වේදිකාවේ ගමනට දශක දෙකයි - අනුරාධ මල්ලවාරච්චි

gossiplanka image 1
 


ඔහුගේ වේදිකාවේ ගමනට වසර විස්සයි.එතැනින් නොනැවතී අද වන විට ටෙලි නාට්‍යයට සහ සිනමාවටත් තම දායකත්වය දක්වන අයුරු අපට දැකගන්න පුළුවන්.දශක දෙකක මතක පුංචි කොළයකට ගොනු කරන්න බැහැ. ඉතිං අනුරාධ මල්ලවාරච්චි අපිත් එක්ක කරපු කතාබහක සංක්‍ෂිප්තයක් මේ විදිහට ඔබ වෙතට ගෙන එනවා.


මගේ වේදිකාව සමග ගමනට මේ අවුරුද්දට දශක දෙකක් සපිරෙනව. ඒක තමයි අදටත් මගේ පළමු කාර්යය. මගේ ගමන පටන්ගන්නෙ වේදිකාවෙන්. දැන් මට මාධ්‍ය තුනක් තියෙනව. ඒ වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව. මගේ ජීවිතයේ වඩාත්ම කැමති දේ තමයි රඟපෑම.


මේ දවස්වල තිරගත වන ‘මං හොයන්නෙ ප්‍රේමයක්’, ප්‍රේමණීය, ආදරණීය චිත්‍රපටයක් විදිහට මේ වනවිට ප්‍රේක්‍ෂකයන් වැළඳගනිමින් ඉන්නව. ඒ වගේම පසුගිය කාලෙ සිනමාවේ ඇතිවුණ නව ප්‍රබෝධයත් එක්ක රොමෑන්ටික් සහ ලව් ස්ටෝරිවල හිඟයක් තිබුණා. ඒක පූරණය කරන නිර්මාණයක් හැටියට ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ හඳුන්වා දෙන්නත් පුළුවන්.


අපේ සමාජයේ දුව සහ තාත්තා අතර තියෙන්නෙ හරි අපූරු බැඳීමක්.


ලංකාවේ සමාජයක දූවරුන්ගේ තාත්තලා කියන එක ටිකක් සංකීර්ණයි වගේම විශේෂයි. ඒක විශාල වගකීමක් වගේම අභියෝගයක් කියලත් මට සමහර වෙලාවට හිතිල තියෙනව. ඒ වගේ සිද්ධි දාමයක් මේ චිත්‍රපටයේ චරිතය හරහා නිරූපණය කරන්න තියෙනව. තාත්තලා දුවලගේ ආදරය අපේ සංස්කෘතිය ඇතුළෙත් හරිම විශේෂයි. ඒ නිසාම නිර්මාණ ඇතුළෙත් අපිට වඩාත් උත්කර්ෂයෙන් ඒක පේන්න තියෙනව.


මේ චිත්‍රපටය ඇතුළෙ දකින්න තියෙන තවත් දෙයක් තමයි යොවුන් ප්‍රේමය සහ ඒ හා සමග බැඳුන ජීවිතවලට එන අභියෝග.


සංස්කෘතිකව බැඳුන සීමාවන් අතික්‍රමණය කරල, ඒවා කොහොමද ජය ගන්නෙ, තමන්ට පෞද්ගලිකව තියෙන පුරුදු, ඇබ්බැහිකම් කොහොමද ප්‍රේමය නිසාම මගහැරගන්නෙ සහ යහපත් සමාජයක් වෙනුවෙන් කොහොමද ප්‍රේමය වැදගත් වෙන්නෙ කියන දේත් අපිට මේ හරහා දැකගන්න පුළුවන්.


අධ්‍යක්‍ෂවරයා අනුරාධට ඉතාමත් ළඟ කෙනෙක්. ඒ කොහොමද?


තිළිණ බොරලැස්ස කියන්නෙ මගේ ජීවිතයට මුණගැහුණ විශේෂම අධ්‍යක්‍ෂවරයෙක්. අපි දෙන්නගෙ දැනහැඳුනුම්කමට දැන් වසර කිහිපයක්ම වෙනව. ඒ කාලෙ ඉඳන්ම තිළිණ අයියගෙ ටෙලි නිර්මාණවලට මම දායක වෙලා තියෙනව. ජීවිතේ අසීරුම අවස්ථාවකදි රංගනය අතහරින්න සූදානම් වුණ මට නැවත රඟපාන්න කතාකරන්නෙ තිළිණ බොරලැස්ස. අපි දෙන්නගෙ මේ කෙමෙස්ටි්‍ර එක නිසාම ඔහුගෙ පළමු නිර්මාණයටත් මට ආරාධනා කරනව. ඉතිං කොහොමද බැහැ කියන්නෙ. මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඒ වෙනුවෙන් ලබා දුන්නා.


රංගන ශිල්පියෙක් යම් චරිතයක් කළාම ඒක ඔහුගේ සෑබෑ චරිතය බව හිතන අය අදත් නැතිවාම නෙමෙයි.


