අසාධාරණය මට පෙන්න බැහැ - ලක්‍ෂි ජයවර්ධන

gossiplanka image 1
 

ලක්‍ෂි ජයවර්ධන මේ දවස්වල ‘බොල්ට් ඇණයක්’ එක්ක වෙනස්ම චරිතයකින් දකින්න ලැබෙනව. චරිතය අදාළම නැහැ. ඒ තුළ කරන්න යමක් තියෙනව නම් ඇය හැමදාමත් මේ වෙනසට කැමති වුණා.


වත්සලාට ලැබෙන්නෙ මොන වගේ ෆීඩ් බැක් එකක්ද?


ඇත්තටම වත්සලාට ක්‍ෂේත්‍රය තුළින් සහ ඉන් පිටතදීත් මීට කලින් කරපු චරිතවලට වඩා වෙනස් විදිහෙ ෆීඩ් බැක් එකක් මේ දවස්වල ලැබෙනව. ඒ ප්‍රතිචාරත් එක්ක මේ නිර්මාණය වටා ලොකු ප්‍රේක්‍ෂක පිරිසක් එකතු වෙලා ඉන්නව කියලයි මට හිතෙන්නෙ.


මුල ඉඳන්ම වගේ මම කළේ ටිකක් වෙනස් චරිත. අපේ රටේ මෙහෙම දෙයක් තියෙනවනෙ, අපි චරිතයක් කළාම මිනිස්සු අපිව මනින්නෙ සැබෑ ජීවිතේත් අපි ඒ වගේ ඇති කියන මිම්මෙන්. නමුත් මේ චරිතයේදි මට ලැබෙන්නෙ හරි ආදරණීය ප්‍රතිචාර. ඇත්තටම ඒකට මම හරි කැමතියි.


වත්සලාගේ අනාගතය මොනවගේ වෙයිද?


වත්සලාගේ ජීවිතයට ඉදිරියේදී අහම්බයන් සහ පුදුමයන් වගේ දේවල් වෙන්න පුළුවන්. අපි ඒක ප්‍රේක්‍ෂකයාට දකින්න ඉඩ දෙමු.


චරිතය භාරගත්තෙ හිට් වෙයි කියල හිතාගෙනමද?


ඇත්තටම එහෙම දෙයක් නම් හිතුනෙ නැහැ. නමුත් වෙනසක් වෙයි කියන හැඟීමක් තිබුණා. අපි මුලින්ම මේ ටෙලියෙ හයිලයිට් එකක් ෂූට් කළානෙ. චැනල් කිහිපයකින්ම ඉල්ලා තිබුණත් අවසානයේ ස්වර්ණවාහිනියට තමයි ඒක ගියේ. ඒ ඉල්ලුම නිසා තමයි මට එහෙම දෙයක් හිතුනෙ. නමුත් මේ තරම් කතාබහට ලක්වෙයි කියල නම් හිතුනෙ නැහැ. බොරු කියන්න ඕන නැහැනෙ.


ලක්‍ෂි, ‘බොල්ට් ඇණයක්’ බලනවද?


ඔව්, මම මගේ රංගනය කොහොමද කියල දැනගන්නත් එක්ක කතාව බලනව. මට චරිතයට ආරාධනා කරන්නෙ චාලක අයිය සහ ජනක අයියා. චරිතයේ තිබුණ ගැමි ගතියත් එක්ක මම ආසාවෙන් ආරාධනය භාර ගත්තා.


ලක්‍ෂිට ලැබෙන්නෙ එකම රාමුවකට කොටු වුණ චරිත?


මෙතෙක් මට ලැබුණ චරිත භාරගත්තෙ හරිම ආසාවෙන්. මොකද ප්‍රේමවන්තියක් වෙලා ආදරය කරනවට වඩා ඒ හැම චරිතයක් ඇතුළෙම කරන්න ගොඩක් දේවල් තිබුණා.


කළු චරිතවලට බය නැද්ද?


මම බය නැහැ. මගේ වෘත්තිය රංගනය. මම කරන්නෙ චරිත. හැබැයි ඒ චරිතවලින් මාව මනිනව නම් ඒ අයගෙ තමයි ගැටලුව තියෙන්නෙ. කැමරාව ඉදිරියේ අපි රඟපාන චරිතය සහ ඉන් පිටත තියෙන අපේ පෞද්ගලික චරිතය කියන්නෙ වෙනස්ම දෙකක්.


