ආයු ආයෙමත්…

gossiplanka image 1
 

රැලි රැලි හැපි හැපි විසිරේහිරිකඩ කොපුලතෙ තැවරීලිහිණින් හිතුමතේ ගයාවීනොකියන ආදරේ දැනේ…


චින්තක ධර්මදාස ලියපු මේ අපූරු පදවලට, මිලින්ද තෙන්නකෝන් මුසු කළ සප්තස්වර එක්ක තුසිත් සිම්සන්ගේ සහ චතුරිකා නිර්මාණිගේ හඬ හරි රහට රිදී තිරය මත රැව් පිළිරැව් දෙනවා. හරියට රැලි වගේ හැපීි විසිරී යන ජීවිතවලට හිතන්න යමක් ඉතුරු කරල වගේ.


නිශ්මි සහ සචින්ගේ ආදර කතාව රැගත් ‘ආයු’ තිරගත වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන මොහොතෙ පසුගිය 02 වැනිදා සිට නැවතත් තිරගත වීම ආරම්භ වෙනවා.


‘ආයු’ නිර්මාණය කරන්නෙ චත්‍ර වීරමන්. 2025 අවුරුද්දේ චත්‍ර අතින් නිර්මාණය වුණු හරි අපූරු සිනමා වියමනක් වන ‘ආයු’, දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත ආයෙමත් රිදී තිරයට ඇවිත් තියෙනවා.


පසුගියදා පැවැති සරසවි සම්මාන උළෙලේදී සම්මාන දහයක් වගේම POPULAR AWARDS හි සම්මාන හයක් හිමිකරගත් ‘ආයු’ ගැන චත්‍රට තියෙන්නේ මෙවැනි අදහසක්.


“ඇත්තටම පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 02 වැනිදා තමයි ‘ආයු’ පළමු වතාවට ප්‍රේක්ෂකයන් අතරට යන්නේ. හරියටම අවුරුද්දක් ගත වෙන පසුගිය 02 වැනිදා සිට ආයෙමත් ‘ආයු’ නරඹන්න ප්‍රේක්‍ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. සිනමාකරුවෙක් නිර්මාණයක් අවසන් කළාට පසුව එහි අයිතිය ඔහුට හිමිවන්නේ නැහැ. එතකොට අපි නිර්මාණ කරන්නේ අපේ ආත්මීය ප්‍රකාශනයක් විදිහට වෙන්න පුළුවන්. ආත්ම තෘප්තිය නිසා වෙන්න පුළුවන්. හැබැයි ඒ නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට ගිය මොහොතේ ඉඳන් ඒක ඔවුන්ට භාරයි. ඒක ප්‍රේක්ෂකයා අතරට ගියේ නැතිනම් අසම්පූර්ණ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි මේ නිර්මාණය කරල අවුරුදු හතක් උත්සාහ කළා ප්‍රේක්ෂකයා අතරට අරගෙන යන්න. හැබැයි විවිධාකාර හේතූන් නිසා අපිට ඒක මග හැරුණා. ගිය වසරේ ලොකු ප්‍රයත්නයකින් පසුව ‘ආයු’ ප්‍රේක්ෂකයා අතරට අරගෙන එනව. ඒකට බොහෝ දෙනෙකුගේ සහයෝගය ලැබුණා. අපිත් කැමැතියි ‘ආයු’ පුළුවන් තරම් ප්‍රේක්ෂකයන් බලනවාට. මේක නරඹපු අයගෙත් අදහස වුණේ තව තවත් ප්‍රේක්ෂකයා අතරට යා යුතුයි කියලා. මේ මොහොතේ ආයු ආයෙමත් තිරගත කිරීමට අවස්ථාව උදාවෙලා තියෙනවා. මෙතැනදි පෙරට වඩා යම්කිසි විශ්ලේෂණයක් පවා මේ නිර්මාණය සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න පුළුවන්. ආයු ගැන ගොඩාක් දෙනෙක් කතාබහ කළා, ගොඩාක් දේවල් ලියැවුණා. ඉතිං නැවතත් ඒ තියෙන මතකයන් එක්ක සාකච්ඡාවක් ඇතිවීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා විදිහට මට ලොකු සතුටක් තියෙනවා.


