‘ගෑනු පිරිමි මල් පලතුරු’ සමඟ ආලින්දයට එන සඳමාලි -ගයනි ගිසන්තිකා

gossiplanka image 1
මේ දිනවල විකාශය වන සුමිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් යුත් ‘ගෑනු පිරිමි මල් පලතුරු’ ටෙලිනාට්‍යයේ සඳමාලිට ජීවය දෙන්නේ රංගන ශිල්පිනී ගයනි ගිසන්තිකාය. ඇය දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින්නීය.


‘ගෑනු පිරිමි මල් පලතුරු’ ටෙලි නාට්‍යයේ සඳමාලි ගැන ගයනි කීවේ මෙවැනි කතාවකි.


“මේ චරිතය ගැන කියද්දී මුලින්ම අරුණ ප්‍රේමරත්න පිටපත් රචකයාට ස්තුතිවන්ත වෙනවා. ඔහුයි සඳමාලිව ගොඩනැඟුවේ. සඳමාලි කියන්නේ සැමියා දාලා ගිය, බොහෝ පීඩනයට ලක් වූ දරිද්‍රතාවෙන් පෙළුණු ඒ වගේම සැමියාගේ අතහැර යෑමෙන් කනස්සල්ලෙන් ඉන්න, ක්ෂණිකව කේන්තියට පත්වනවා වගේම අනුකම්පාසහගත, අන්‍යයන්ට උදවු කරන කාන්තාවක්. ඒ වගේම සමහර අවස්ථාවල ඉතා සූක්ෂ්මව තම ජීවන අරගලය සමඟ සටන් කරන කාන්තාවක් කියන්නත් පුළුවන්.”


චරිතයට ආරාධනා ලද අයුරු ගැන ද ගයනි සිහිපත් කළාය.


“පිටපත ලියූ පසු අධ්‍යක්ෂ සුමිත් රත්නායක මට කතා කරලා කිව්වා මේ වගේ චරිතයක් තිබෙනවා කියලා. ඊට පෙර මම සුමිත්ගේ ‘මද්දහන, මහ පොළොව’ ටෙලිනාට්‍යවල වැඩ කර තිබුණා. සුමිත්ගේ අධ්‍යක්ෂණයේ වෙනස්ම පිවිසුමක් ලෙස මේ ටෙලිනාට්‍ය හඳුන්වන්න පුළුවන්. ඒ චරිතවලටත් මම කැමැතියි. මට සිතුණා සඳමාලි කියන්නෙත් වෙනස් විදිහේ චරිතයක් කියලා. එනිසා චරිතය භාරගත්තා.”


රූගතකිරීම්වලදී ප්‍රවීණ, ආධුනික සියල්ලන්ගෙන්ම මනා සහයක් ලැබුණු බවද ගයනි පවසන්නීය.


“මට සඳමාලිගෙ චරිතය නිමකරන්න කෙටි කාලයක් ලැබුණේ. ඒ කෙටි කාලයේ ලොකු වැඩ කොටසක් කළා. දැඩි වෙහෙසක් දැරුවා. විශේෂයෙන් චාන්දනී අක්කා, ප්‍රියංකා, නදීෂා වගේම වසන්ත අයියා ආදි හැමෝගෙන්ම හොඳ සහයක් ලැබුණා. ඔවුන් එක්කයි මා වැඩිපුරම රඟපෑවේ. ඒවගේම චින්තක සෝමකීර්ති ඇතුළු අනෙක් කාර්මික ශිල්පීන්ගෙනුත් සහයක් ලැබුණා.”


‘ගෑනු පිරිමි මල්පලතුරු’ නිෂ්පාදන කාර්යයද ගයනි ගිසන්තිකාගේ වීම විශේෂත්වයකි.


“මේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදනයට මම දායක වුණේ සුමිත් මෙහි රඟපාන්න ආරාධනා කළාටත් පසුවයි. සුමිත්ගේ අනෙක් නිර්මාණත් ප්‍රේක්ෂකයා වැලඳගත් නිසා අපට මෙහිදීත් හොඳ වැඩක් කරන්න පුළුවන් නේද කියා සිතුණා. ඒ නිසා හරිම කැමැත්තෙන් නිර්මාණය නිෂ්පාදනයට එක්වුණා.”


සිනමාව තුළ ගයනි ගිසන්තිකාගේ භූමිකාව ගැන කතා කිරීමේදී ඇයට ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් රැසකගේ කලාත්මක සිනමා කෘති රැසකට සිය ප්‍රතිභාන්විත රංගනය මුසුකිරීමට අවස්ථාව ලැබේ තිබේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අම්මාවරුනේ’, අශෝක හඳගමගේ ‘තනිතටුවෙන් පියාඹන්න’, ප්‍රසන්න විතානගේගේ ‘ඉර මැදියම’, ලින්ටන් සේමගේගේ ‘මගේ වම් අත’, සෝමරත්න දිසානායකගේ ‘සරිගම’ එම නිර්මාණයි.


