කලාවත් විද්‍යාවත් අතර සමබර ගමනක් යන චාතුර්යා

gossiplanka image 1
 


සිරස TV නාළිකාවේ විකාශය වූ ‘The Voice Sri Lanka‘ ගායන රියැලිටි තරගාවලිය හරහා ජනප්‍රිය වූ චාතුර්යා සදභරණ මේ වෙද්දී සිනමා රංගනයටත් ඇවිත්. ඒ මේ දිනවල තිරගත වන “මං හොයන්නේ ප්‍රේමයක්” චිත්‍රපටය තුළින්. ඒ ගැන සහ ඇයගේ කලා ගමනේ ඉදිරි වැඩ කටයුතු ගැනයි මේ කතාබහ.


මුලින්ම ඔයා ගැන කියන්නකෝ..


මම හැදුණේ වැඩුණේ තංගල්ලෙ. මූලික අධ්‍යාපනය ලැබුවෙ තංගල්ල බාලිකා විද්‍යාලයෙන්. ගායනය, රංගනය, නර්තනය, චිත්‍ර කලාව, නිරූපණය සහ ක්‍රීඩාව කියන අංශ හැම එකටමත් මම එකවගේ ආදරෙයි. ඒ අතරින් ගායනය කියන්නෙ මගෙ හදවතට කිට්ටුම දේ. ඒ එක්කම මම කරාටේ ජාතිකව සහ අන්තර්ජාතිකව නියෝජනය කරපු black belter කෙනෙක්. මම සංගීත විශාරද විභාගයට ලියන්න සුදානම් වෙනවා. මේ වන විට ගුවන්‍ සහ අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව හදාරණවා (Aerospace engineering) එක්සත් රාජධානියේ. විද්‍යාවේදී උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් ලැබුවා.’අභ්‍යවකාශයේ ඉඳන් පෘථිවියට විශාල වේගයෙන් එන යානාවලට වෙන භයානක තාපය (ultra high temperature materials for space re-entry vehicles) ගැන මගේ research paper එක කරන්නේ.


කොහොමද කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ


කලාවට සම්බන්ධ වෙන්නෙ තාත්තගෙ ආභාසයෙන්. මගෙ තාත්තා වෘත්තියෙන් නීතිඥයෙක්. ඊට අමතරව ඔහු ගායකයෙක්, වාදකයෙක්, රංගනශිල්පියෙක්, දේශකයෙක් සහ උපදේශකයෙක් ලෙසත් කටයුතු කරනවා. තාත්තා නිතරම කියන දෙයක් තමයි ලොවින් එකෙක් එක් දේකට වෙයි සමත කියන්නෙ බොරු කතාවක් කියන එක. ඒ නිසයි මම හැම දෙයකටම උත්සාහ කළේ. ඒත් එක්කම voice srilanka වේදිකාවෙන් තමයි ගායිකාවක් විදියට මුලින්ම ප්‍රේක්ෂකයින් අතරට ගියේ. රංගනයෙන් දායක වුණු පළමු චිත්‍රපටියත් ‘මං හොයන්නේ ප්‍රේමයක්’ තිරගත වෙනවා. චිත්‍රපටි පසුබිම් ගායිකාවක් විදියටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියනවා.


ගායන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට ආපු ඔබ, “මං හොයන්නේ ප්‍රේමයක්” චිත්‍රපටය හරහා රංගන ශිල්පිනියක් විදිහට මතු වෙනවා. මේ අලුත් අත්දැකීමට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


මේ චිත්‍රපටියට මට ආරාධනා කළේ අධ්‍යක්ෂ තිලිණ බොරලැස්ස මහත්මයා. ඔහු තමයි කිව්වෙ මෙහෙම වැඩක් සහ මේ වගේ චරිතයක් මොකද මගෙ අදහස කියලා . ඔහු දක්ෂ නිර්මාණකරුවෙක් කියලා මම දැනගෙන හිටිය සහ ඔහුගෙ ලස්සන නිර්මාණ මම දැකල තිබුණා. මට ගැළපෙන සුදුසු ලස්සන වැඩක් නිසා මම බොහොම කැමැත්තෙන් චිත්‍රපටයට සම්බන්ධ වුණා.


පළමු වරට කැමරාවක් ඉදිරියට යද්දී මොනවගේ හැඟිමක් ද ඇති වුණේ?


බයක් නම් දැනුණේ නෑ. ඒ සමහරවිට පුංචිම කාලෙ ඉඳන් වේදිකාව මට හුරු තැනක් වෙලා තිබ්බ නිසා වෙන්න ඇති. වේදිකාවට ගොඩවෙද්දි, කැමරාවක් ඉදිරියට එද්දි මට දැනෙන්නෙ සතුටක්. ඒ නිසාම ලස්සනට, නිදහසේ මට රඟපාන්න පුළුවන් වුණා. මගේ පවුලේ අයත් මං හොයන්නේ ප්‍රේමයක් කණ්ඩායමේ සහයෝගයත් නිසා ඒ කටයුත්ත සාර්ථකව නිමකරන්න පුළුවන් වුණා.


