ඉතිං අපිට කියන්නකෝ ඔයාගේ නම ?
මගේ නම විශානි මුණසිංහ. හැබැයි ගොඩක් වෙලාවට කට්ටිය මට ටානියා කියලා කියනවා. ඒක නිකම් මට පෙට් නේම් එකක් වගෙයි. විශානි කිව්වාට වඩා ටානියා කිව්වහම තමයි කට්ටිය මාව දන්නේ.
ඇත්ත නමේ ටානියා කියලා නැතිද?
ඇත්ත නමේ ටානියා කියලා නැහැ. ඇත්ත නම විශානි මුණසිංහනේ. හැබැයි පොඩි කාලේ ඉඳලා කට්ටිය මට ටානියා කියලා කියපු හින්දාම දැන් මම ටානියා වෙලා.
අපි ටානියා කියලා කතා කරනවාද? විශානි කියලා කතා කරනවාද?
ටානියා කියලා කතා කරමු නේ.
ටානියාව මේ දවස්වල අපිට හම්බවෙන්නේ අලුත් සර් එක්කනේ?
ඔව්නේ. ඉම්පාස් ප්‍රඩක්ෂන් ආයතනයේ අලුත් සර් ටෙලිනාට්‍යය සඳහා ඔඩිෂන් තිබුණා. ‘අලුත් සර්’ නාට්‍යයේ අධ්‍යක්ෂතුමා වුණේ දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වන සුපුන් රත්නායක මහත්මයා. එතුමා මාව අහම්බෙන් දැනගෙන මට කිව්වා ඔඩිෂන් එකක් තියෙනවා පුළුවන් නම් ඇවිත් බලන්න කියලා. ඔහුගේ දක්ෂතාවය නිසා ම මට ලොකු ආශාවක් තිබුණා ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. ඒ නිසා ම මම එදා දවසේ තිබුණ මගේ ෂූටින් එකක් කැන්සල් කරලා ඒකට ගියා. ‘අලුත් සර්’ නාට්‍යයේ තිර රචක සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මා, එහි නිෂ්පාදකතුමිය වන චේතානි විජේතුංග මහත්මිය සහ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහත්මයා තමයි විනිශ්චය කරන්න හිටියේ. මීට පෙර ඇක්ට් කරලා අත්දැකීම් තිබුණත් ඒ වෙලාවේ නම් පොඩි බයකුත් ඇති වුණා. ඔඩිෂන් එකට 80 පමණ පිරිසක් සහභාගි වෙලා හිටියා. ඒ අතරින් තමා මාව තෝරගෙන තිබුණේ. මගේ දක්ෂතාව පෙන්වලා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්.
අලුත් සර් එක්ක ගෙවන ජීවිතය එහෙම කොහොමද?
ඒක වෙනම ලෝකයක්. සුපුන් අයියත් එක්ක වැඩකරන එක හරි පහසුයි. ඔහු අධ්‍යක්ෂවරයෙක් වගේම වෙලාවට හොඳ ගුරුවරයෙක්, තවත් වෙලාවකට හොඳ මිත්‍රයෙක්. දර්ශන තලයේ ඉන්න හැමකෙනෙක්ම හරිම ආදරණීයයි.
චාරුනී, ටානියාට ගොඩක් සමානද?
චාරුනී හරිම දඩබ්බර අක්කාගේ පොකට් එකෙන් කීයක් හරි ගන්න චරිතයක්. නමුත් සැබෑ ජීවිතයේ මම චාරුනී තරම් දඩබ්බර චරිතයක් නෙමෙයි. හැබැයි පුංචි කාලේ නම් මම ටිකක් දඩබ්බර චරිතයක්. චාරුනීත් ඩාන්සර් කෙනෙක්. මමත් ඩාන්සර් කෙනෙක්.
චාරුනීට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
ගොඩාක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි සමාජ මාධ්‍යවල කමෙන්ට් බැලුවොත් නම් වැඩිපු බැනුම් තමයි තියෙන්නේ. නමුත් මගතොටේදී ලැබෙන ප්‍රතිචාර අනුව නම් ගොඩක් දෙනෙක් චාරුනීට ආදරෙයි කියලත් හිතෙනවා.
ටානියා ළඟ හිටපු ඩාන්සර්ට මොකද වුණේ ?
එයා තවම ඉන්නවා. ඩාන්සින් කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක්. ඩාන්සින් නිසා තමයි මම මේ ගමන ඇවිත් තියෙන්නේ. ඒක මම කවදාවත් නතර කරන්නෙ නැහැ. හැමදේම බැලන්ස් කරගෙන තමයි යන්නේ.
