මේ දවස්වල හැමෝම කතාබහ වෙන වෙඩින් එක තමයි කලණ ගුණසේකර සහ රුචිනි විජේසුන්දරගේ වෙඩින් එක. සමාජය විවිධ කතා කිව්වත් විවිධ මඩගැසීම් සිද්ධවුණත් මේ වෙලාවේ ඔවුන්ටත් කියන්න කතාවක් තියෙනවානේ. ඉතිං අපි අදහස් කළා ඒ අවස්ථාව කලණට ලබාදෙන්න. අපි දුන්න ඇමතුමට ඔහු දුන්න ප්‍රතිචාරය තමයි මෙලෙස පිටුවකට ගත්තේ.
කලණ සහ රුචිනිගේ ආදර කතාව ගැන හැමෝම කතාබහවෙනවා. මුලින්ම කියමුකෝ බලන්න මේ ආදර කතාව පටන්ගත්ත විදිහ?
“මම කේමදාස මාස්ටර් පදනමේ වැඩකට ගියා කොරියෝග්‍රැෆර් කෙනෙක් විදිහට. එදා රුචිනි හිටිය ද කියලා මට ඒ තරම් මතකයක් තිබුණේ නැහැ. නමුත් මගේ ප්‍රේමණීය සරාගිනි නවකතාව එළිදක්වන දවසේ තමයි අපි මුලින්ම හම්බවෙන්නේ. ඒ කාලයේ මම යම්කිසි පොඩි මානසික කැළඹීම්වල හිටපු කාලයක්. අපි දෙන්නාගේ ආදර කතාව පටන්ගන්නේ අන්න එතැනින්. ඒ කියන්නේ මීට අවුරුදු හයකට කලින්. එතැන ඉඳලා විවිධ හැලහැප්පීම් විවිධ ලස්සන ආදර සිද්ධීන් එක්ක ආපු ආදර කතාවක්. එහිදී මට තියෙන ලොකුම විශේෂත්වය තමයි නළුවාටත් වඩා නවකතාවත් එක්ක තමයි අපි හම්බවෙන්නේ. අනික මම ලියපු ප්‍රේමණීය සරාගිනී කියන නවකතාවත් රොමෑන්ටික් නවකතාවක්. ඒකෙත් ආදරයේ ගැඹුර ගැන කතාබහ වෙනවා. මම තමයි මුලින්ම මේ ආදර යෝජනාව අරගෙන එන්නේ. අපේ ආදර කතාව ටික ටික ගොඩනැගුණු ආදරයක්.
රසිකාවියෝ, නිළියෝ සමග වැඩකරද්දී ඇයට ආදරයක් ඇතිවෙන්න තිබුණ විශේෂ හේතුව මොකක්ද?
ඇත්තටම මගේ ක්‍ෂේත්‍රයේ හමුවෙන හැම නිළියක්ම මම සහෝදරියක් වගේ ආශ්‍රය කරපු කෙනෙක්. ඒක ඒගොල්ලොත් දන්නවා. එතැනින් එහාට ආදරය කියන කාරණාවේදී විවාහවීම දෙදෙනෙක් එකට ඉන්නවා වගේ ලොකු කතාවලදී මට අවශ්‍ය වුණේ කවුද කින්දමන්ද කියන එක නෙමෙයි. එතැනදී නිළියක්ද ගායිකාවක්ද නෙමෙයි, හිත නවතින තැන මාලිගාව කියලත් කියනවානේ. කොතැන ද හිත නතර වෙන්නේ එතැන තමයි අපි නතර වෙන්නේ.
මෙච්චර කාලයක් මේ ආදර කතාව හංගාගෙන හිටියේ කොහොමද?
අනේ නැහැ. හංගාගෙන හිටියා කියලා එකකුත් නෙමෙයි. ඇත්තම කතා කරනකොට අපි දෙන්න මේ විශේෂිත පුද්ගලයන් දෙදෙනෙක් හෝ විශේෂ ආදර කතාවක් නෙමෙයිනේ. අපි දෙන්නගේ ආදරයත් සාමාන්‍ය සමාජයේ පවතින ආදර කතාවක්ම තමයි. මම ඒක චිත්‍රපටයක ආදර කතාවක් වගේ ගොඩනගන්න යන්නේ නැහැ. සාමාන්‍ය දෙදෙනෙක් ආදරය කරලා විවාහ වෙන විදිහට අපි දෙදෙනත් ආදරය කරලා විවාහ වෙනවා.
විවාහ ගිවිසගැනීම සිද්ධවෙන්නෙත් ඔබ රඟපෑ චිත්‍රපටයක මාධ්‍ය දර්ශනයට පහුවෙනිදා නේද? හැබැයි එදා රාත්‍රියෙත් ඒ වැඩේට කලා ආවා?
