රුසියාවේ කසාන් සිනමා සම්මාන උලෙළේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු

gossiplanka image 1
 

රුසියාවේ කසාන් සිනමා සම්මාන උලෙළ නියෝජනය කරමින් ‘රිවර්ස්ටන්’ සිනමාපටය පසුගියදා තවත් ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිකර ගත්තේය. හොඳම අධ්‍යක්ෂණය සඳහා ලලිත් රත්නායක සම්මානයෙන් පිදුම් ලැබූ අතර හොඳම නළුවාට හිමි සම්මානය මෙවර හිමිවූවේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දුටය. එකිනෙකට නොදෙවෙනි ප්‍රධාන චරිත හතරක් වටා දෝලනය වන ‘රිවර්ස්ටන්’ හිමිකරගන්නා නොනවතින සම්මාන ප්‍රවාහය ගැන කසාන් සිනමා උලෙළේ හොඳම නළුවා ශ්‍යාම් ප්‍රනාන්දු අප හා පැවසුවේ මෙවන් කතාවකි.


“මෙවර රුසියාවේ පැවැති කසාන් සිනමා සම්මාන උලෙළේදීත් ‘රිවර්ස්ටන්’ සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබුවා. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ලලිත් රත්නායකටත් හොඳම නළුවා ලෙස මටත් සම්මාන හිමි වුණා. විශේෂයෙන්ම කාන්, බර්ලින් වගේ සම්මාන උලෙළ නියෝජනය කළ චිත්‍රපටත් ඒ අතර තිබුණා. සමස්තයක් විදිහට ගත්තොත් ‘රිවර්ස්ටන්‘ මේ වෙද්දි ජාත්‍යන්තර සම්මාන 16ක් හිමිකර ගෙන තියෙනවා. සම්මාන උලෙළ කිහිපයක් අපට මඟහැරුණා වගේම තවත් සම්මාන උලෙළ නියෝජනය සඳහා වසරක කාලයක් ඉතිරිව තිබීමත් විශේෂත්වයක්. මං දන්න තරමින් මීට කලින් කිසිම දේශීය සිනමාපටයක් මේ තරමට ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වෙලා නැහැ. එය ‍ ලාංකේය සිනමාව ගැන අපට ආඩම්බර විය හැකි කරුණක්. ඒ ගැනත් විශාල සතුටක් තියෙනවා.“


මින් පෙර පැවති සම්මාන උලෙළ දෙකකදීම හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූවේ මහේන්ද්‍ර පෙරේරාය. රන්දික ගුණතිලක අවස්ථා දෙකකදීම හොඳම නළුවා ලෙසින් නිර්දේශ නාම අතරට එක්විය. අඛණ්ඩවම ජාත්‍යන්තරයේ ඇගයීමට ලක්වන ‘රිවර්ස්ටන්’ සම්බන්ධයෙන් ශ්‍යාම්ට තිබුණේ මෙවන් කියවීමකි.


“ඉස්සර අපි වැලිකතර වගේ චිත්‍රපට බැලුවේම තිරපිටපත ගැන හිතලා නෙවෙයි. චිත්‍රපටය බැලුවේ ඇක්ටින් ගැන බලන්න. රිවර්ස්ටන් කියන්නෙත් එහෙම චිත්‍රපටයක් කියලා ලොකු කතාබහක් හැදිල තිබුණා. ඇත්තටම මට තෝරන්න දුන්නත් මේකෙ හොඳම කෙනා කවුද කියලා තෝරගන්න අමාරුයි. රන්දිකගෙ රංගනය ගත්තත් හරිම විශේෂයි.


මහේන්ද්‍ර, ප්‍රියන්තසිරි, මම සහ රන්දික වටා ගෙතුණු චරිත හතරම ප්‍රධාන වශයෙන් චිත්‍රපටය පුරාම දිවෙනවා. තිරපිටපත කියවද්දි වගේම රූගත කරද්දීත් අපි හතර දෙනා අතරේ ලොකු කතාබහක් තිබුණා. අපි අපිට ගොඩක් සපෝට් කරගත්තා. විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරා ජ්‍යෙෂ්ඨයෙක් විදිහට ඔහුගේ අත්දැකීම් සහ රංගන ධාරිතාව සියයට සීයක්ම යොදවලා අපිව ගයිඩ් කළා. මේ ජයග්‍රහණයට ඒකත් විශේෂ හේතුවක්. අනෙක් කාරණය තමයි මේකෙ චරිත හතරම ප්‍රධානයි. ලෝක සිනමාව දිහා බැලුවත් ‘මිස්ටික් රිවර්’ වගේ චිත්‍රපටවල තිරපිටපතේ ප්‍රධාන නළුවා හිටියත් සහය චරිතත් හරිම ප්‍රබලයි. අධ්‍යක්ෂණය සහ තිරපිටපත පැත්තෙන් ගත්තත් ‘රිවර්ස්ටන්’ ලෑන්ඩ් මාර්ක් එකක් සටහන් කරන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඉදිරියේදී පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙළ නියෝජනය සඳහාත් මේ වන විට ‘රිවර්ස්ටන්’ සුදුසුකම් සපුරලා තිබෙනවා. අපේ සිනමාපටවලට ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය සඳහා සම්බන්ධීකරණය කරන උදිත ලක්මාල් කහඳවආරච්චිත් මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඔහුගේ වෘත්තීය පරිණතභාවයත් මෙහිදී විශාල වශයෙන් ඉවහල් වුණා. ජාතික චිත්‍රපට සංස්ථාවට ඇත්තටම ඔහු ආභරණයක්.“


ලෝකයේ බොහෝ සිනමා උලෙළ නියෝජනය කරමින් මේතරම් පැසසුම්, සම්මාන ලැබීමට ‘රිවර්ස්ටන්’හි අන්තර්ගතය මෙන්ම අධ්‍යක්ෂණයද ඍජුවම ඉවහල් වූ බව ඔහුගේ අදහසයි.