වරක් ඔබ නැගී එන නිළියට නිර්දේශ වෙනව?


ඔව්, ඒක මට ලැබුණ වටිනා අවස්ථාවක් වගේම මේ ෆීල්ඩ් එකේ මාව වෙනම පැත්තකට චේන්ජ් වුණා වගේ දෙයක් සිද්ධ වුණා. ඒ වෙනුවෙන් මාඕ අයියව සහ චාලක අයියව මේ මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනව. එදා ඒ ටෙලියෙ මගෙත් එක්ක වැඩකරපු හැම රංගන ශිල්පියෙක්ම ඉතාමත් හොඳ සහයෝගයක් ලබාදුන්නා මගේ චරිතය සාර්ථක කරගන්න.


ලක්‍ෂි මොන වගේ චරිතයක්ද?


මම බොහොම විවෘත වගේම විනිවිද දකින්න පුළුවන් මනුස්සයෙක්. මම ආශ්‍රය කරන්නෙත් බොහොම සීමිත පිරිසක්. අසාධාරණය වෙනුවෙන් කතා කරන්න වගේම කියන දේ මුහුණටම කියන්නත් මම දෙපාරක් හිතන්නෙ නැහැ. මගේ ළඟ නැළවිලි නැහැ. ඒක මට සමහර වෙලාවට පොඩි අඩුපාඩුවක් වගේත් දැනෙනව. මොකද සමහර අය හිතන්නෙ මම කතාකරනකොට ගහගන්න වගේ කියල. මේ හැමදේම අතර මගේ හිත හොඳයි වගේම අවංකයි. ඒක මාව ළඟන් ආශ්‍රය කරන අය දන්නව. ඒ නිසා එයාල කවදාවත් මාව දාල යන්නෙත් නැහැ.


අනෙක් නිර්මාණ ගැන කතා කළොත්?


මේ දවස්වල හිරු ටීවී නාළිකාවේ ‘හඳට හැතැක්මයි’ ටෙලි නාට්‍ය විකාශය වෙනව. ඒ වගේම ‘යක් බැඳි ගෙදර’, අලුත්ම ටෙලි නාට්‍යය ළඟදීම සිරස ටීවී නාළිකාවේ විකාශය වීමට නියමිතයි.


වේදිකාවට ගොඩ වෙන්න අදහසක් නැද්ද?


වේදිකාව කියන්නෙ රංගනය හදාරන්න පුළුවන් තැනක්. නමුත් දැන්නම් කාලෙකින් වැඩකට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැහැ. මොකද මම වැඩ කළේ ජයලාල් රෝහණ අයියත් එක්ක. ඔහුගෙ අභාවයෙන් පස්සෙ ඒ වැඩකටයුතු නතර වුණා. දැන් හරිම ආසාවෙන් ඉන්නව හොඳ වැඩකට සම්බන්ධ වෙන්න.


දෙවැනි ගමන ගැන අදහස මොන වගේද?


මම හිතන්නෙ දෙවැනි වරටත් රංගන ක්‍ෂේත්‍රයට පැමිණීම තමයි මගේ හොඳම අවස්ථාව.


මොකද මට මගේ ටැලන්ට් පෙන්වන්න අවස්ථාව ලැබුණෙ එතැනදි. ‘රාවණ’ චිත්‍රපටයේත් මගේ වෙනස්ම රංගනයක් දැකගන්න පුළුවන්.


ඔබ වෘත්තිය විදිහට රංගනය තෝරා ගන්නව?


ඔව්, මං මගේ තෝරා ගැනීම් ගැන කවදාවත් දුක් වෙන්නෙ නැහැ. මොකද මම හිතන්නෙ හැමදේම වෙන්නෙ හොඳටයි කියල. ගෙදරින් මට බලපෑමක් නැහැ. මම කවුරුවත් කියන දේ කරන්නෙත් නැහැ. හැමෝගෙන්ම අහල මට හොඳයි කියල හිතෙන දේ කරනව. වැරදුනොත් මම මටමයි බැනගන්න ඕන. වෙන කවුරුවත් ඒකට වග කියන්න ඕන නැහැ. මම ම හිතල බ්‍රේක් එකක් අරගෙන ඒ කාලෙ ඇතුළත මම ඉගෙන ගත්තා.මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post