සාම්ප්‍රදායික කතා රටාවෙන් ඔබ්බට ගිය සිනමා නිර්මාණයක් වන ජිගලෝ” (Gigolo) යනු මෑතකදී සිංහල සිනමා වංශකතාවට එක් වූ, සමාජයේ එතරම් කතාබහට ලක්නොවන මාතෘකාවක් සහ වෙනස්ම මාදිලියේ අත්දැකීමක් ප්‍රේක්ෂකයන් වෙත ගෙන එන සිනමා නිර්මාණයකි.
යූ. ඒ. පල්ලියගුරුගේ කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙය ‘ ආර්ථික අපහසුතා හමුවේ කොළඹ නගරයේ ධනවත් කාන්තාවන්ට ලිංගික සේවා සැපයීමට පෙලඹෙන, සිංහල සිනමාවට පිවිසීමේ සිහිනය දකින තරුණයකු වන මහේන්ගේ ජීවිතය වටා එහි කතාව ගෙතී ඇත.
නිෂ්පාදනයට සුනිල් ටී. ප්‍රනාන්දු සහ යූ. ඒ. පල්ලියගුරු එක්ව සිටිති. ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු සමඟ නවක රංගන ශිල්පී රැන්ඩි සෙනෙවිරත්න ද මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වීම කැපී පෙනේ.
ඔහුගේ එක් පෙම්වතියක වන ඇය අද අපත් සමඟ කතාබහට එක්වන්නීය. ඇය නමින් දිල්රුෆා ෂානාස් ය.
ඔබ ප්‍රධාන චරිතයක් සඳහා එක්වන ‘ජිගලෝ’ චිත්‍රපටය මේ දිනවල රිදී තිරයේ දිග හැරෙනවා. ඒ අත්දැකීම කොහොමද?
එහි ප්‍රධාන චරිතය රඟන රැන්ඩිගේ පෙම්වතිය මමයි. එය ගුවන් සේවිකාවකගේ චරිතයක්. මෙහිදී මගේ පෙම්වතා මුදල්වලට ගැහැනුන් පසුපස යන කෙනෙක්. ඔහු ඒ බව නොකිව්වත් ඇයට යම් යම් සැකයන් උපදිනවා.
මේ චරිතය සඳහා ඔබේ තෝරා ගැනීම වෙන්නේ කොහොමද?
වින්ද්‍යා හාරිස්පත්තුව සිනමා අධ්‍යක්ෂවරිය හරහායි මට ඒ චරිතය ලැබෙන්නේ. මම ඒ අයගේ ’69’ චිත්‍රපටය සඳහා ඊට පෙර දායක වූවා. ඒ චරිතය මට ලැබෙන්නේ ඒ අනුව. මේ චිත්‍රපටය රූගත කරන්නට පෙර අපිට රඟපෑම පිළිබඳ, දෙබස් කීම ….ආදිය සම්බන්ධ වැඩමුළු කිහිපයක්ම පැවැත්වූවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රැන්ඩිට ලැබෙන ප්‍රතිචාර වැඩියි ඇත්තටම. ඔහු වෙනස්ම චරිතයක් නිරූපණය කරන නිසා.
කලා ක්ෂේත්‍රයට ඔබේ අවතීර්ණ වීම සිදුවන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා නේද?
ඔව්. දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියට මම මුලින්ම සම්බන්ධ වෙන්නේ. එහි අවසන් 5 දෙනා අතරට මාවත් තේරෙනවා. ඉන්පසු මිස් යුනිවර්ස් වගේ තරග සඳහා මම එක්වෙනවා. මිස් ට්‍රාන්ස් කොන්ටිනෙන්ටල් තරගයෙන් මට පළමු තැන ලැබෙනවා. අමෙරිකාවේ මෙම තරගාවලිය පැවැත්වුවත් වීසාවල ගැටලුවක් නිසා මට මගේ රට නියෝජනය කරන්න ලැබෙන්නේ නෑ.
ඔබ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් බවටත් පත්වෙනවා නේද?
දෙරණ නාළිකාවෙම තමයි මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වෙන්නේ. ‘පට්ට පාට පාට’ එක් වැඩසටහනක්. ‘ මල්බර දෙරණ ‘ තවත් වැඩසටහනක්.
ඔබේ සිනමා ආගමනය වෙන්නේ කොහොමද?
මුලින්ම මම සම්බන්ධ වෙන්නෙ උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනිමල් පොකුරු’ චිත්‍රපටය සමඟ. ’69’ චිත්‍රපටයේ මම වයසින් වැඩි කෙනකුට ආදරය කරන්නේ. මම එහි ප්‍රධාන චරිතය රඟන්නේ, ක්ලිටස් මෙන්ඩිස් සමඟ. ප්‍රවීණයකු සමඟ ප්‍රධාන චරිතයක් රඟද්දි ඒ අත්දැකීම උපරිමයෙන් ම ලැබුවා. සිනමාවට ආධුනිකයෙක් වන මට හදාරන්න තිබෙන දේවල් වැඩියි.
රඟපාන්නේ මෙහෙමයි කියලා ලොකු දේවල් ඔළුවට දාගෙන ගිහින් මට රඟපාන්න බැහැ. පෙර සූදානමකට වඩා එවෙලේ ස්වාභාවික රංගනයක් ඉදිරිපත් කරන්නයි මට පුළුවන්. දෙබස් ටිකක් බලා ගන්නවා.
