රංගන ක්ෂේත්‍රයට පළමු පියවර තබන විටම ප්‍රධාන චරිතයක වගකීමක් උසුලා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඉතා සුළු පිරිසකටයි. එවැනි සුවිශේෂී අවස්ථාවක් හිමි කරගත් රංගන ශිල්පිනියක ලෙස මනෝහාරි විමලතුංග හඳුන්වා දිය හැකියි.
1980 දශකයේ මුල් භාගයේදී සිංහල සිනමාවට පිවිසි මනෝහාරිගේ රංගන දිවියේ ඇරැඹුම සනිටුහන් කරනුයේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ගේ ‘වතුර කරත්තය’ චිත්‍රපටයෙනි. 1982 වසරේ තිරගත වූ එම චිත්‍රපටයේ ‘සුඛිනි’ නම් චරිතය නිරූපණය කිරීමට ඇයට අවස්ථාව හිමි වූවාය.
“මම සිනමාවට පිවිසුණු කතාව සුන්දර අහඹුවකින් පිරුණු එකක්. රඟපාන්නට මා තුළ තිබූ කැමැත්ත හඳුනාගත් මගේ පුංචි අම්මා සහ බාප්පා මාව ‘වතුර කරත්තය’ චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට රැගෙන ගියා. එහිදී කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්මයා ඉදිරියේ යම් රඟපෑමක් කරන්නට වුණා. ඒ රඟපෑමෙන් සෑහීමට පත්වුණු ඔහු මාව ප්‍රධාන චරිතයටම තෝරා ගත්තා. ජීවිතයේ මම වැඩියෙන්ම සතුටු වුණු දවස කවදද කිව්වොත් ඒ එදා තමයි.”
එතැනින් ඇගේ සිනමා ගමන පුදුමාකාර එකක් වූයේ ‘වතුර කරත්තය’ සමඟම ‘රේල් පාර’ චිත්‍රපටයටද ඇයට ගිවිසුම් අත්සන් කිරීමට ලැබීමෙනි. චිත්‍රපට දෙකම කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ අතර, චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළේ මනෝහාරිය. චිත්‍රපට දෙකම 1982 වසරේදී තිරගත වීමද ඇගේ සිනමා ආගමනයේ සුවිශේෂී සිදුවීමකි.
‘වතුර කරත්තය’ සහ ‘රේල් පාර’ හරහා සිනමා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඇය, පසුව කඳපොල කුමාරතුංග අධ්‍යක්ෂණය කළ ‘වාසිටි කෙල්ල’ චිත්‍රපටයටද එක් වූවාය. මේ සියල්ල කළු සුදු චිත්‍රපටය. එවකට ජනප්‍රිය නළුවකු වූ සනත් ගුණතිලක සමඟ රංගනයේ යෙදීමට ‘වාසිටි කෙල්ල’ චිත්‍රපටයේදී ඇයට අවස්ථාව ලැබිණි. 1980 දශකයේ ජනප්‍රිය නවක රංගන ශිල්පිනියන් අතර මනෝහාරිගේ නමද සටහන් වූයේ එලෙසිනි.
ජනප්‍රියත්වය ඉහළ යමින් තිබූ අවධියේම ඇය සිනමා රංගනයෙන් තාවකාලිකව ඈත් වූවාය. ඒ සිනමාවට ඇගේ රංගනයන් අත්‍යාවශ්‍යම වූ අවධියකය. එසේ වූයේ රසික රසිකාවියන් අතරේ ඇයට එක්තරා රසිකයෙක් සුවිශේෂී වූ නිසාය. ඔහු හා පෙමින් බැඳී සිටියදී රංගනයට වැටකඩොලු බැඳෙන්නට විය. එහෙත් දෛවය ඈට සරදම් කළා දෝ යැයි සිතෙනුයේ නොසිතූ මොහොතක හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු ඇය තනිකර මෙලොවින් සමු ගැනීම නිසයි.
සිව්දෙනකුගෙන් යුතු පවුලක වැඩිමලා වූ මනෝහාරි අවිවාහකව හිඳිමින් තම මව මිය යන තෙක්ම රැක බලා ගත්තාය. අද ඇය රාගම පිහිටි ඇගේ මහ ගෙදරට වී කාලය ගත කරයි.
කලක් ඇවෑමෙන් මනෝහාරි ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය ඔස්සේ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියාය. ඇගේ පළමු ටෙලිනාට්‍ය බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ ගම්පෙරළියයි. ඈ එහි ‘පුංචි මැණිකා’ යි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාවට පමණක් සීමා වුණු, ‘ගම්පෙරළිය’ චිත්‍රපටයට නොනැඟුණු චරිතයක් වන ‘පුංචි මැණිකා’ ‘ගම්පෙරළිය’ ටෙලිනාට්‍යය තුළ ප්‍රේක්ෂක හදවත්හි ලැගුම් ගත් චරිතයක් විය. ජිනදාස සිංහලේ ගොස් ජීවත් වන්නේ පුංචි මැණිකා සමඟයි.
