වෛද්‍ය සිහිනය අතහැර ගායනයට ආ චමුදි

gossiplanka image 1
 

ඔයාටම මං කවුරු වෙනුවෙන්ද?


අපි ගෙවන ජීවිතයේ දී හැමෝම වගේ කැමැති තමන් කැමැති දේවල් කරන්න. තමන්ට මොන දේ ලැබුණත් හිත පිරෙන්නේ තමන් කැමැති දේ කරන කොටනේ. අද දවසේ අපේ කථානායිකාවත් එවැනි චරිතයක්. වෛද්‍යවරියක් වෙන්න ඉගෙනගෙන අවසානයේ කලාවට තියෙන දැඩි ආසාව කැමැත්ත හින්දම ගායනයට යොමුවෙනවා. හැබැයි ඒ නිකම්ම නෙමෙයි. හැදෑරීමක් ඇතිවයි. නමින් චමුදි ගමගේ වන ඇය ඔන්න පසුගිය දවසක ‘ඔයාටම මං’ කියලා ඇගේ කුළුඳුලු ගීතය කොළඹ වන් ගෝල්ෆේස් හි පිහිටි පී. වී. ආර්. සිනමා සංකීර්ණයේ දී එළිදැක් වුණා. ඇත්තටම කවුද චමුදි ගමගේ කියන්නේ ඔයාට ම මං කිව්වේ කවුරු වෙනුවෙන්ද? ඇය ඇගේ කතාව එහිදී දිගහැරියා.


“මගේ නම චමුදි ගමගේ මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට ඇතුළත් වුණා. සාමාන්‍ය පෙළ හදාරලා උසස් අධ්‍යාපනය හදාරන්න නවසීලන්තයේ එලින්ටන්ස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වෙනවා. එතැනින් පසුව වෛද්‍යවරියක් වීමට වික්ටෝරියා යුනිවර්සිටි එකට ඇතුළත් වෙන්නේ.


අම්මයි තාත්තයි මම පුංචි කාලේ ඉඳලා වයලීන් වාදනයට වගේම කටහඬ පුහුණු ආයතනවලට යොමු කරලා සංගීතය පිළිබඳව දැනුම ලබාදුන්නා. හැබැයි වෘත්තීමය වශයෙන් සංගීතය කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. හැබැයි වෛද්‍ය අංශයෙන් ඉගෙන ගත්තු මම සංගීතය ගැන ආසාවක් ඇතිවුණ හින්දම ආපහු සංගීතය පිළිබඳව හැදෑරුවා.


වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගත්තු චමුදි ඒ සියල්ල අතහැරලා අවසානයේ සංගීතයට යොමුවෙන්න විශේෂ හේතුවක් තියෙන්න ඇතිනේ.


මම පුංචි කාලේ ඉඳලා ආසා කළේ කාට හරි උදව් කරන්න. මම වෛද්‍ය විද්‍යාව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙන ගන්න අතරේ මට හිතුණා මට නව විදිහක් තියෙනවාද මාවත් සතුටු වෙන්න කියලා. අන්තිමට සංගීතය තමයි මගේ හිතට වැඩියෙන්ම දැනුණ දේ. මට මගේ හැඟීම් හොඳටම විදහා දක්වන්න පුළුවන් විදිහ තමයි පද රචනය. මම ගොඩක් ආසයි සින්දු ලියන්න. පසුව මම ගීත නිෂ්පාදනය පිළිබඳව හැදෑරුවා. සංගීතය තුළින් මට සමාජයට යමක් දෙන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ පරමාර්ථයෙන් තමයි ගීත නිර්මාණය කරන්න පටන් ගත්තේ.


ඒ අනුව ඇය හා හා පුරා කියලා නිර්මාණය කරපු “ඔයාටම මං” ගීතය ගැනත් කතා කළා.


මගේ මුල්ම නිර්මාණය මට කරන්න ඕනෑ වුණේ හරිම ධනාත්මක හැඟීමක් තියෙන ආදරණීය ගීතයක්. මගේ අදහස ගැන ගී පද රචක ගජිඳු ෆොන්සේකා සමග කතාබහ කරලා ඔහුට ‘ඔයාටම මං’ ගීතය නිර්මාණය කරන්න දුන්නා. ඊට පසුව චමත් සංගීත් තනුව නිර්මාණය කළා. මෙහි රූප රචනාව චානුක දුෂ්‍යන්ත අතින් නිර්මාණය වුණ රූප රචනාවට රංගනයෙන් මේ දිනවල කා අතරත් කතාබහට ලක්වෙන චතුරංග කොඩිතුවක්කු මාත් එක්ක එකතු වුණා. රූප රචනාවේදී මාව


හැඩගැන්වීම් සිදු කළේ රැහෙලා ප්‍රනාන්දු. රූප රචනාව එළිදැක්වූවාට පසුව මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේක මගේ පළමු ගීතය. මම හිතුවෙවත් නැති විදිහට මේ ගීතයට ප්‍රතිචාර ලැබුණා.


