එදා රෑ’ චිත්‍රපටය මේ දවස්වල ඉතාමත් සාර්ථකව තිරගත වෙනව-නෙත්මි රොෂෙල්

gossiplanka image 1
ජනප්‍රිය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රැගත් ‘එදා රෑ’, මේ දවස්වල සිනමා ශාලා හවුස් ෆුල් වෙමින් සාර්ථකව තිරගත වෙනවා.එහි ස්වර්ණා මල්ලවාරච්චිගේ චරිතයට පණ පොවන ඇය නෙත්මි රොෂෙල්. ඉතිං රොෂෙල් එක්ක කතාබහ නොකර කොහොමද.


නෙත්මි, ‘එදා රෑ’ ගමන සුබයි?


ඔව්, ‘එදා රෑ’ චිත්‍රපටය මේ දවස්වල ඉතාමත් සාර්ථකව තිරගත වෙනව. ඒ වගේම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර මේ වනවිට ලැබෙමින් පවතිනවා. ටේ්‍රලර් එක බලල ගොඩක් දෙනෙක් ඇහුවා කවදද ෆිල්ම් එක බලන්න පුළුවන් වෙන්නෙ කියල. දැන් ඔන්න ෆිල්ම් එක රිලීස් වෙලා තියෙනව. හැමෝටම බලන්න පුළුවන්.


ඔබට ස්වර්ණා මල්ලවආරච්චි මුණගැසෙන්නෙ කොහොමද?


ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය මට මුලින්ම මුණගැහුනෙ ‘එදා රෑ’ මුහුරත් උළෙලෙදි. එදා මම ඇයත් එක්ක චරිතයට අවශ්‍ය තොරතුරු කතාබහ කළා. ඒ කතාබහ ඇයගේ චරිතයට හානියක් නොවෙන විදිහට සිනමා නිර්මාණය තුළ නැවත ගොඩනගන්න මට විශාල පිටිවහලක් වුණා.


චිත්‍රපටයේ මංගල දර්ශනය දවසෙ ඇයගේ ප්‍රතිචාරය මොන වගේද?


ස්වර්ණා මහත්මිය ‘එදා රෑ’ මංගල දර්ශනය වෙනුවෙන්ම ලංකාවට ඇවිත් තිබුණා. චිත්‍රපටය නරඹල ඇය ගොඩක් සංවේදී වුණා වගේම මාව මුණගැහිල ඇය කිව්වෙ මට අතීතයේ හැමදෙයක්ම ආයෙත් මතක් වුණා කියල. ඒ වගේම ඇයගේ චරිතය මම ඉතාම හොඳින් ප්‍රතිනිර්මාණය කරල තියෙනව කියලත් කිව්වා.


‘එදා රෑ’ ඔබේ රංගන ජීවිතයට මොන වගේ අත්දැකීමක්ද?


මගේ අනෙක් සිනමා නිර්මාණත් එක්ක ගත්තාම එදා රෑ කියන්නෙ මට වෙනස්ම අත්දැකීමක්. ඇත්තටම අපිත් ඒ කාලෙ ජීවත් වුණා වගේ. මගේ චරිතය ගත්තාම පාසල් යන කාලෙන් පටන්ගෙන අම්මා කෙනෙක් වෙලා, මුහුකුරා ගිය චරිතයක් දක්වා දිවෙනව. අරුණ ජයවර්ධන අයියගෙ අධ්‍යක්‍ෂණයෙන්, සුනෙත් මාලිංග අයියගෙ පිටපත් රචනයෙන් හැඩ වුණ ‘එදා රෑ’ වැඩකටයුතු අපි හැමෝම එකතු වෙලා ලස්සනට අවසන් කරල ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කළා.


නෙත්මි වැඩිම වේලාවක් ස්ක්‍රීන් ශෙයාර් කරගන්නෙ රොෂාන් එක්ක?


රොෂාන් රවීන්ද්‍ර කියන්නෙ මම වැඩ කරන්න ආසාවෙන් හිටපු රංගන ශිල්පියෙක්. මේ නිර්මාණයේදි මට වැඩිපුර වෙලාවක් ස්ක්‍රීන් එක බෙදාගන්න ලැබුණෙ ඔහුත් එක්ක. නමුත් මම ඒ කිසිම වෙලාවක රොෂාන් අයියව දැක්කෙ නැහැ. මට දැණුනෙ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා මගෙත් එක්ක ඉන්නව කියල.


ඔබ මිල්ටන්ගේ රසිකාවියක්ද?


