චන්දික නානායක්කාර නම ඔබට නුහුරු නොවේ. ඔහුටම අනන්‍ය නෙතු සඟල අමතකද නොවේ. කලක් ඔහු පුංචි තිරයේ ජනප්‍රියම පෙම්වතාය. අද වනවිට ඔහු පුංචි තිරයේ ආදරණීයම තාත්තාය. පෙම්වතා ලෙසින් විඳි අසීමිත ප්‍රේක්ෂක ආදරයට වැඩි ආදරයක් ඔහු අද තාත්තා ලෙසින් ලබයි. හැකියාව ඇත්නම් කාලයේ තාලයට පැවැත්ම තහවුරු වන බවට හොඳම නිදසුන ඔහුය. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මල් බිඟුන්’ ටෙලි නිර්මාණයේ දුරේෂ් මල්වත්ත සමාජයේ විශාල පෙරළියක් කරන තවත් තාත්තා කෙනෙකි. ‘රොන් සොයා‘ හි නාලක සර්ද තාරුණ්‍යයේ හදවත් සියුම්ව ස්පර්ශ කරමින් පිය පුතු සෙනෙහසට අලුත්ම අර්ථකථනයක් සපයන්නේය. අද අපේ කතාබහ පුංචි තිරයේ තාත්තා ලෙසින් අසීමිත ප්‍රේක්ෂක ආදරයක් විඳින ඔහු සමඟිනි.
මේ දිනවල පුංචි තිරයේ ජනප්‍රියම, ආදරණීය තාත්තා ඔබ. ඒ ගැන මොකද හිතෙන්නේ?
මේ දිනවල ‘රොන් සොයා’, ‘මල් බිඟුන්’, ‘නීල සමනලී’ සහ ‘අහංකාර ආදරේ’ කියන එකිනෙකට වෙනස් ටෙලි නිර්මාණ හතරේම තාත්තා වෙලා ඉන්නවා. ඒ අතරින් ‘රොන් සොයා’ සහ ‘මල් බිඟුන්’ ටෙලි නිර්මාණ දෙක ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳගෙන තියෙනවා.
දුරේෂ් මල්වත්ත වගේම නාලක සර් කියන්නේ ඔබේ ජීවිතය වෙනස් කළ චරිත දෙකක්. ඒ චරිත මේ තරම් ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද?
අද සමාජයේ කතාබහට ලක්නොවන, දකින්න නොලැබෙන නමුත් අපි ආසා කරන විදිහේ තාත්තා කෙනෙක් වීම තමයි දුරේෂ්ගේ විශේෂත්වය. අතීත සමාජයේ හිටිය තාත්තා තමයි ඔය නැවත ප්‍රතිනිර්මාණය වෙලා තියෙන්නේ. අපේ ගම්වල තාත්තලා බොහොම නිවී සැනසිල්ලේ තීරණ ගත්ත අය. මහා ලොකු ගැටලුවක් නොවෙන්න හැමදේ දිහාම උපේක්ෂාසහගතව බලන්න පුළුවන් තාත්තලා එදා සමාජයේ හිටියා. ඒක අපේ සංස්කෘතියෙන්, ආගමෙන් ඇතිවුණු හික්මීම වෙන්නත් ඇති. අපේ තාත්තලා වුණත් තීරණ ගත්තේ කලබල නොවී, දුරදිග බලලා හරිම විවේක බුද්ධියෙන්. අද ඉන්න පරම්පරාවට ඒ වගේ තාත්තලා ඉන්නවද කියන එක නම් සැකයි.
ඒකට හේතුව මේ කලබලකාරී කාර්යබහුල සමාජය වෙන්න ඇති. ඕනෙම තාත්ත කෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ කුටුම්භය රකින්න. හරිම වෙහෙසකර, කලබලකාරී පරිසරයක් තුළ තරගකාරිත්වයකින් යුතුව යන ගමනක ඔය කියන තාත්තා නැතිවී අතුරුදන් වෙමින් යන කාලයක ඒ තාත්තාව ප්‍රතිනිර්මාණය වීම තුළින් තමයි ඔය කියන රොන් සොයාහි තාත්තා නාලක සර් සහ මල් බිඟුන්හි තාත්තා දුරේෂ් මල්වත්ත මිනිස්සුන්ගේ හදවත් තුළට ඇතුළු වෙන්නේ.
මේ තාත්තලා දෙන්නා මේ තරම්ම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න විශේෂ හේතුවක් තිබුණද?