මම ඇත්තට ම හරි ලැජ්ජාශීලී චරිතයක්. මේ ගීතයේ රූප රචනාවට මට ම ඉන්න කියලා යෝජනාවට ආවට පසුව මම දෙපාරක් හිතුවා අන්තිමේ නිෂ්පාදක කණ්ඩායමේ ලොකු සහයෝගයක් මැද මම ගීතයට චතුරංග එක්ක රඟපෑමට එකතු වුණා.


රූප රචනාවට චතුරංග තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබුණද කියලත් අපි චමුදිගෙන් ඇහැව්වා.


ගීතයේ රූප රචනාව ගැන චමත් අයියා, ගජිඳු අයියා වගේම චානුක අයියා එක්කත් කතා කළා. මම මුලින්ම මේ සඳහා යොදා ගත්තේ කාවද කියලා අදහසක් තිබුණේ නැහැ. චමත් අයියා තමයි චතුරංගව ගත්තෙත් මේ සින්දුවේ තේමාවට ගොඩක් ගැළපේවි කියලා. මටත් හිතෙනවා චතුරංග අයියාව සින්දුවේ වයිබ් එකට හොඳට ගැළපුණා කියලා.


ගායන ක්‍ෂේත්‍රයේ අද වෙනකොට ලොකු තරගයක් පවතිනවා. ඉදිරියට යන ගමනේදී චමුදි මේ තත්ත්වය දකින විදිහ ගැනත් අපත් සමග කතාබහ කළා.


“මට ගැළපෙන විදිහට මගේ අනන්‍යතාවය රැකගෙන මගේ හැකියාවන් සමග විතරක් ප්‍රයෝජනයට අරගෙන වැඩ කළොත් ගමනක් තියේවි කියලා හිතනවා. විවිධ ශානරයන්ගෙන් ගීත ගායනා කරනු ලබන නව පරපුරේ ගායක ගායිකාවන් රැසක් සිටිනවා.


ඇත්තටම මගේ පළමු නිර්මාණය හින්දා පොඩි චකිතයකින් හිටියේ මේ ගීතය එළිදක්වනකම්. හැබැයි මට ආත්ම විශ්වාසයක් තිබුණා මට කරන්න තියෙන දේ හින්දා මම අවස්ථානුකූලව ඒ අවස්ථාවට හැඩගැහේවි කියලා.


චමුදිට රඟපෑම පිළිබඳවත් හිතේ ආසාවක් ඇත්ද දන්නෙත් නැහැනේ.


තවම නම් එහෙම හිතලා නැහැ. පුංචි කාලේ නම් ආසාවක් තිබුණා චිත්‍රපටයක රඟපෑවානම් හොඳයි කියලා. දැන් නම් ඒ අදහසේ නැහැ. මගේ සංගීත ගමනේදී මම කාවත් අනුකරණය කරන්නේ නැහැ. මට ඕනෑ මගේ අනන්‍යතාවය එක්ක ඉදිරියට යන්න. මම ආසා කරන ගායක ගායිකාවන් නම් කිහිපදෙනෙක්ම ඉන්නවා.


චමුදිගේ මේ ගමන පිළිබඳව ආපසු හැරී බැලුවොත් ඇයට තියෙන්නේ හරිම අපූරු අදහසක්.


මම සංගීතය වෘත්තියක් විදිහට සිදු කරනවා කියලා තීරණය කළේ 2019 අවුරුද්දේ. ඒ ගමනේදී ලොකු ශක්තියක් ගෙදරින් ලැබුණා. මේක හරිම හෙමින් ආපු ගමනක්. ඉගෙනගෙන දණගගා බඩ ගගා තමයි මෙතෙක් දුර ආවේ. මම තනියෙන් ඉගෙන ගත්තු දේ හරිද කියලා බලන්න දකුණු කොරියාවේ මියුසික් ඇකඩමියකට පවා ඇතුළත්වෙලා යම් කිසි හැදෑරීමක් සිදුකර මම කරපු දේ හරිද කියලා සොයා බැලුවා. මම කරන දේ හරියට කරන්න නම් ඉගෙන ගෙන එන්න ඕනෑ වුණා. හරිම සතුටුයි මෙතෙක් දුර ආපු ගමන ගැන. හැබැයි මට තව බොහෝ දුරක් යෑමට තියෙනවා. හරියට බැලුවොත් මම දැන් ගමන පටන්ගත්තා වගෙයි තව තවත් හදාරමින් ඉදිරියට යන්න තමයි ආසාව. මේක හිමින් ආපු ගමනක් හින්දා අතහරින්න හිතුණ අවස්ථා නැතිවාම නෙමෙයි. මේක ඉගෙන ගන්නේ කොහොමද කියලත් කල්පනා කරපු අවස්ථා එමටයි. හැබැයි අන්තිමේ මගේ ගීතයට කෙමින් කෙමින් ළඟා වෙමින් ඉන්නවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.


දිනේෂ් විතානඡායාරූප – රැෆෙලා ප්‍රනාන්දු

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post