ඇත්තටම රුචිනි ඇවිත් ගායිකාවක්. එයාගේ කටයුතු එයාට නිදහසේ කරගෙන යන්න පුළුවන්. එයත් දන්නවා බැඳලා තියෙන්නෙ ටිකක් අමාරු මනුස්සයෙක් කියලා. නළුවෙක් විදිහට සහ පිටපත් රචකයෙක් විදිහටත් අපි හැමවෙලාවේම දේවල් වෙනස් විදිහට දකින්න උපරිම උත්සාහයක් ගන්න මිනිස්සුනේ. ඒක තමයි ඇත්ත. ඉතිං ඒකත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම දාගත්තු කාලසටහනක් තියෙනවා. එයත් ඒක දන්නවා. ඔබ කිව්වා වගේම 22 වැනිදා ගරා චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය තිබුණා. 25 වැනිදා ධර්ම යුද්ධයේ රූගත කිරීමක් තිබ්බා. එදා මගේ සම්පූර්ණ හැඩය වෙනස් කරලා මගේ උඩු රැවුල කපන්න සිද්ධ වුණා. ඊට පස්සේ අපි දැන් මෙහෙම්ම මේ රවුම ගිහිල්ලා මදුරන්කුලියේ මාසයක් රූගත කිරීම්වලට යන මගේ අත්වැස්ස කියලා සිඩ්නි ප්‍රනාන්දු නිෂ්පාදනය කරන මම අධ්‍යක්ෂණය කරනු ලබන අලුත්ම චිත්‍රපටයත් පටන්ගන්නවා. ඒ කාලය තුළ රුචිනිට ගෙදර ඉන්න වෙනවා. ඊට පස්සේ තමයි අපි කුලියට ගන්න අපාර්ට්මන්ට් එකට යන්න වෙන්නේ. මේ ක්‍ෂේත්‍රයේ අයත් රුචිනිව දන්නවා. මගේ යාළුවෝ ටිකත් රුචිනිව දන්නවා. මමත් රුචිනිගේ යාළුවෝ ටික දන්නවා.
කලණට මේ අවුරුද්ද හරි සුවිශේෂයි. චිත්‍රපට රැසක් තිරගත වුණා නේද?
මට හරි සතුටුයි. අපි කරපු සමහර දේවල් සහ අපි කරපු සමහර කැපකිරීම් ආයෝජන විදිහට එන අවුරුද්දක් මේක. මේ අවුරුද්ද පටන්ගත්තු දවසේ ඉඳලා මම රංගනයෙන් දායක වුණු චිත්‍රපට රැසක් තිරගත වුණා. මේ දවස්වල එදා රෑ තිරගත වෙනවා. ඊට පස්සේ ගරා චිත්‍රපටය එනවා. පසුගිය කාලයේ මයිසිම්බා, Room No.106., ඒක තමයි මේක, ධර්ම යුද්ධය 2 තිරගත වෙලා අවසන් වුණා. ඔය අතරේ මංචන පීරිස්ගේ අග්නිජය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. මට නිකං හරි සතුටක් තියෙනවා. අපේ අවංක ආසාව සිනමාවේ ජීවත්වෙන්න. විවාහයත් එක්ක ගත්තහම සරසවි සම්මාන උළෙලේදී නැගී එන නළුවා සම්මානය පවා ලැබෙනවා. මේ අවුරුද්ද මට කොහොමත් අමතක වෙන අවුරුද්දක් නෙමෙයි. මැරෙනකම් ජීවිතයට මතක් වෙන අවුරුද්දක්. ඊළඟ එක තමයි අපි දෙන්නාගේ විවාහය සෑහෙන කතිකාවතකට ලක්වුණා. විවිධ විවිධ විදිහට තමන්ගේ මතවලට අපේ විවාහ අරගෙන තිබුණා. සමහර අවස්ථාවලදී මට හරියන කාන්තාව එළියේ සමාජයෙන් තීරණය කරලත් තිබුණා. විවිධ හැඩතල ගොඩනැගුණ අවුරුද්දක්.
විවාහයත් සමග සමාජ මාධ්‍ය තුළ ලොකු කතිකාවතක් තිබුණානේ. ඒක දැක්කේ කොහොමද?
මම හිතන්නේ ලංකාවේ විවිධාකාර මිනිස්සු ඉන්නේ. පක්ෂ ගොඩාක් තියෙනවා සහ ආගම් ගොඩාක් තියෙනවා. සංස්කෘතීන් ගොඩාක් තියෙනවා. මිනිස්සු හරි විවිධයි. මිනිස්සු තමන් දකිනදේ ඔහේ ප්‍රකාශ කරන්න පුළුවන් විදිහට සමාජ මාධ්‍ය ඇවිත් තියෙනවා. අනෙක් මනුස්සයාගේ හදවත ගැන පොඩ්ඩක්වත් හිතන්න දන්නේ නැති මිනිස්සු සහ අනෙක් මනුස්සයාගේ හදවත ගැන පොඩ්ඩක්වත් හැඟීමක් තියෙන මිනිස්සු කියලා දෙපිරිසක් ඉන්නවා. ඔය මිනිස්සු දෙපිරිසම මේ සමාජයේ ජීවත් වෙනවා.
දිනේෂ් විතානඡායාරූප – ධනුෂ්ක සේනාධීර