“ මට නෙවෙයි මිනිස්සු බැන්නේ ඒ දිල්හාරට—” එහෙම තමයි එයා මුලින් කිව්වේ. අද එයා කියන්නේ මෙතෙක් රඟපාපු චරිත අතරින් එයා වැඩියෙන්ම කැමති දිල්හාරට කියලා. සිංදු කියන්න ඇවිත් නිළියක් වුණු එයා තමයි සුජානි මධුවන්ති. පුංචි තිරයෙන් රිදී තිරයට මේ වෙනකොටත් පිවිස ඇති සුජානි ළඟදීම “ කොටු ” චිත්‍රපටයෙන් චිත්‍රපටි ප්‍රේක්ෂකයන් හමුවෙනවා. එතෙක් ඇය ගැන අලුත් කතාවයි මේ…
සුජානි මේ දවස්වල කොහොමද?
හොඳින් සතුටින් වැඩ ටික කරගෙන යනවා.
මේ දවස්වල ටෙලිනාට්‍යවල වැඩකටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැද්ද?
මේ දවස්වල දෙරණ නාලිකාවේ විකාශය වන “කොළඹ කට්ටිය” ටෙලිඩ්‍රාමා එකේ වැඩ කරනවා. අලුත් නිර්මාණ දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා සහ ඒ වැඩත් කරගෙන යනවා. ඒවා ළඟදීම විකාශය වෙන්නේ නැහැ.
සංගීත ක්ෂේත්‍රයෙන් කලාවට ආපු ඔබ දැන් රංගන ක්ෂේත්‍රයෙත් වැඩ කරගෙන යනවා. මොකද හිතෙන්නෙ ඒ ගැන ?
ඔව්. ඇත්තටම ඒක හරි අහම්බයක්. මොකද මං කවදාවත් රඟපාන්න හිටපු කෙනෙක් නෙවෙයි. ඒ වුණාට දැන් මම රංගන කටයුතුත් කරගෙන යනවා. කියන්න තියෙන්නේ හිතන දේ වෙන්නෑ, වෙන දේ හිතාගන්න බෑ කියල තමයි. කොහොම වුණත් දැන් මම මේ රංගන ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යන්නේ හරිම ආසාවෙන්, සතුටින්. ඒකෙන් ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා.
ඔබේ මේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?මගේ අම්මගෙන් මට ලොකු සපෝට් එකක් ලැබෙනවා. ලොකුම දේ තමයි එයා මාව ගොඩක් විශ්වාස කරනවා. එයා මට හොඳ නරක කියලා දීලා තියෙනවා. ඒ නිසා එයා විශ්වාස කරනවා මම හරි විදියට ඉන්න කෙනෙක් කියලා. ඒක තමයි මට ලැබෙන ලොකුම සපෝට් එක. එයා මං ගැන නිතර හොයලා බලනවා. මොකද එයාට ඉන්නේ මම විතරයි, මට ඉන්නෙත් එයා විතරයි.ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය චරිත අතරින් ඔබ වඩාත්ම කැමතිම චරිතය මොකද්ද?මට දැනට ලැබුණු සහ රඟපාපු චරිතවලින් ආසම “පිරිමි ළමයි“ කියන ටෙලිනාට්‍යයේ “ දිල්හාරා ” කියන චරිතයට.පුංචි තිරයෙන් රිදී තිරයට යන්න අදහසක් තියෙනවද?ඇත්තටම මම ආසයි. ඕනම නළුවෙක් ඕනම නිළියක් පුංචි තිරයෙන් පස්සේ රිදී තිරයට යන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඉතිං එහෙම අවස්ථාවක් මටත් ලැබුණා. අසංක සායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන කොටු සිනමා නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොට එහි රූගත කිරීම් ඉවරයි. දැනට මං සම්බන්ධ වුණු සිනමා නිර්මාණයක් විදියට එන්න තියෙන්නේ මේ කොටු චිත්‍රපටය තමයි.