වේදිකාව තුළින් ද ඇය රංගන කාර්යයට මනා පන්නරයක් ලබාගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මෙහිදී රාජිත දිසානායකයන් සුවිශේෂී වෙයි. ඔහුගේ ‘හංසයන්ටත් මං ආසයි’ සඳහා 1997දී රංගනයෙන් එක්වූ ගයනි, ඉන්පසු ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘මකරාක්ෂයා, ට්‍රෝජන් කාන්තාවෝ’ වේදිකා නාට්‍යවලටත් තුමිඳු දොඩම්තැන්නගේ ‘අරුන්දතී’, ප්‍රසන්න විතානගේගේ ‘හොරු සමඟ හෙලුවෙන්’, බුද්ධික දමයන්තගේ ‘චේ’ ආදි නිර්මාණවලින් ඇය රංගනයේ මනා අත්දැකීම් ලද්දීය.


ගයනි ගිසන්තිකා සම්මානනීය වූ අවස්ථා ද රැසකි.


චාරුක සුරවීරගේ ‘ද්විත්ව කුසලාන’ රඟපා මුලින්ම යෞවන සම්මාන උලෙළේ ඇය හොඳම නිළිය වූවාය. ඉන්පසු ‘අරුන්දතී, අසිනි වලාහක, චේ’ නාට්‍ය තුළින් වේදිකාවේ හොඳම නිළිය වීමටද සමත්වූවාය. සිනමාව තුළ ‘මගේ වම් අත’ හි කළ රංගනයට හොඳම නැඟී එන නිළිය ලෙසත්, ‘අම්මාවරුනේ’හි රංගනයට හොඳම සහය නිළිය ලෙස සරසවිය හා රාජ්‍ය සම්මානයකුත් ‘සරිගම’හි රංගනයට සරසවිය සම්මානයත් හිමිකර ගත් ගයනි ගිසන්තිකා, ටෙලිනාට්‍ය රංගනය උදෙසා ද නොයෙක් වර සුමති,රයිගම් සම්මානවලින් පුද ලැබුවාය.


තමන් කලාවට යොමු වූ ඒ අතීතය ගයනි සිහිපත් කළේ මෙලෙසිනි.


“කලාවට සම්බන්ධවීමේදී මට මුලින්ම මතක් වෙන්නේ මා ඉගෙන ගත් පාසල් තුනයි. කඳනපිටිය කනිෂ්ඨ විදුහල, රත්නපුර ජේසු බිලිඳාගේ කන්‍යාරාමය, හොරණ දොන් ප්‍රේද්‍රික් මහා විදුහල ඒ පාසල්. ඒපාසල්වලින් කලාවට එක්වුණත් සෘජුවම සම්බන්ධ වෙන්නේ හොරණ දොන් ප්‍රේද්‍රික් මහ විදුහලින්. එහි මගේ යාළුවෙක් හිටියා පුබුදු ගුරුගල කියලා. ඔහු තමා පාසලේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. ඒ කාලයේ අපි මහජන ප්‍රදර්ශනයටත් නාට්‍ය කළා. උසස් පෙළින් පසු ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංගකලාව පාඨමාලාව හැදෑරුවා. එහිදි අපි යෞවන සම්මාන උලෙළටත් නාට්‍ය කළා. ඒ විදිහට තමයි කලාවට එක්වුණේ.”


ගයනිගේ සැමියා ප්‍රවීණ සංගීතඥයකු වන තරුපති මුණසිංහයි. ඔහු ගැන කතාකිරීමට ද ඇය අමතක නොකළාය.


“තරුපති නව නිර්මාණ කිහිපයක්ම කළා. ඔහු ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය කරගෙන යනවා. තරුගේ අලුත්ම ගීතයක් රූගත කිරීමට නියමිත නිසා දෙසැම්බර්වලදී අපි ලංකාවට එනවා. ඔහුගේ පියා ඔස්ටින් මුණසිංහගේ ෂෝ එකකුත් නෙළුම්පොකුණේ සූදානම් කර තිබෙනවා. එයටත් තරුපති තමයි සංගීතය සපයන්නේ. ඒ වෙනුවෙනුත් මේ දිනවල වෙහෙසෙනවා. ඔහුගේ ඇකඩමි ලයිෆ් එකේත් බොහෝ කාර්යබහුලයි.”

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post