මේ නිර්මාණය මුලින් ම බෙදාහැරීම් මණ්ඩලවලට පෙන්වන කොට ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාරවල තිබුණෙ යම්කිසි අවිනිශ්චිතභාවයක්. සමහර බෙදාහැරීම් මණ්ඩලවල නිලධාරීන් ලොකු විශ්වාසයක් දැරුවත් සමහර අයට නම් විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් චිත්‍රපටය තිරගත කළ වෙලාවේ පළමු ප්‍රේක්ෂකයාගේ ඉඳලා ලැබුණේ හරිම ස්වාභාවික ප්‍රතිචාර. අපිටත් හිතාගන්න බැහැ, අපි දන්නවා මේ වැඩේ කරන්න අපි කොච්චර මහන්සි වුණා ද කියල. නිර්මාණය නරඹපු ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර එක්ක අපිට හරිම සතුටුයි. ඒ නිසාමයි මේක තව තවත් බැලිය යුතු නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ගියේ. මේ චිත්‍රපටය ඇතුළේ තියෙන ප්‍රස්තුතය පුද්ගල අත්දැකීම් එක්ක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙනවා. තමන්ගේ පුද්ගලික කාරණා එක්ක වුණත් මේ චිත්‍රපටය එක්ක බැඳෙන්න පුළුවන්. ඒ හින්දාම අපි හිතුවාටත් වඩා ලොකු ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ චිත්‍රපටයත් එක්ක එකතු වුණා.


හැබැයි මට හිතෙනවා ගොඩක් දෙනෙක්ට මේ හොඳ අවස්ථාව මග හැරුණා කියල. ඒකයි මේක යළිත් තිරගත කරන්න හිතුවේ.


මගේ දෙවැනි නිර්මාණයෙන් මානව සම්බන්ධතා, බැඳීම් වගේම මානසික විiාව පිළිබඳව කතාබහ කරන්න ඕනෑ වුණා. එතැනදී අපිට අභියෝගයක් වුණේ කොහොමද ප්‍රේක්ෂකයා මේ නිර්මාණය පුරාවට රඳවා තබාගන්නේ කියලා. ඉතිං ඒකට අදාළ ප්‍රස්තුතය තුළ යම්කිසි හැඩතල ටිකක් මම දැක්කා. විශේෂයෙන්ම හරි ලස්සන වෙරළත් එක්ක තියෙන බැඳීම. නගරය සහ ඒ තියෙන පසුබිම්වල තියෙන වෙනස්කම්. ඒ ජීවිත එක්ක වෙනම කතාවක් අපිට කියන්න පුළුවන් වුණා. මෙමගින් ප්‍රේක්ෂකයා යම්කිසි විදිහකට උත්තේජනය කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා.


මම මේ නිර්මාණය පුරාවටම අභියෝගයක් වගේම අවධානමක් ගත්තා. හැබැයි මේ නිර්මාණයට ප්‍රධාන නිළිය සැන්ඩ්‍රා මැක් තෝරාගැනීම වගේම ගීතය ගායනයට මගේ බිරිඳ චතුරිකා නිර්මාණිව තෝරාගත්තේ මොකක් හරි චාන්ස් එකක් ලැබේවි කියලා හිතාගෙන නෙමෙයි. ඒකට සෑහෙන පෙර සූදානමක් තිබුණා. නමුත් මට රූගත කරන්න පෙර යම්කිසි ආත්ම විශ්වාසයක් ඇතිවෙන්න ඕනෑ ඒ තෝරාගැනීම් පිළිබඳව. මේ කතාන්දරයේදී චතුරිකාගේ හඬ නිශ්මිට ගැළපෙන්නෙ නැතිනම් මේ වැඩේ කරන්න බැහැනේ. ඉතිං ඒ ගැන ලොකු ආත්ම විශ්වාසයකින් තමයි අපි ඒ ගැළපීම සිදු කළේ.


නිශ්මිගේ චරිතයට නිළියක් තෝරාගැනීමේදී අපි ගොඩාක් මහන්සි වුණා. පූර්ව ප්‍රචාරක පට පවා නිර්මාණය කරලා තමයි සැන්ඩ්‍රාව තෝරාගත්තේ. ‘ආයු’ මිනිස්සු අතරට ගෙනියන්න ඒ කාරණාවත් ඉවහල් වුණා කියල මට හිතෙනවා. ඒ වගේම මේ අපි වැඩිය දන්න මූණක් නෙමෙයි. අලුත් මුහුණක් එක්ක


ප්‍රේක්ෂකාගාරය නැවුම් අත්දැකීමක් විදිහට මේක භාර ගනීවි කියලත් අපිට අදහසක් තිබුණා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post