සමහර දේවල් තියෙනවා අපි කොතරම් ආස වුණත් ඒවා අපිට ලැබෙන්නෑ. සැබෑ ජීවිතේදී අපට නැති වුණත් කොහේදි හරි අපිට ඒවා දකින්න ලැබෙනවා නම් අපි හරි ආසයි. සමහර විට ඒ සැබෑ ජීවිතයේදී නොවෙන්න පුළුවන්. අපිට කරගන්න බැරි, ලබාගන්න බැරි දේවල් හීන ලෝකවලදී දැකලා සතුටු වෙන්නේ. අපි කියන්නේ ක්‍රිෂ් එකක් කියලා. අන්න ඒක තමයි ඔය කියන තාත්තලා ඔය තරම් ජනප්‍රිය වෙන්න හේතුව. ඊට අමතරව ‘අහංකාර ආදරේ’ තාත්තා මේ දෙන්නටම වඩා වෙනස්. ඒ වගේම ‘නීල සමනලී’ ටෙලි නිර්මාණයේ තාත්තා නීතිඥයෙක්.
රොන් සොයාහි නාලක සර් පුතා එක්ක හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් ගත කරන කෙනෙක්. නමුත් දුරේෂ් වගකීම් කන්දක් හිසේ දරාගෙන ඉන්න ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. නමුත් ඔය දෙන්නටම දරුවන්ගේ ආදරේ ගොඩක් ලැබෙනවා නේද?
ගොඩක් දරුවන් මේ නාට්‍ය බලන්නේ සමාජ මාධ්‍ය හරහා. ඒවා බලලා ඔවුන් දක්වන ප්‍රතිචාර දිහා බැලුවහම ඇත්තටම මේ වගේ තාත්තලට දරුවන් කොතරම් කැමැතිද කියලා හිතෙනවා. මේ නාට්‍ය දෙකේම තාත්තලට එක හා සමාන ප්‍රතිචාර ලැබෙනවා. “අනේ මටත් මේ වගේ තාත්තා කෙනෙක් හිටියනම්”, “මේ වගේ තාත්තා කෙනෙක් කීයක් වෙයිද”, “අනේ අපිටත් මේ වගේ තාත්තා කෙනෙක් හිටියානම්”, “මගේ තාත්තාත් මෙහෙම වුණානම්”, “ලබන ආත්මේ මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න මං පින් කරනවා” මේ වගේ කමෙන්ට්ස් තමයි ගොඩක්ම තියෙන්නේ. දරුවන්ගේ හිත් ඒ වගේ තැනකට එනවා කියන්නේ දරුවන්ගේ ලෝකයේ ආදරේ කරන්නේ එහෙම තාත්තලට නේද? එහෙම තාත්තා කෙනෙක් ලැබුණා නම් කොතරම් හොඳද කියන එකනේ ඔවුන් කියන්නේ.
අද ආදරණීයම තාත්තා විදිහට ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නේ ඉස්සර හිටිය නපුරු තාත්තාම නේද?
මීට අවුරුදු දොළහකට කලින් පළමු වතාවට මම තාත්තාගේ චරිතය රඟපාන්නේ ‘අමා’ ටෙලි නාට්‍යයේ. ඒ සැර තාත්තා කෙනෙක්. ‘ඉතින් ඊට පස්සේ’ ටෙලි නාට්‍යයේ කොටස් පන්සිය ගාණක පෙම්වතාගේ චරිතය රඟපාලා පිට පිට දෙපාරක්ම ජනප්‍රියම නළුවා විදිහට සම්මාන ලබලා හිටිද්දි තමයි ඒ චරිතය ලැබෙන්නේ. නමුත් මම ඒ අභියෝගය භාරගත්තා. ඒ නාට්‍යයේ පස් විදිහක තාත්තලා පස් දෙනෙක් හිටියා. මම හරිම සැරයි. තව තාත්තා කෙනෙක් මැරයෙක්. තවත් තාත්තා කෙනෙක් හිටියා විශ්‍රාමික ගුරුවරයෙක්. ඔහු ඕනෙම ප්‍රශ්නෙකදි කියන්නේ “ඔය කියන කතාවෙත් ඇත්තක් තියෙනවා අපි පොඩ්ඩක් නිවී සැනසිල්ලේ හිතලා බලමුකෝ” කියලා. අනෙක් දෙන්නත් වෙනස්. නමුත් මේ හැමෝම තාත්තලා. ඔවුන් හැමෝම තමන්ගේ පවුල ආරක්ෂා කිරීමේ අරගලයක යෙදෙන්නේ. සැර වුණත්, මිනී මැරුවත් ඔවුන් කරන්නේ තමන්ගේ පවුල වෙනුවෙන්. එක් එක් තාත්තලා ගන්න ක්‍රියාමාර්ග, ක්‍රමවේද වෙනස් වුණාට සමාජය මොනවා කිව්වත් ඔවුන්ගේ අවසන් පරමාර්ථය තමන්ගේ පවුල නඩත්තු කිරීම. එක එක තාත්තලාගේ ආදරය අපි දකින විදිහ අනුවයි අර්ථකථන දෙන්නේ. ඒ කොහොම වුණත් සියලුම තාත්තලාගේ එකම පරමාර්ථය තම දරුවන් රැකීම.
