පෙනුම දැකලා මානසිකව වැටුණා -සැන්ඩා ලී

gossiplanka image 1
 


මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඩෙල්ෆ් හි නේහාගේ චරිතය නිරූපණය කරනු ලබන ඇය නමින් සැන්ඩා ලී. ඔය අතරේ ඩෙල්ෆ් හි තිරය පිටුපස ඇය සංස්කරණ ශිල්පිනියගේ කාර්යභාරය ද සිදුකරනු ලබනවා. ඉතින් කවුද මේ සැන්ඩා ලී.


සැන්ඩා ලී කියන්නේ ඔබේ ඇත්ත නමද?


නෑ..සඳලී ඉමාෂිකා දෙනෙත්මි ගුණතුංග තමයි මගේ නම. දැන් අවුරුදු හතකට විතර කලින් මම මුහුණු පොතේ ගිණුමක් ආරම්භ කරනකොට මගේ නම විදිහට Zanda lee කියලා පාවිච්චි කළා. ඒ කාලේ මට ඒකට හේතුවක් තිබුණා. මට ඕනෑවුණා මගේ නමින් මට brand එකක් හදාගන්න. කොහොමහරි කාලයක් යද්දී zanda lee කියන නම නොදැනුවත්වම මගේ අනන්‍යතාවයක් වුණා. ගොඩාක් අය මාව අඳුරගත්තේ ඒ නමින්. ඉදිරියටත් මගේ වැඩ කටයුතුවලට මේ නම දිගටම භාවිත කරන්න මම තීරණය කළා.


කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?


කුඩා කාලයේ ඉඳන්ම මගේ ලොකුම ආශාව සහ ඇල්මක් තිබුණේ කලාවට. මම ආස කරපු ගොඩක් දේවල් කලාව හා සම්බන්ධයි. මගේ ක්ෂේත්‍රයේ ආරම්භය සිදුවෙන්නේ මම නාමල් ජයසිංහ අධ්‍යක්ෂවරයා යටතේ ස්කයි ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ සහාය සංස්කරණ ශිල්පිනියක (Assistant Editor) ලෙස සම්බන්ධ වීමෙන්. ඒ වගේම මම එම ආයතනයේ ප්‍රඩක්ශන්ස් වල Costume Designer ලෙසත් ඉගෙන ගනිමින් වැඩ කටයුතු කළා.


ඔය අතරේ තමයි මට ප්‍රවීණ සිනමාවේදී ලලිත් රත්නායක මහතා හරහා රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ. හරිම අහඹු විධියකට එතුමා මාව දැකලා එතුමගේ ඇක්ටින් ෆෝ ද කැමරා පාඨමාලාවේ ළමුන්ගේ වැඩකට කතා කළා. නමුත් මම ඒ වෙනකොට රංගනය හදාරලා තිබුණේ නැහැ. එතැනින් පස්සේ තමයි මට රංගනය ඉගෙනගන්න ආසාව ඇතිවෙන්නේ. පසුව මම එතුමාගේ


එම පාඨමාලාවටම සම්බන්ධවෙලා මුල සිට එතුමා යටතේ රංගනය ඉගෙන ගත්තා. ඒ ලැබූ පුහුණුව සහ අත්දැකීම් එක්ක තමයි මට ලලිත් රත්නායක මහතාගේ ‘ඩෙල්ෆ්‘ නිර්මාණයට රංගනයෙන් වගේම එහි සංස්කරණ ශිල්පිනිය ලෙසත් දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ.


පුංචි කාලේ ඉඳලා හීන මැව්වේ කවුරු වෙන්නද?


ඇත්තට ම මම කිසිම කාලෙක හීන පස්සේ ලොකුවට හඹාගිය කෙනෙක් නෙවෙයි. පුංචි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබුණේ කාලයෙන් කාලයට වෙනස් වෙන අදහස්. මම ආසා කරන දේවල්. මම හදාරන දේවල් වෙනස් වෙද්දී මගේ හීනත් ඒ එක්කම ටිකෙන් ටික වෙනස් වුණා. ඇත්තට ම මගේ ජීවිතයේ දේවල් හඹාගෙන යනවාට වඩා බොහෝ දේවල් මගේ ජීවිතයට නොහිතන මොහොත්වල ලැබුණා කිව්වොත් නිවැරදියි. රංගනයත් මගේ ජීවිතයට සමීප වෙන්නේ එහෙම. මම සංකීර්ණ, විශාල හීන පස්සේ දුවන මනුස්සයෙක් නෙවෙයි.


ඩෙල්ෆ් හි නේහාව හම්බවුණේ කොහොමද?


‘ඩෙල්ෆ්’ නිර්මාණයේ ‘නේහා’ගේ චරිතය මට ලැබෙන්නේ අධ්‍යක්ෂවරයා හරහායි. මගේ බාහිර ස්වරූපය සහ මා තුළ තිබුණු යම් යම් ලක්ෂණ, දක්ෂතා අධ්‍යක්ෂවරයා දකින්න ඇති. ඒ නිසා තමයි එතුමා මට මේ චරිතයට ලබාදෙන්න ඇත්තේ. ඉතින් මම හරිම ආසාවෙන් ඒ ලැබුණු අවස්ථාව භාර ගත්තා.