ඔබ යම් යම් රංගන ශිල්පීන් අනුකරණය කරනවද?
එහෙම නෑ. විදෙස් චිත්‍රපට වැඩිපුර නරඹනවා. කාවවත් අනුකරණය කරන්නේ නෑ. සිංහල චිත්‍රපටත් අලුත්, පරණ භේදයකින් තොරව නරඹනවා.
ඔබ රඟපෑ ‘ගරා’ චිත්‍රපටයත් තව දින කිහිපයකින් තිරගත වීමට නියමිතයි නේද?
වින්ද්‍යා හාරිස්පත්තුව අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටයට මට සම්බන්ධ වෙන්නේ චිත්‍රපටයෙන් අඩක් පමණ නිමවූ පසුවයි. පොලිස් කාන්තාවකගේ චරිතයක්. මම ආසාවෙන් කරපු චරිතයක්.
‘ගරා’ වෙනස්ම විදිහට ගලා යන
චිත්‍රපටයක්. එක්වරම අවබෝධ කරගැනීමත් තරමක් අපහසුයි. සිනමාවේ විවිධ ශානරයන් පිළිබඳ යම් අවබෝධයක් ඇති කෙනකුට එය තේරුම් ගැනීම පහසු වේවි.
මෙරට නිමවූ ලස්සන චිත්‍රපටයක්. කලන ගුණසේකර, චමත්කා ලක්මිණි ගේ රඟපෑම් හොඳටම තිබුණා. චිත්‍රපටය අවසන් වනතුරුම හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. වෙනස්ම විදිහේ සංගීතයක් ඊට එක්කර තිබුණා.
ඉදිරියේදි තිරගත වීමට නියමිත වැඩ නිම කළ නිර්මාණ තිබෙනවද?
වින්ද්‍යාගේ ම ‘Fish’ කියන චිත්‍රපටයේ මම ඉන්නවා. ඒ ඇගේ තෙවැනි චිත්‍රපටය. එය ඉදිරියේදි තිරගත වීමට නියමිතයි. එකම විදිහේ චරිත නොව වෙනස් අන්දමේ චරිත කරන්න මම කැමැතියි.
ඔබේ පෞද්ගලික තොරතුරු දැන ගැනීමට ආසාවෙන් සිටින කෙනකුට ඒ ගැනත් කියමු.
අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි එක්ක මම ඉන්නේ. මගේ පවුලේ කිසිම කෙනෙක් ක්ෂේත්‍රයට සම්බන්ධ නැහැ. මම රංගන ශිල්පිනියක වෙනවට ඒ අය කැමැති වුණෙත් නෑ. හේතුව මම ඉස්ලාම් ආගමිකයෙක් නිසා. නමුත් මම හැමවිටම හිතන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් කියලා විතරයි. පන්සල්, පල්ලි මේ හැමතැනකටම යනවා. මං හිතනවා මම ස්වාධීන ලෙස ජීවත් වෙන කෙනෙක් කියලා. මම ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. කෑගල්ලේ ඩඩ්ලි. සේනානායක විද්‍යාලයෙන්. තාත්තා නාවික හමුදාවේ සේවය කළ නිසා මම හිටියේ කෑගල්ලේ. මම ම කඩාගෙන බිඳගෙන ආව ගමනක් මේ. මුලින්ම මේ ක්ෂේත්‍රයට එනවට ඒ අය බය වුණා. ඒකට හේතුව මම ගමක හැදුණු වැඩුණු කෙනෙක්.
මුල්ම රැකියාව ලෙස කොළඹ උසාවියේ වැඩ කළේ. ඉන්පසු ජාත්‍යන්තර පාසලක ඉගැන්වූවා. පොඩි කාලේ ඉඳන්ම මම කැමැති නිරූපණ ක්ෂේත්‍රයට. අදටත් මම කැමැතියි. ගයාන්, රොසෑන් ඩයස්ගෙන් ඒ පිළිබඳ යම් හැදෑරීමක් කරලා තියෙනවා.
මෝස්තර නිරූපණ පැත්ත දැන් මගෙන් එහෙම පිටින්ම වගේ ඈත් වෙලා. ළඟදි රෑම්ප් ෂෝස් මුකුත්ම කළේ නෑ. ව්‍යවසායිකාවක ලෙස තරමක් කාර්යබහුලයි. මේ නිසා කලා කටයුතු බොහොමයක් මඟ හැරෙනවා. ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් වෙන්න ආසාව තිබුණත් එයත් මඟ හැරෙනවා. ඉන්පස්සේයි මම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන්නේ.
තාරුණ්‍යයේ පසුවන ඔබට ආදර සබඳතා සඳහාත් ඉල්ලුමක් ඇති නේද?
දැන් නම් මම ඇත්තටම පෙම්වතියක් නෙවෙයි. එහෙත් සබඳතා කිහිපයක් ම පවත්වලා තියෙනවා. ඔවුන් කවුරුත් මගේ ආගමේ අය නෙවෙයි. ඒවා අවුරුදු 4, 5 වගේ දීර්ඝ කාලයක් පැවතුණු ඒවා. ඒ ලැබුණු අත්දැකීම් එක්ක කෙනෙක්ව විශ්වාස කරන්න දැන් බයයි. හැබැයි දැන් ඉන්න නිදහස් ජීවිතයට මම හරිම කැමැතියි.