අවසානයේ ඒ කතාව හරහා සමාජයට හොඳ පණිවිඩයක් දුන්නා.
‘රොන් සොයා’හි තාත්තා පුතාට යාළුවෙක් වගේ සමීප වෙලා ඉන්නවා. ඒ අත්දැකීම මොන වගේද දැනෙන්නේ?
නාලක සර් ආදේශ්ට සමීප වෙලා ඉන්නේ හරියට යාළුවෙක් වගේ. පුතා එක්ක විහිළුවක් කරලත් විනෝදයක් ලබනවා. තමනුත් ඒ වගේ කාලයක් ගත කළ බව අද ගොඩක් තාත්තලාට අමතක වෙලා. එහෙම අමතක නොවුණු තාත්තලත් අද සමාජයේ ඉන්නවා මං දැකලා තියෙනවා. අද කාලේ තාත්තලා හිතන්නේ තරුණ කාලේ තමන් අතින් වුණු වැරදි පුතා අතින් නොවිය යුතුයි කියලා. එතැනදි තමයි ඔය වගේ ගැටලු මතුවෙන්නේ. දරුවාගේ තේරීම, ඔහු කරන දේ හරි එයාට ඒකට ඉඩ දිය යුතුයි කියලා හිතන, තමන්ගේ දරුවා වැරදි නොකරයි කියන තැන ඉන්න තාත්තලාත් ඉන්නවා. සැබෑ ජීවිතේදී මගේ තාත්තාත් හිතුවේ එහෙම. මත්ද්‍රව්‍ය, මත් කුඩු හොඳටම ව්‍යාප්ත වෙලා තිබුණු කාලෙක තමයි මම කොළඹට එන්නේ. නමුත් අපේ තාත්තට ලොකු විශ්වාසයක් තිබුණා මෙයා මේක කරන එකක් නෑ කියලා. රොන් සොයාහි ආදේශ් කවදාවත් වැරදි දෙයක් කරන එකක් නෑ කියලා ආදේශ්ගේ තාත්තා අම්මට කියන තැනක් තියෙනවා. ආදේශ් හසරැලිට උගන්වලා තමන්ගේ තත්ත්වයට අරගෙන තමයි විවාහයකට යන්නේ කියන විශ්වාසය ඒ තාත්තා තුළ ගොඩනැඟිලා තියෙනවා. දරුවා වැරැදි මාර්ගයක යන එකක් නෑ. ඔහු තෝරාගන්නේ හරි මාර්ගය කියන විශ්වාසය ඒ තාත්තට තියෙනවා. තමන්ගේ පුතා කවදාහරි සියල්ලන්ම සතුටුවන තීරණයක් ගනීවී කියලා ඔහු හිතනවා. එහෙම තාත්තාලා ඉන්නවා. ඒ තාත්තටයි පුතාටයි වෙනමම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා.
ඉවසීම කියන්නෙම නිහඬ පිළිතුරක්. හැම තාත්තා කෙනකුටම දුරේෂ්ගේ ඉවසීම තිබුණා නම් අද සමාජයේත් බොහෝ ගැටලු මතුවෙන තැනදිම විසඳෙන්න තිබුණා නේද?
ඇත්තටම ඔව්. ‘මල් බිඟුන්’හි අමාගීගේ ගැටලුවේදී වුණත් දුරේෂ් හිතන්නේ, අමාගී අවසානයේ විවාහ වෙන්නේ දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක නම් තමන් කොතරම් ආදරෙන් තුරුලු කරගෙන හැදුව චූටි දුව වුණත් ඒක එයාගේ දෛවය, ඒක තමයි වෙන්න තිබුණේ කියලා. දුරේෂ් ඒක වළක්වන්න ගියා නම් එතැන තවත් මහා ලොකු විනාශයක් වෙන්න තිබුණා. අද සමාජයේ ඔහොම දෙයක් වුණානම් ඒ ගෙවල් දෙකේ උදවිය මේ වෙද්දි ගහ මරාගෙන. නමුත් දුරේෂ්ගේ ඉවසීමෙන් වෙන්නේ ඒ ගෙවල් දෙකම නිවෙන එක. ගොඩක් ප්‍රතිචාරවල තියෙන්නේ දුරේෂ් නිසා ගොඩක් දෙනෙක් අඬනවා කියලා. මම නිසා මිනිස්සු අඬනවා නම් ඇයි මං මේ චරිතය කරන්නේ කියල හිතුණු අවස්ථාත් තිබුණා. අද සමාජයේ තාත්තලාටත් දුරේෂ්ට වගේ ඉවසීමෙන් හිතන්න පුළුවන් වුණා නම් ගොඩක් බැඳීම් ආරක්ෂා වේවි කියලයි මට හිතෙන්නේ.