නේහා වෙනුවෙන් ඔබ මොනවගේ කැපකිරීම් ද සිදුකළේ ?


නේහගේ චරිතය වෙනුවෙන් මම ලොකු කැපකිරීම් කළා කිව්වට වඩා, මට ලැබුණේ අලුත් අත්දැකීම් රාශියක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම නේහා වෙනුවෙන් මට දෙමළ භාෂාව ප්‍රගුණ කරන්න සිදුවුණා. ඒ වගේම, ධනුෂ්ක ගුණවර්ධන අයියා සමග මම කලා අධ්‍යක්ෂණය කළා. ඒ නිසා මේ වැඩ දෙකම එකම මට්ටමින් සමබරව කරගෙන යන්න සිදුවීම ටිකක් අභියෝගාත්මක වුණා. සමහර වෙලාවලට නේහව අමතක වුණා. නමුත්, සැමගේ සහයෝගය ඇතිව මම ඒ වගකීම සාර්ථකව ඉටු කළා. රූගත කිරීම්වලට දින කීපයකට පෙර ම අපි ඩෙල්ෆ්ට් ගියා. එහෙ අය සමග කාලය ගත කරමින් ඔවුන්ගේ ජීවන රටාවට හුරුවුණා.


මම දූපතට ගිය මොහොතේ පටන්ම මම නේහා කියන මානසිකත්වයෙන්ම ඉන්න උත්සහ කළා.‘නේහා’ගේ චරිතය වෙනුවෙන් මට මුහුණ දෙන්න සිදුවුණු ලොකුම අභියෝගය වුණේ ඇයව මගේ මනසින් සහ ආත්මයෙන් නිවැරදිව මවාගැනීමයි. හැබැයි අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම නිසා එය සාර්ථක කරගන්න පුළුවන් වුණා.


ඊළඟ ලොකුම අභියෝගය වුණේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ අතිශය දක්ෂ රංගන ශිල්පීන් පිරිසක් සමග රංගනයෙන් දායකවීමට සිදුවීමයි. විශේෂයෙන්ම ආනන්ද කුමාර උන්නැහේ, කෞශල්‍යා ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සජිත ඇන්තනී, ප්‍රියන්ත සිරිකුමාර, උමා අසේනි, දසුන් පතිරණ සහ ක්ෂේවියර් කනිෂ්ක වැනි පරිණත රංගන ශිල්පීන් සමග එකට රඟපෑම මගේ මුල්ම රංගන අත්දැකීම ලෙස ලොකු අභියෝගයක් වුණා. නමුත් ඒ සියලු දෙනාගෙන්ම ලැබුණු සහයෝගය නිසා මට සාර්ථකව චරිතයට මුහුණ දෙන්න පුළුවන් වුණා.


ඊට අමතරව, රූපගත කිරීම් අතරතුර මම දැඩි ලෙස අසනීප තත්ත්වයකට පත්වුණා. අධික උණ තත්ත්වයක් නිසා දවස් කිහිපයක්ම මට නැඟිටගන්නවත් බැරුව ඩෙල්ෆ් රෝහලේ නතර වී ප්‍රතිකාර ගන්න පවා සිද්ධ වුණා. ඒ නිසා, මම නේහා වෙනුවෙන් හදාගත්තු බාහිර පෙනුමේ යම් යම් වෙනස්වීම් දැක්කම ටිකක් මම මානසිකවත් වැටුණා.


දමිළ කතා කරන්න බැරිද?


ඇත්තටම මට දෙමළ භාෂාව පිළිබඳව යම් දැනුමක් තිබුණා. මට දෙමළ අකුරු හඳුනාගන්නත්, වචන කියවාගන්නත්, හොඳින් පුළුවන්. ඒ වගේම කවුරුන් හෝ දෙමළෙන් යමක් පවසනවිට ඒ වචන සහ අදහස නිවැරදිව තේරුම් ගැනීමේ හැකියාවත් මට තිබුණා. නමුත් මට දෙමළ භාෂාව ඉතා චතුර ලෙස තනිවම කතා කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ‘නේහා’ගේ චරිතයට රංගනයෙන් දායක වෙද්දී මට තිබුණු ඒ බලාගෙන කියැවීමේ සහ වචන තේරුම් ගැනීමේ හැකියාව ලොකු පිටිවහලක් වුණා. මම ඒ දැනුමෙන් උපරිම ප්‍රයෝජන අරගෙන, දෙමළ භාෂා භාවිතය තවදුරටත් පුහුණු වී චරිතයට අවශ්‍ය ස්වාභාවිකත්වය ලබාදෙන්න කටයුතු කළා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post