වසර හයක් මුළුල්ලේ ‘ඉස්කෝලේ’ ටෙලි නිර්මාණයේ රන්දිකගේ භූමිකාවට පණ පොවමින් තම කුලුඳුල් ටෙලි අත්දැකීම ලැබූ ධනුෂ්ක සම්පත් මේ දිනවල ඊට හාත්පසින්ම වෙනස් භූමිකාවකින් ඔබ හමුවට එයි. ‘එහෙව් හිතක ආදරයක්’ ඔහුගේ අලුත්ම ටෙලි අත්දැකීමයි. බොහෝ දෙනා මෙතෙක් නොදැන සිටි ඔහු සතු මාෂල් ආර්ට් කලාව යොදාගනිමින් හිතහොඳ චණ්ඩියකුගේ භූමිකාවක් රඟදක්වන ධනුෂ්ක තම අලුත්ම ටෙලි අත්දැකීම මෙසේ අප හා බෙදාගත්තේය.
‘එහෙව් හිතක ආදරයක්’ තමන්ට වෙනස්ම අත්දැකීමක් වූ බව පැවසූ ධනුෂ්ක එය සිය සැඟවුණු කුසලතාවක් එළිදැක්වීමට ලැබුණු අවස්ථාවක් බවද පැවසීය.
“ඉස්කෝලේ ටෙලි නිර්මාණය විකාශය වන අතරතුරේම දෙරණ නාළිකාවේම විකාශය වන තවත් අලුත් ටෙලි නිර්මාණයකට දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. ‘එහෙව් හිතක ආදරයක්’ සාලින්ද රත්නායකගේ අධ්‍යක්ෂණයක්. ගයනි අශිංසලාගේ තිරපිටපතක්. රන්දිකට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. ආදර කතාවක් ඇතුළේ මං ඉගෙන ගත්ත මාෂල් ආර්ට් කලාවත් යොදාගන්න ලැබුණු අවස්ථාවක් නිසා ඒක මට ගොඩක් සුවිශේෂී අත්දැකීමක් වුණා. චමීර කියන්නේ චණ්ඩි චරිතයක් වුණත් ඔහු චණ්ඩිකම යොදාගන්නේ මැරයෙක් විදිහට නෙවෙයි. සුහද එහෙම නැත්නම් හිතහොඳ චණ්ඩිකමක්. අසාධාරණයට අකටයුත්තට විරුද්ධව විතරයි ඔහු ඒ බලය පාවිච්චි කරන්නේ. හරිම ආදරණීය චරිතයක්. තමන්ගේ පෙම්වතිය ආරක්ෂා කරන, ගමේ හැමෝටම හිතැති චරිතයක්. චමීරට මේ දිනවල ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.”
ගැහැනු ළමයි චණ්ඩිකමට කවදත් අකැමැතියි. ආශිද එසේය. නමුදු චමීර ඇය හිතන තරමේ චණ්ඩියකු නොවන බව පැහැදිලිය.
“චමීර ආදරය කරන්නේ ආශිට. ආශිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ශෙරංගි නටාෂා. ආශිට චමීර හමුවන හැම අවස්ථාවකදිම මොකක්ම හරි රණ්ඩුවක්. ආශිගෙන් බැණුම් අහගන්නමයි වෙන්නේ. චමීර ඇයට කොතරම් කැමති වුණත් චමීරගේ මේ චණ්ඩිකමට නම් ඇය කැමතිම නැහැ. මාධව විජේසිංහ, අභිලාෂි සන්තුෂ්කි, අංජලී ලියනගේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මාධවගෙන් ලැබුණු සහයත් අමතක කරන්න බැහැ.“
ධනුෂ්ක මාෂල් ආර්ට් කලාව හදාරා ඇති බව බොහෝදෙනකු නොදැන සිටි කරුණකි.
“චමීරගේ භූමිකාවේදී මට ගොඩක්ම තියෙන්නේ සටන් කරන්න. මම මාෂල් ආර්ට් හදාරලා තියෙනවා. නමුත් මෙතෙක් කල් මට ඒ හැකියාව යොදාගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. චමීර මට ඒ අවස්ථාව ලබාදුන්නා. මුල්ම කොටස්වලදී අධ්‍යක්ෂ සාලින්ද රත්නායක සමඟ අපිම සටන් ජවනිකා ටික ෂූට් කළා. අපි අපිම ඒ කොරියොග්‍රැපි හදාගත්තා. විකාශයේදී ඒවා හරි ලස්සනට තිබුණා. නමුත් ඉදිරියේදී සටන් අධ්‍යක්ෂවරයෙක් යොදාගන්න අදහස් කරනවා. ‘එහෙව් හිතක ආදරයක්‘ පටන් ගන්නෙම රණ්ඩුවකින්. සටන් කරද්දී ටිකක් අපහසුතාවලට ලක්වුණා. මගෙන් ගුටි කාපු අය වගේම මටත් වැදුණ අවස්ථා තිබුණා.“
රන්දිකට වඩා චමීර තම රංගන දිවියේ සැබෑම වෙනසක් ඇති කළ චරිතයක් බව ධනුෂ්ක පැවසුවේය.