‘රිවර්ස්ටන්’ මූලික කතාවස්තුව සැලකිල්ලට ගත්තත් ලොකු විශේෂත්වයක් තියෙනවා. නීතියට පිටින් යන කෙනෙක්ව නීතිවිරෝධී විදිහට මරණ එක ලෝකෙ තියෙන දෙයක්. සන්නද්ධ අපරාධකරුවෝ ‍දෙගොල්ල මරාගන්න එකත් ලෝකෙ තියෙන දෙයක්. නමුත් නීතියෙන් වරදකරුවකු වූ කෙනෙක්ව ඒ නීතියෙන් ආරක්ෂා කළ යුතු තැනදී ඒ නීතියම පාවිච්චි කරලා මරලා දානවා කියන එක විශ්වාස කළ නොහැකියි. එය ලෝකයේ විවාදාත්මක අදහසක්. එය කතා වස්තුව ඇතුළෙ තියෙනවා. ඒක එකක්. අනෙක් අතින් අධ්‍යක්ෂවරයාගේ දෘෂ්ටිය ඊටත් වඩා විශේෂයි. බල දේශපාලනය නිලධාරීන්ව පාවිච්චි කරන විදිහ, රාජ්‍යතන්ත්‍රයක් ඇතුළේ තියෙන නිලධාරීවාදය ඇතුළේ තියෙන ධූරාවලිය, රාජ්‍යයේ පැවැත්ම, ඒවායේ ආකෘති හැදිල තියෙන විදිහ දිහා අධ්‍යක්ෂවරයා සහ තිරපිටපත් රචකයා විදිහට හරිම සියුම්ව බලන්න පුළුවන් දෘෂ්ටියක් තිබීම තමයි මෙතන ලලිත් රත්නායකගේ තියෙන විශේෂත්වය.“


ලාංකේය සිනමාවේ රංග භාවිතාව ලෝක මට්ටමේ පවතින බවට ලැබුණු විචාරක තක්සේරුව ගැන ඔහුට තිබුණේ මෙවන් මතයකි.


මේ වෙද්දි ජාත්‍යන්තරයේ ගොඩක්ම අගැයීමට ලක් වෙලා තියෙන්නේ මනුස්ස ජීවිත දිහා අන්වීක්ෂයකින් බලනවා වගේ සියුම්ව බලන සිනමාවක්. එහිදී රංගන ශිල්පීන්ගේ පැත්තෙන් බලන විශේෂ ගුණයක් වෙලා තියෙන්නේ කතාව අන්තර්ගතයේ පොසිටිව්, නෙගටිව් කියන දෙපැත්තේම ආතතිය දරාගෙන රංගන ශිල්පීන්ට තමන්ගේ සිතුවිලි මනෝභාවයන් කොතරම් පරාසයක හසුරුවන්න පුළුවන්ද කියන එක. මේ වෙද්දි ලෝක සිනමාවේ රංග භාවිතාවල අත්හදාබලන්නේ ඒක. ඒ වගේ වාතාවරණයක අපේ රංගන ශිල්පීන් හතර දෙනෙක් වෙනස් වෙවී මාරුවෙන් මාරුවට මේ විදිහට ජාත්‍යන්තරයේ තක්සේරුවට ලක්වීම අපේ රටේ රංග භාවිතාව ගැන අපිට විශ්වාසයක් ඇති කරන, අනාගත බලාපොරොත්තුවක් ඇති කරන හොඳ තක්සේරුවක් විදිහටයි මං දකින්නේ. අපේ නිදහස් (විකල්ප) සිනමා ධාරාව ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිට මේ දක්වාම ලෝක මට්ටමේ පවතින බව තහවුරු කරලත් තියෙනවා. එය ඉදිරියට ගෙනයන්න රන්දික දක්වා පරම්පරාවක් හැදිල තියෙන එකත් විශාල සතුටක්.“


මැලේසියානු සිනමා උලෙළේදී එහි ජූරි චෙයාමන් අනුරාග් කාශ­්‍යප්ගෙන් මහේන්ද්‍ර පෙරේරාට ලැබුණු අගැයීම මෙන්ම කසාන් සිනමා උලෙළේදී අධ්‍යක්ෂණය සහ රංගනය උදෙසා මජීඩ් මජිඩිගෙන් ලැබුණු ඇගයීම ද මෙහිදී කිසිසේත්ම අමතක කළ නොහැකිය.


මෙවර කසාන්හි හොඳම නළුවා ලෙසින් ජාත්‍යන්තරයේ ඇගයීමට ලක් වුණු ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු මින් පෙරද අධ්‍යක්ෂවරයකු ලෙස ඉතාලියේ ෆ්ලොරන්ස් සිනමා සම්මාන උලෙළේ හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේය. ආසියානු කලාපයේ සිනමා උලෙළ කිහිපයකදීම ඇගයීමට ලක් වී ඇති එය ලංකාවේ ප්‍රදර්ශනයට සූදානමින් පවතී.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post