මිල්ටන්ගේ මව ලෙස රසිකයාට දැනෙනවා නම් මගේ එකම සතුට එයයි-අනුරුද්ධිකා පාදුක්කගේ

gossiplanka image 1
 


අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ දක්ෂ, ජනප්‍රිය චරිතාංග රංගන ශිල්පිනියක්. ඇය ටෙලිනාට්‍ය සහ සිනමා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඇති දක්ෂ කලාකාරිනියක්. වඩාත් ස්වභාවික සහ හැඟීම්බර රංගනයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇය ක්ෂේත්‍රය තුළ දැඩි ඇගයීමකට ලක් වී තිබෙනවා. අනුරුද්ධිකා පාදුක්කගේ මේ දිනවල තිරගත වන අරුණ ජයවර්ධනගේ ‘එදා රෑ‘ චිත්‍රපටය හරහා යළිත් කතාබහට ලක්වෙන චරිතයක් වෙලා. එහි ඇය ට ලැබී තියෙන්නේ සුවිශේෂී භූමිකාවක්. එනම් ගායන ශිල්පි මිල්ටන් මල්ලවආරච්චිගේ මවගේ චරිතය නිරූපණය කරන්නේ ඇය.


එදා රෑ’ වැනි දැවැන්ත බයෝපික් (Biopic) සිනමාපටයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?


සිනමාව කියන්නෙම මම වඩාත්ම කැමැති මාධ්‍ය.. එදා රෑ චිත්‍රපටයට සම්බන්ධ වීමට ලැබීම ගැන මට තියෙන්නේ ඉතාමත්ම සතුටක්. අරුණ ජයවර්ධන මහතාට ස්තුතිවන්ත වෙනවා මාව මේ චිත්‍රපටයට තෝරා ගැනීම පිළිබඳව. ඔහු මෙවැනි සංකීර්ණ චරිතයක් ලබාදීමට මා කෙරේ තැබූ විශ්වාසයට මම අතිශයින්ම ගරු කරනවා.


ලාංකීය සංගීතයේ නොමැකෙන සලකුණක් වූ මිල්ටන් මල්ලවආරච්චිගේ මවගේ චරිතයයි ඔබට ලැබෙන්නේ කිව්වම දැනුණු හැඟීම මොනවගේද?


මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ මවගේ චරිතය මට ලැබුණු අවස්ථාවේ දී මම ඇයගේ තොරතුරු සොයන්නට උනන්දු වුණා. අරුණ අයියා සොයා බලා අසා දැනගත් තොරතුරු මට දැන්නුවා. ඊට අමතරව ඇය පිළිබඳ මතක සටහන් කොහේ හෝ ඇත්දැයි සෙවීමට මම උනන්දු වුණා. ඇය ජීවමාන චරිතයක් නිසා ඇය මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ජීවිතයේ යෝධ සෙවණැල්ලක් සේ සිටියා. ඉතා දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දෙමින් මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ සංගීත දිවියට මුල් කාලයේ පටන් ඇය විශාල ආශිර්වාදයක් වුණා. ඇයගේ චරිතය මේ චිත්‍රපටය තුළ කාල වකවානු තුනක් පමණ දිව යනවා. ඒ සඳහා අවශ්‍ය වුණු ශාරීරික මානසික නම්‍යශීලීත්වයට හැඩ ගැසෙන්ට මම උත්සහ කළා. වේශ නිරූපණ ශිල්පී බුවනෙක ඉතා දක්ෂ අන්දමින් මගේ බාහිර ස්වරූපය වෙනස් කර තිබුණා. අරුණ අයියගේ උපදෙස් යටතේ ඇයගේ චරිතය නිරූපණය කරන්න මගේ උපරිම උත්සාහය යෙදවූවා.


සැබෑ ජීවිතයේ ජීවත් වූ, ආදරණීය කලාකරුවෙකුගේ මවකගේ චරිතයක් තිරය මත ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔබට ආ අභියෝග මොනවාද?


ඇය සිය දරුවන් ජීවත් කිරීමට යොදන ධෛර්යය මෙන්ම නිරත වන රැකියාවන් විවිධ අවස්ථාවල චිත්‍රපටයේ දැක්වෙනවා. ඇතැම් ක්‍රියාකාරකම් පුහුණු වීමට මට සිදුවුණා. විශේෂයෙන්ම අතින් රෙදි මහන මැෂිමට හුරුපුරුදු වීමට සිදුවුණා. ඉතා විශාල බර දරමිටියක් ඔළුවේ තබාගෙන ඒම තමයි ටිකක් අමාරු වුණේ. ඒ සඳහා කලා අධ්‍යක්‍ෂගෙන් ලැබුණු සහාය මෙහිදී විශේෂය මතක් කළ යුතු වෙනවා. මිල්ටන් මල්ලවආරච්චිගේ මව මේ සියල්ල‍ සැබෑ ජීවිතයේදි අත්විඳි කෙනෙක්.


මිල්ටන් මල්ලවආරච්චි ලෙස රංගනයෙන් දායක වන රොෂාන් රවීන්ද්‍ර ඇතුළු අනෙකුත් පිරිස සමඟ රූගත කිරීම්වලදී ලැබුණු අත්දැකීම් මොනවාද?