අතීතයේ පැවැති සාමකාමී ජීවන රටාව මල් බිඟුන් හරහා ජීවමාන කරනවා කියන්නත් පුළුවන් නේද?
අද මල් බිඟුන් ගැන ලංකාවම කතා වෙනවා. කලා නිර්මාණයක් තුළින් ආනන්දයෙන් ප්‍රඥාවට යනවා කියලා කිව්වට ඒක බොහෝ දුරට සිදුවුණේ නෑ. බොහෝ නිර්මාණවල දකින්නේ කෙල්ල තරහ වුණු ගමන් එක්කෝ පිහියෙන් අනිනවා. නැත්නම් වෙඩි තියනවා. මම කියන්නේ එහෙම නෙවෙයි මෙහෙමත් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියන එකයි අපි සමාජගත කළ යුත්තේ. මල් බිඟුන් ගංගා ශයිනිගේ නවකතාවක් ඇසුරින් කළ ටෙලි නිර්මාණයක්. අතීතයේ ප්‍රේමය විරහව වුණත් ගීතයකින්, ටෙලි නිර්මාණයකින් හරිම සුන්දරව විඳගත්තා. ඒ වගේම කරදරයක් ව්‍යසනයක් ඇති වුණු වෙලාවකදී එකිනෙකාට උදවු කරගත්තා, එකිනෙකා එකතුවෙලා හේනේ කුඹුරේ වැඩකරගත්තා වගේම තරහමරහක් තිබුණා නම් සිංහල අලුත් අවුරුද්දට බුලත් අතක් අරන් ගිහින් ඒවා අමතක කළා. අන්න ඒ සමාජය තමයි මේ තාත්තලා හරහා නැවත දකින්නේ. අදටත් මිනිස්සු කැමැතියි ඒ සමාජයට. ඒ නිසාම ඔවුන් එය අසීමිතව වැලඳගෙන තියෙනවා.
මේ වෙද්දි මල් බිඟුන් වගේම රොන් සොයාත් පුංචි තිරයේ ලොකු පෙරළියක් කරමින් තියෙනවා නේද?
මේ වෙද්දි යූටියුබ් හරහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලි නිර්මාණ අතරින් වැඩිම දෙනෙක් නරඹන ටෙලි නිර්මාණය බවට පත්වෙලා තියෙන්නෙත් මල් බිඟුන්. බස් එකක කෝච්චියක ගියත් කාර්යාලයේ විවේකයක් ලබන මොහොතක් වුණත් මල් බිඟුන් නරඹන පිරිසක් ඉන්නවා.
ඒ වගේම රොන් සොයා ටෙලි නාට්‍යයේ තාත්තටයි පුතාටයි වෙනමම ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තියෙනවා. චතුරංග කොඩිතුවක්කු කියන්නෙත් ගොඩක් දක්ෂ රංගන ශිල්පියෙක්. පහුගිය දවස්වල ජනප්‍රියම නළුවා බවටත් පත්වුණා. රොන් සොයා පිටපත ප්‍රමෝද්‍යා වන්නිආරච්චි කියන තරුණ ලේඛිකාවගේ. ඇය රචනා කරන එක තමයි අපි රඟපාන්නේ. පහුගිය දවසක ඇය මට හමුවුණු මොහොතක මං ඇහුවා කොහොමද ඔයා මේ විදිහට ලියන්නේ කියලත්. ඇය කිව්වේ ඇයටත් ඒ වගේ අත්දැකීම් තියෙනවා ඇයගේ තාත්තත් ඒ වගේ හරිම විනෝදයෙන් සැහැල්ලුවෙන් ඔවුන් එක්ක හැසිරුණා කියලා.
ඔහොම ගිහින් චන්දික දැන් තාත්තාගේ චරිතයටම කොටු වෙයිද?
අමා ටෙලි නිර්මාණයේ තාත්තාගේ ඉඳන් මේ වෙනකල් තාත්තාගේ චරිත රැසක් කරලා තියෙනවා. දැන් නම් වෙන දෙයක් නැති තරමටම පුංචි තිරයේ තාත්තාම වෙලා. බොහෝදුරට ආරාධනා ලැබෙන්නෙත් තාත්තාටමයි. තාත්තා හරහා සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න ලැබීම ගැන සතුටුයි. රටක් සමාජයක් බලාපොරොත්තු වන තාත්තා කෙනෙක් වෙන්න ලැබීම මගේත් භාග්‍යයක්.