයි අසංධිමිත තුළ ඉන්න යශෝ හරහා කියන්නෙ.
අසංධිමිත වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අසංධිමිත ටෙලි නාට්‍යයක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට පැමිණීමත් එක්ක කන්තාවො ගෘහස්ථව හිංසනය ලක්වුණ ආකාරය ගැන හඬ අවධි කරලා තියනවා. අසංධිමිත ටෙලි නාට්‍යයේ පෙන්නනවා වගේම කාන්තාවො විවාහ ජීවිතය තුළ කොච්චර හිංසනයට ලක්වෙනවද, දුක් විඳිනවද කියලා මට කියලා තියනවා .පොඩි කාලෙදි තමන්ගේ තාත්තා අතින්, සහෝදරයගේ අතින් සහ විවාහ වුණාම සැමියා අතින් හිංසනයට ලක්වෙලා මුළු ජීවිත කාලයම දුක් විඳපු ගැහැනුන්ගේ කතාත් අසංධිමිත වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර අතරෙ තියනවා.
පිරිමි අයගෙන් ප්‍රතිචාර ලැබෙනවද?
පිරිමි අයගෙන් අසංධිමිත සඳහා ප්‍රතිචාර ලැබෙනවා අඩුයි. පිරිමි විසින් කාන්තාවන්ව හිංසනයට ලක්කිරීම ගැන ටෙලි නාට්‍යයකින් කියනවට සමහරවිට පිරිමි අකැමැති ඇති.
ආර්ථික අතින් ස්ථාවර නම් කාන්තාවට පිරිමියෙක් ඕනෙ නැහැ කියලා ගැහැනු කියන අවස්ථා තියනවා. විවාහවෙලා කාන්තාව විඳින දුක එක්ක ඒ කතාවෙ ඇත්තක්තියනවද?
කාගෙන්වත්වත් යැපෙන්නෙ නැතුව කාන්තාව ආර්ථික අතින් ස්ථාවර විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි කාන්තාවට පිරිමියෙක්ව ඕන නැහැ කියන අදහසට මම එකඟ නැහැ. සල්ලි විතරක් තියාගෙන කාගෙන්වත්වත් ආදරයක්, හව්හරණක්, කායික ස්පර්ශයක් නැතුව හුදෙකලා වෙලා සතුටක් විඳින්න පුළුවන්ද? ලෝකය වුනත් පවතින්නෙ ගැහැනු පිරිමි විවාහවෙලා දරුවො හදලා පරම්පරාව බෝ කිරීමෙන්. ඉතින් ඒ නිසා ගැහැනියකට පිරිමියෙක් ඉන්න ඕන කියලා මම විශ්වාස කරනවා. පිරිමි කියන්නෙ නරක නපුරු මිනිස්සු කොට්ඨාසයක් නෙමෙයි. ගැහැනියව රැජිනක් වගේ ආදරෙන් බලාගන්න හොඳ පිරිමි ඕනෑ තරම් ඉන්නවා.
අසංධිමිත කියන නම මේ සඳහා යෙදුවෙ ඇයි?
අසංධිමිත කියන නමේ තේරුම කාන්තාව. ගෘහස්ථව හිංසනයට ලක්වන කාන්තාව ගැන මේ ටෙලි නාට්‍යයේදි කියන්නෙ. ඉතින්
බොළඳ නමක් දානවට වඩා කාන්තාව ගැනම අර්ථ දෙන පාලි භාෂාවෙ එන අසංධිමිත කියන නම මේ සඳහා දාන්න මම තීරණය කළා.
ලක්ෂාන් ජයසූරිය