චිත්‍රපටයට සම්බන්ධ වන සියලුම ශිල්පීන් ඉතා සහයෝගයෙන් වැඩ කළා. එකිනෙකාට අයත් කාර්යය මනාව ඉටු කළා. රොෂාන් රවීන්ද්‍ර මම බොහෝ කාලයක් එකට වැඩ කරපු රංගන ශිල්පියෙක්. ඔහු කවදත් මනා සංයමයෙන් හා විනයක් ඇතුව චරිතවලට ජීවය දෙමින් එකිනෙකා අතර සහයෝගයෙන් වැඩ කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ නිසා ඔහු සමඟ වැඩි කිරීම ඉතා පහසු වුණා.


චිත්‍රපටයේ එන දර්ශන අතරින්, ඔබේ හදවතටම දැනුණු හෝ හැඟීම්බරම වුණු දර්ශනයක් මතක් කළොත්


‘එදා රෑ’ චිත්‍රපටයෙන් මවගේ චරිතයේ සෑම දර්ශනයක්ම ඉතාම හැඟීම්බරව තමයි ලියවී තිබුණේ. ඒ නිසා ඒ හැම මොහොතක්ම මගේ හදවතට තදින් දැනුණා කිව්වොත් වඩාත් නිවැරදියි. විශේෂයෙන්ම කියලා අහද්දී කියන්න තියෙන්නේ මව මිය යන මොහොත. මම ඒ චරිතේ කළත් මමත් චිත්‍රපටය බැලුවේ ප්‍රේක්ෂිකාවක් විදියට. එතැනදී මගේ හදවතත් මොහොතකට නතර වුණු තැනක් වුණා. ඒ එක්කම විශේෂයෙන්ම මිල්ටන් මල්ලවආරච්චිගේ ඇසෙන් කඳුළක් වැටෙන එකම තැන වුණෙත් මව මිය යන දර්ශනය. ඒ වෙනකම් ජිවිතේ වෙන සියලු අහිමිවීම් ඔහු දරා ගත්තත් අම්මා එක්ක තිබුණු ඒ ආදරණීය බැඳීම පෙන්නුම් කරන දර්ශන මගේ හදවතත් හැඟුම්බර වුණා.


වර්තමාන සිනමාවේ මෙවැනි සැබෑ චරිතාපදාන ඇසුරින් කෙරෙන නිර්මාණවල (Biopics) ඇති වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?


චරිතාපදාන සිනමාවට ගෙන ඒමේදී ඔවුන් පිළිබඳ මනා හැදෑරීමකින් හා හරි පරිස්සමෙන් කළ යුතු දෙයක් වන්නේ මේ මහ පොළොවේ ජීවත් වූ සැබෑ චරිත නිසා. ඒ වගේම ඔවුන්ට ආදරය කරන බොහෝ පිරිසක් තවමත් ජීවත්ව සිටින නිසා.


මේ දවස්වල ‘එදා රෑ’ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු හැරුණාම, ඔබ දායක වෙලා ඉන්න වෙනත් අලුත් ටෙලි නාට්‍ය හෝ සිනමා නිර්මාණ මොනවාද?


මේ දිනවල විකාශය වෙමින් පවතින ‘අකුරට යන වෙලාවේ‘ ටෙලි නාට්‍යට සහ ‘හුස්මක් ළඟින්‘ යන ටෙලි නාට්‍යය දෙකෙහි රූගත කිරීම් පවතිනවා. The Guardian කියන අලුත් ටෙලි නාට්‍යටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ එක්කම රූගත කිරීම් අවසන් කළ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා.


ක්ෂේත්‍රයට පැමිණි මුල්ම කාලයේදී ඔබට ලැබුණු ප්‍රතිචාර සහ එදා සිනමාව/ටෙලි නාට්‍ය කලාව තිබුණු තත්ත්වය අද එක්ක සසඳද්දී මොන වගේ වෙනසක්ද ඔබ දකින්නේ?


ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ ටෙලි නාට්‍ය පැවතියේ ඉතා අඩුවෙන්. නමුත් වර්තමානයේ සියලුම රූපවාහිනි නාලිකා මඟින් ටෙලි නාට්‍ය කරගෙන යාම සිදු වෙනවා. ඒවායේ ගුණාත්මක හා නිර්මාණාත්මක බව අඩුවීම පිළිබඳ ගැටලුවක් පවතිනවා. හුදු විනෝදාස්වාදය පමණක් මුල්කරගෙන නිර්මාණය කිරීම ප්‍රේක්ෂකයාගේ රසඥතාවය දුර්වල කිරීමක්. යහපත් සමාජයක් උදෙසා ගෞරවනීය මානව සම්බන්ධතා වෙනුවෙන් කලාවට කළ හැකි දේ බොහොමයි. ඒ සඳහා නිර්මාණයෙහි යෙදීමෙන් අපට මේ සමාජය වඩාත් යහපත් වනු දැකීම අපේක්ෂා කළ හැකියි.


දශක ගණනාවක් තිස්සේ ඔබේ රංගනයට ආදරය කරන, වගේම ‘එදා රෑ’ නරඹන්න සූදානමින් ඉන්න ප්‍රේක්ෂකයින්ට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?


එදා රෑ චිත්‍රපටය නරඹන්න කියලා මම සියලුම රසිකයන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. රසිකයන්ගේ පැරණි මතකය අලුත් කිරීමට සංගීතමය සුයාමයක් ගත කිරීමට චිත්‍රපටය නැරඹීමෙන් හැකිවේවි. ඒ ශ්‍රේෂ්ඨ කලාකරු මිල්ටන්ගේ මව සැබෑ ලෙසම චිත්‍රපටය තුළ රසිකයාට දැනෙනවා නම් මගේ එකම සතුට එයයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post