මග තොටදි ඇතැම් ප්‍රේක්‍ෂකයන් ප්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි විදිහේ විශේෂණයකිනුත් මට අමතන වෙලාවල් තියෙනව. ඒ තරහකින් නෙමෙයි. මමත් ඉතාම ආදරෙන් ඒක තේරුම් ගන්නව.


‘නටත් අයෙක් සුරා මතින්’ නිර්මාණයට සහ ධනංජයගේ චරිතයට දායක වෙන්න ලැබීම මගේ රංගන ජීවිතයට ඉතාමත් සුවිශේෂයි. මොකද මම කාලයක් තිස්සේ ආදරය කරපු සහ නිර්මාණවලින් දකින්න ආසා කරපු කෙනෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ. ඉතිං ඔහුගෙ මෙහෙයවීම යටතේ වැඩ කරන්න ලැබීම මට අලුත්ම අත්දැකීමක්.


අපි ජීවත් වෙන සමාජය තුළ කවුරුවත් කාටවත් යහපත් දේවල් කරන්න හිතනවාට වඩා කරන්නෙ තමන් තමන්ගේ


යහපත තහවුරු කරගන්න හදනවා අනෙක් අයට අයහපතක් නොවෙන්න. ඒ දියුණු සමාජයක් විදිහට ජීවත් වෙන්න ඕන නිසා. එහෙම නොවෙන්න පරාර්ථකාමී අදහස් වලින් දැන් සමාජය ඉදිරියට යනව බොහොම අඩුයි. ඒ පොදු ලක්‍ෂණය ‘නටත් අයෙක් සුරා මතින්’ තුළත් තියෙනව. ඒ නිසාම වෙන්න ඇති එහි චරිත ඇත්ත ජීවිතය වගේ දැනෙන්නෙ.


අනුරාධට රඟපෑම අතහරින්න හිතුනෙ මේ හේතුව නිසා.


අපිට සිද්ධ වෙන ගොඩක් දේවල් කාලයත් එක්ක අමතක වෙනව. ඒ අතරින් කොරෝනා නිසා සමාජයට ඇතිවුණ විනාශය මගේ ජීවිතයට දැඩිව බලපෑවා.


මගේ ජීවිතයේ වැඩි කාලයක් යොදවල තිබුණෙ කලාව වෙනුවෙන්. නමුත් කොරෝනා නිසා අවුරුදු තුනක පමණ කාලයක් ඒක සම්පූර්ණයෙන්ම ඇනහිටියා. අන්න ඒ කාලයේ තමයි රඟපෑම නවත්තන්න ඕනා කියන හැඟීම මට ආවෙ. ඒ රංගනය ගැන අකමැත්තකින් නෙමෙයි, පොදුවේ හැමෝටම බලපෑ කාරණා ඒ අවස්ථාවේදී මටත් බලපාපු නිසා.


වේදිකාවේ කට්ට, අනුරාධට නොදැණුන හැටි.


වේදිකාව දිහා පිටින් ඉඳන් බලන ගොඩක් දෙනෙක් කියනවනෙ මේක මාර කට්ටක් කන්න වෙන දෙයක්නෙ කියල. නමුත් මට එහෙම දෙයක් හිතිල නැහැ. මොකද මම ඒක කරන්නෙ කැමැත්තෙන්. වේදිකාව වෙනුවෙන් මම නිදිවරපු දවස්, බඩගින්නෙ හිටපු වේල් ගාණ, පයින් ගිය දුර වගේ දේවල් මට ප්‍රශ්නයක් නෙමෙයි. අදටත් මම මට ලැබෙන අවස්ථාවකට මගේ උපරිමය ලබා දෙනව.


ගොඩක් දෙනෙත් මගෙන් අහනව ඊළඟ පියවර අධ්‍යක්‍ෂණයද කියල. නමුත් අධ්‍යක්‍ෂණයට යොමු වෙනව කියන්නෙ මගේ ඊළඟ පියවරක් නෙමෙයි. යම් මොහොතක මට නිර්මාණයක් කරන්න ඕන කියල හිතුනොත් සහ හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අධ්‍යක්‍ෂණය කරයි. එහෙම නැතිව අධ්‍යක්‍ෂවරයෙක් වෙන්න ඕනා කියන වුවමනාවෙන් කුමන හෝ නිර්මාණයක් හොයාගෙන මම අධ්‍යක්‍ෂණය කරන්නෙ නැහැ.


අනුරාධගේ කථිකාචාර්ය භූමිකාව.


වේදිකාව තුළ මම හැම විෂයයක්ම, හැම දේකම උපරිමය කරල තියෙනව. විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරන කාලෙ මේ හැම විෂයයක්ම උගන්වල තියෙනව. ඒ ගැන හොයල තියෙනව.


ඒ වගේම මේ දවස්වල මම විජිත හෙට්ටිගේ ගේ ‘අහිංසක පුංචි ඝාතනයක්’ වේදිකා නාට්‍යයත් එක්ක රට වටා යන්න සූදානමින් ඉන්නව. මේක ෂෝන් පියරේ මාර්ටිනස්ගෙ ඇන් ලිට්ල් ඉනසන් මර්ඩර් කෘතිය ඇසුරින් කරපු පරිවර්තනයක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post