විශේෂයෙන්ම පුංචි තිරයේ ඇය නිරූපණය කළ විවිධ චරිත මනෝහාරිගේ රංගන පරාසයන් මැනවින් පිළිඹිඹු කරලන්නට විය.
“මේ දිනවල හිත් අතර හිස්තැනක්, ගැහැනු – පිරිමි – මල් – පලතුරු ටෙලිනාට්‍ය රෑගත කිරිම් සඳහා සහභාගි වෙනවා. ඒවාහි රූගත කළ කොටස් විකාශය වෙනවා. ”
‘පබා’ වැනි ටෙලිනාට්‍යවල ඇය කළ රංගනයට දිගින් දිගටම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණු අතර එය එක්තරා ලෙසක හැරවුම් ලක්ෂ්‍යයක් විය. ‘පබා’ හි ‘චිත්‍රාංගනී’ එවකට නොසෑහෙන ප්‍රතිචාර ගලා ආ චරිතයකි. ‘ඉසුරු භවන’හි රණසිංහ නෝනා, ‘අහස සේ ඔබ අනන්තයි’, ‘නිල් නෙතු’, ‘වැස්ස නුඹ වගේ’ වැනි ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ විණි. ‘චණ්ඩි කුමාරිහාමි’ හි ‘ලොකු ළමාතැනී’ ලෙස කළ රංගනය ප්‍රේක්ෂක මතකයේ රැඳී තිබෙන්නකි. ‘දොරකඩ දෙවොල’ හි බණ්ඩාර අම්මාටත් ඉහළම ප්‍රතිචාර ලැබී තිබේ.
“වේදිකාව මගේ කලා දිවියේ තවත් වැදගත් පරිච්ඡේදයක්. ‘අහස කඩා වැටේ’, ‘උත්තමාචාර’, ‘සිල් ගත් කොක්කු’ වැනි වේදිකා නිර්මාණ සමඟ සම්බන්ධ වූවා. පසුව දිගු විරාමයකින් අනතුරුව ‘දුම්මල වරම’ වේදිකා නිර්මාණයෙන් නැවතත් වේදිකාවට පැමිණියා. මේ දිනවල අපි දුම්මල වරම ගෙන රට වටා යනවා”.
විනිශ්චය මණ්ඩලයක තීරණයකින් ලැබෙන සම්මාන නොලැබුවත් ඇයට ලැබෙන ජනතා සම්මානවල නම් අඩුවක් නොමැති තරම්ය.
ඇරැයුම් ලැබෙන කලා කටයුතුවලට හැකි උපරිමයෙන් සහභාගි වෙමින්, සමකාලීනයන් සමඟ මෙන්ම නව පරපුරේ රංගන ශිල්පීන් සමඟද සුහදව කටයුතු කරමින් සිටින මනෝහාරි හෙමින් ගමනක් යයි.
“කොටස් 60, 70කට සීමා වුණු ටෙලිනාට්‍යවලට හැරෙන්නට මෙගා නාට්‍යවලට සම්බන්ධ වීමට සූදානමක් නැහැ. මෙය බහුතරයක් රංගන ශිල්පීන් ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක්. එහෙත් මෙගා නාට්‍ය කරන අය ගැනවත්, මෙගා නාට්‍යවලට සම්බන්ධ වන අය සමඟත් කිසිම අහිතක් නෑ.”
මනෝහාරි විමලතුංගගේ ගමන දෙස ආපසු හැරී බලන විට, එය අහම්බෙන් ලැබුණු අවස්ථාවක් දක්ෂතාවයෙන් යුතුව, කාලය සමඟ වෙනස් වෙමින් තම කලා ජීවිතය ඉදිරියට ගෙන ගිය කලාකාරිනියකගේ කතාවකි. ‘වතුර කරත්තය’ හරහා තැබූ පළමු පියවර ඇගේ නම සිංහල සිනමා මතකයේ සටහන් කළේය. එතැන් සිට සිනමාව, ටෙලිනාට්‍යය සහ වේදිකාව යන කලා ක්ෂේත්‍ර තුන ඔස්සේ ඇය ගමන් කළාය.
රිදී තිරයේ ආලෝකය මැදින් පැමිණි ඒ යොවුන් මනෝහාරිය අද වන විට අත්දැකීම් සපිරි රංගන ශිල්පිනියකි. කාලය ගෙවී ගියත්, ‘වතුර කරත්තය’ හරහා සිංහල සිනමාවට පැමිණි ඒ පළමු රූපය ඇගේ කලා දිවියේ සදා නොමැකෙන සේ පවතී.