“චමීර රන්දිකගෙන් පැහැදිලිව වෙනස් කරගන්න අපට ඕන වුණා. තිරපිටපත ලැබුණට පස්සේ මමම පොඩ්ඩක් පුහුණු වෙලා කතාකරන විදිහ එහෙම වෙනස් කරගත්තා. ඊට පස්සේ මම ඩිරෙක්ටර් එක්ක කතා කළා. ඔහුත් කිව්වේ මට මෙන්න මේ වගේ වෙනස්කම් ටිකක් ඕන මල්ලි කියලා. මං පුහුණු වුණු විදිහට සීන් එකක් කරලා බැලුවම ඒක ඕකේ වුණා. ඒත් ඒක ලේසි වුණේ නැහැ. අවුරුදු හයක් තිස්සේ රන්දිකටම සීමා වෙලා ඉඳලා මේ වෙනස කරගන්න ගොඩක් අමාරු වුණා. මේක වත්තක තරුණයකුගේ චරිතයක්. අඳින පලඳින විදිහත් වෙනස්. කතා කරද්දි වුණත් හරිම සද්දෙට කතා කරන්න ඕන.”
චමීර ලෙසින් පුංචි තිරයේ කළ වෙනස ප්‍රේක්ෂකයන් දැනටමත් සුබවාදීව භාරගෙන ඇති බව ප්‍රතිචාරවලින් හොඳින්ම පැහැදිලි වෙයි.
“‘එහෙව් හිතක ආදරයක්’ විකාශය වෙන්න කලින් ඉඳන්ම සමාජ මාධ්‍යයේ ට්‍රේලර්ස් ප්‍රචාරය වුණා. ගොඩක් අය ඒ වෙනස හොඳයි කිව්වා. ඒත් සමහරු එක පාරටම ඔළුවට දාගෙන තිබුණේ මේක මැර චරිතයක් කියලා. මේක මැර චරිතයක් නෙවෙයි කියන එක කියන්නම ඕන. චමීර රණ්ඩුවලට පැටලුණාට චමීර චණ්ඩියෙක් නෙවෙයි. ඔහු හැමෝටම උදවු කරන කෙනෙක්. ඔහු චණ්ඩිකම් පෙන්වන්නේ අසාධාරණ දේකට විරුද්ධව, කප්පම් ගැනීමට, ගැහැනු ළමයින්ට හිරිහැර කිරීම වගේ දේවලට විතරයි. එහෙම නැතුව ඔහු චණ්ඩියෙක් මැරයෙක් නෙවෙයි. හරිම හිත හොඳ චරිතයක්. චමීර කියන්නේ හිතහොඳ චණ්ඩියෙක් කිව්ව නම් හරි.”
දිගු කාලීන රංගන දායකත්වය නිසා ලද අත්දැකීම් මේ වනවිට ඔහු සිනමාව වෙත ගෙන යන්නටද සමත් වී ඇත.
“මේ වෙද්දි මම සිනමාවටත් සම්බන්ධ වෙලා තියෙනවා. අධ්‍යක්ෂ වී. සිවදාසන්ගේ ‘දූවිලි දරුවෝ‘ සිනමාපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ලබන වසරේ එය තිරගත වීමට නියමිතයි. ‘දූවිලි දරුවෝ‘ කියන්නේ මගේ පළමු සිනමා රංගන අත්දැකීම. මම, සූර්යා දයාරුවන්, අභිලාෂි සන්තුෂ්කි, චතූ රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් රංගනයෙන් දායක වෙනවා. එයත් හැත්තෑව දශකයේ කතාවක්. මට රඟපාන්න ලැබුණේ සූර්යා එක්ක. කිසිම ලෝබකමක් නැතුව ඔහු මට ලොකු සහයෝගයක් දුන්නා. ඔහු වගේම අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ ගැනත් මතක් කරන්නම ඕන. ඉදිරියේදී සිනමාවෙන් වැඩිපුර දකින්න ලැබේවි.”