එතකොට මොඩ්ලින්වලින් ඈත්වෙලාද?
ඈත්වුණා කියලත් කියන්න බැහැ. මට එන හැමදේම භාරගන්නේ නැතිව තෝරාබේරාගෙන තමයි මුල ඉඳලා ම වැඩ කළේ. අනික මම නිදහස නැතිවෙන විදිහට වැඩකරන කෙනෙකුත් නෙමෙයි.
මේ දවස්වල කොළඹ 13 පැත්තේ වැඩිපුර යනවා එනවා කියලා ආරංචියි?
ඔව්. ඔව්. කොළඹ 13 කියන්නේ මම රංගනයෙන් දායකවෙන අලුත්ම චිත්‍රපටය. එහි අධ්‍යක්ෂ බුද්ධික ජයරත්න තමයි මට ඒ චිත්‍රපටයට මුලින්ම ආරාධනා කළේ. බුද්ධිනි ජයවර්ධන අක්කා මාර්ගයෙන් තමයි මට ඒ ආරාධනාව ලැබෙන්නේ. මීට කලින් මම රංගනයෙන් දායකවුණු තරු ආදරේ ටෙලිනාට්‍යයේ පිටපත් රචිකාවිය බුද්ධිනී අක්කා. එතකොට මම එයත් එක්ක වැඩකරලා තියෙන හින්දා මගේ හැකියාව මොනවගේද, මම මොනවගේ කෙනෙක්ද කියලා දන්න හින්දයි මාව ඒ නිර්මාණයට නිර්දේශ කරලා තිබුණේ.
පළමු සිනමා අත්දැකීම නේද?
ඔව්. පළමු සිනමා අත්දැකීම. ඒ වගේම කොළඹ 13 මගේ ජීවිතයට මාර සුවිශේෂයි. මොකද, මට එහි රඟපාන්න තිබුණේ කමල් අද්දරආරච්චි කියන සුවිශේෂී රංගධරයා සමගයි. මගේ පළමු සිනමා නිර්මාණය කමල් අද්දරආරච්චි වැනි ප්‍රවීණ රංගධරයෙක් සමග රඟපාන්න ලැබීම මගේ ජීවිතයේ ලබපු ලොකු වාසනාවක්.
බුද්ධික ජයරත්න මේ ආරාධනය අරගෙන එනකොට හිතට මොනවගේ හැඟීමක්ද ආවේ ?
ඒ ඇමැතුම ගැන මට හිතාගන්න බැරි වුණා. බුද්ධික අයියාව මම එහෙම ලොකුවට ආශ්‍රය කරලා තිබුණෙත් නැහැ. ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අපිට නිර්මාණයකට කතා කළොත් සමහරු හිතන්නේ අපේ මොකක් හරි හැඳුනුම්කමක් මත ඒ ආරාධනාව ලැබෙනවා කියලනේ. ඉතිං මෙතැනදී එහෙම එකක් නෙමෙයි. සමහර අවස්ථාවලදී හමුවුණහම ප්‍රවීණ රංගන ශිල්පියෙක් විදිහට ඔහුට තිබෙන ගරුත්වයත් සමග කතාබහ කරලා තියෙනවා ඇරෙන්න වෙන විශේෂ දැනහැඳුනුම්කමක් තිබිලා නැහැ. ඔහු අධ්‍යක්ෂවරයෙක් විදිහට ඒ චරිතයට මාව සුදුසුයි කියලා දැනුන හින්දා තමයි මට ආරාධනාව ලැබුණේ.
සිනමාවට එන්නත් පුංචි කාලේ ඉඳලා හීනයක් එහෙම තිබුණාද?
චිත්‍රපටවල හෝ ටෙලිනාට්‍යවල රඟපානවා කියන හීනය මට පුංචිකාලේ ඉඳලා තිබිලා නැහැ. කොහොමටත් රඟාපන්න හිටපු කෙනෙක් නෙමෙයි. ඩාන්සර් කෙනෙක් විදිහට මම මේ කේෂ්ත්‍රයේ අවුරුදු දහයක් විතර අසංකත් එක්ක වැඩ කරනවා. නමුත් බලාපොරොත්තු නොවුණ වෙලාවක ලැබුණ ආරාධනාවක් අනුව තමයි මම රංගනයට ආවේ. හැබැයි එතැනින් පස්සේ මම අඳුරගත්තා ඩාන්සින්වලට වගේම රංගනයටත් මට හැකියාවක් තියෙනවා කියලා. ඒ දක්ෂතාවය නිසා තමයි මේ ගමන මම ටික ටික ඉදිරියට යන්නේ