සිනමාපටයේ ඔබේ චරිතය සහ ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මම චිත්‍රපටයේ මම රගපානවා කියනවට වඩා මාවම මම කැමරාවකට හසුකරගත්ත කිව්වොත් නිවැරදියි. මිනුකිගෙ චරිතය කියන්නෙ හැබෑ ජීවිතයේදි චාතුර්යාගෙ චරිතයට ගොඩක් සමීප චරිතයක්. චාතුර්යාත් නිදහසේ,යාලුවන්වත් බලාගෙන, තමන්වත් බලාගෙන පාඩුවේ වැඩකරන් ඉන්න කැමති කෙනෙක්. මම හිතනව මම මිනුකිගෙ චරිතයට උපරිම සාධාරණයක් කළා කියලා. චිත්‍රපටිය බලපු ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉතා ඉහළයි. බොහෝ දෙනෙක්ගෙන් තවමත් පණිවිඩ ලැබෙනවා සුබපතලා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය,ආශීර්වාද ලැබෙද්දි මට දැනෙන්නෙ පුදුම සතුටක්.


ඔබ Kingston විශ්වවිද්‍යාලයේ ගුවන් හා අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍යාවක්. කලා ක්ෂේත්‍රය සහ මේ වගේ සංකීර්ණ තාක්ෂණික විෂයයක් එකට සමබර කරගන්නේ කොහොමද?


කුඩා කාලේ ඉඳන්ම තාක්ෂණය ගැන යම්කිසි කුතුහලයක් තිබුණා. ඒක නිසා Aerospace Engineering තෝරගැනීම ස්වභාවිකවම සිද්ද වුණා. ඒ වගේම කලාවට නැඹුරු කෙනෙක්ට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා කියලා මට දැනිලා තියෙනවා. ඒනිසාම කලාව සහ ඉංජිනේරු විද්‍යාව පරස්පර දෙයක් වුණේ නැහැ. ඉංජිනේරු විද්‍යාවෙන් මම නිවැරදිව හිතන්න, විනයගරුකව වැඩ කරන්න ඉගෙන ගත්තා. විශේෂයෙන්ම ගායනයෙන් මට හැඟීම් ප්‍රකාශ කරන්න ඉඩ ලැබෙනවා. ඒ දෙකම එකතුව මම සම්පූර්ණ මනුෂ්‍යයෙක් කියලා මට දැනෙනවා.


මේ දේවල් සමබරව කරන්නෙ කොහොමද කියන එක ගැන කතා කළොත් මම හැම දෙයකටම වෙන වෙනම වෙලාව හදාගත්ත. ඉංජිනේරු විද්‍යාවෙන් ලැබුණු structured thinking එකම තමයි මට කලාවට උපකාර වෙන්නේ. තවත් කිව්වොත් මම මේ කරන දේවල් බොහොම පරිස්සමින් තෝරාගත් දේවල්. තියෙන හැමදේම කරනවට වඩා තමන්ට සුදුසු දේ පමණක් කරන එක හොඳයි කියන එක මම පිළිපදින දෙයක්.


පවුල කියන සාධකය ඔබේ ගමනට කොයි තරම් හයියක්ද?


මම අද යම් තැනක ඉන්නවනම් ඒ හැමදේම පිටිපස්සෙ ඉන්නෙ මගෙ පවුලේ අය. නිදහස දීල, හරි වැරැද්ද තෝරගන්න උදව් කරන මවුපියො සහ සහකාරයෙක් කියන්නේ කෙනෙක්ගේ ගමන සාර්ථක කරගන්න අත්‍යවශ්‍යම සාධකයක්. මම ඒ දේ උපරිමෙන්ම ලබන කෙනෙක්.


ඉදිරියේදී චාතුර්යාගෙන් අලුත් සින්දුවක් හෝ නැවතත් රංගනයෙන් දායක වන නිර්මාණයක් බලාපොරොත්තු විය හැකිද?


ඉදිරියේදිත් කලා කටයුතුවල නියැළෙන්න බලාපොරොත්තු වෙනවා. ගායනයෙන් තමයි ඉස්සරහට සැලසුම් බොහොමයක් තියෙන්නෙ. රංගනයෙනුත් තවත් ආරාධනා කීපයක් ලැබුණා. ‘සායම් හීනේ’ මගේම ගීතයත් මේ වෙනකොටත් අහන්න නරඹන්න පුළුවන්. ඉදිරියේදී තවත් ලස්සන නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.


අවසාන වශයෙන්, ඔබට ආදරය කරන, ඔබේ හඬට සහ රංගනයට ඇලුම් කරන ප්‍රේක්ෂකයින්ට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?


කලාකරුවෙක්ට ති‍ෙයන ලොකුම සම්පත තමයි ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ අගය කරන මිනිසුන් පිරිසක් සිටීම. මුලින්ම කලාවට සම්බන්ධ වෙද්දි මට ඕන වුණේ යන වැඩේ හරියට කරලා එන්න ඕන කියන හැඟීම විතරයි. ඉස්සර ඉඳන්ම මට ලොකු තරුවක් වෙන්න ඕන වුණේ නැහැ. මට ඕන මගේ හැකියාවෙන් ලංකාවෙ කලාවට යහපතක් කරන්න සහ කරන කෙනෙක්ට අත දෙන්න. ‘චාතුර්යා සදභරණ’ කලා ලෝකය තුළ නිර්මාණය කරන්න වෙහෙසුන හැමට ස්තුතියි. මගේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය, ආශීර්වාදය නිසා තමයි කලාවට තව තවත් ආදරය කරන්න ගත්තෙ. ඒ වෙනුවෙන් හැමදාමත් මම ඔවුන්ට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post