අපේ ජෙනරේෂන් එක කියන්නෙ මිල්ටන් මහත්මයාගෙ සින්දු එහෙන් මෙහෙන් ඇහුණ අය. නමුත් අපි අද හරි ආසාවෙන් ඒවා අහනවා. ඒත් එක්කම හිතෙන්නෙ ඇයි අපිට මේ සිංදු ලයිව් අහන්න වාසනාවක් නැති වුණේ, ඇයි එතුමා මෙච්චර ඉක්මනට අපිව දාල ගියේ කියල.


මේ චරිතය ඔබ දකින්නෙ මොන විදිහටද?


මිල්ටන් මහත්මයාගේ ජීවිත කතාවෙන් අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙනව. තමන්ගෙ හැකියාවෙන් ලෝකයක් ආදරය කරන තැනට ආවෙ කොහොමද කියන දේ හැමෝටම දැනගන්න වටිනා කතාවක්.


‘එදා රෑ’ වෙනුවෙන් සූදානම මොන වගේද?


මේක වෙනම යුගයක කතාවක්. ඒ යුගය, ඒ මිනිසුන් නැවත ප්‍රතිනිර්මාණයක් තමයි මේ වෙන්නෙ. ඉතිං එතැනදි අපේ ඇඳුමෙ ඉඳන් හැම දෙයක් ගැනම අපි සැලකිලිමත් වෙන්න ඕනා. පොඩි දෙයක් හරි එහා මෙහා වුණොත් මුළු නිර්මාණයටම ඒක බලපාන්න පුළුවන්. අපි ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියල විශ්වාස කරනව.


රොෂාන් ඔබට හොඳ කමෙන්ට් එකක් දුන්නා?


අපි කලින් ෆිල්ම් එක බලල තිබුණත් රොෂාන් අයිය බැලුවෙ මංගල දර්ශනය දවසෙ. ෆිල්ම් එක ඉවරවෙලා එළියට ඇවිත් රොෂාන් අයිය කිව්වා, නංගී මාරයි, ඔයා ලස්සනට වැඩේ කරල තියෙනව කියල. ඒක මට ලොකු සතුටක්.


මේ චරිතය ඔබට විශේෂයි?


මට ලැබුණෙ මිල්ටන් මහත්මයාගේ බිරිඳ වන ස්වර්ණා මල්ලවාරච්චිගේ චරිතය. එහි පාසල් කාලය, මවක් සහ මුහුකුරා ගිය ගැහැනියක් යන අවධි තුනම නියෝජනය කරන්න සිදු වුණා. මම එහෙම චරිතයක් කළේ පළමු වතාවට. ඒක හිතන තරම්ම සරල නැහැ. නමුත් හොඳ අධ්‍යක්‍ෂණයක් යටතේ චරිතය සාර්ථකව කරගන්න ලැබුණා කියල මම විශ්වාස කරනව.


ජීවිත කතාවක් සිනමාවට ගෙන එන එකම යම් අභියෝගයක්. ගොඩක් වෙලාවට ඒ ඒ චරිත ප්‍රේක්‍ෂකයා මොන විදිහට භාරගනීවිද කියන අවිනිශ්චිතතාව මතු වෙනව. නමුත් අපිට මේ නිර්මාණයේදි එහෙම බයක් තිබුණෙ නැහැ. සාර්ථක තිර පිටපතක් සහ සාර්ථක අධ්‍යක්‍ෂණයක් එක්ක අපි හැමදෙනාම ඒ ඒ චරිතවලට හානියක් නොවෙන විදිහට කටුයුතු කළා කියන විශ්වාසය තිබුණා. ඒ නිසා තිරගත වීමේදී බයක් දැණුනෙ නැහැ.


නෙත්මිට දැන් සිනමාව අලුත් තැනක් නෙමෙයි?


සිනමාව කියන්නෙ ඕනෑම රංගන ශිල්පියකුගෙ හීනයක්. මට ඒ අවස්ථාව උදා වුණේ රංගනයට ආපු මුල් කාලෙදිම වගේ. දැනට මම චිත්‍රපට අටකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනව. එයින් හතරක් දැනට තිරගත වෙලා තියෙනව.


මේ දවස්වල මොකද වෙන්නෙ?


මේ දවස්වල අලුත් චිත්‍රපටයක සහ ටෙලි නාට්‍යයක වැඩ කරගෙන යනව. ඒ වගේම ටෙලි නාට්‍යයක් විකාශය වෙනව හිරු ටීවී නාළිකාවේ. ඊට අමතරව ‘එදා රෑ’ ප්‍රමෝෂන් වැඩවලටත් එකතු වෙනව.මහේෂ් එදිරිසිංහඡායාරූප – ලක්මාල් සිංහාරගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post