මම කරන හැම වැඩකටම මම වගවෙනවා-දිනෙන් ද සිල්වා

gossiplanka image 1
 


නිරූපණ ක්ෂේත්‍රයෙන් සිය කලා ගමන ආරම්භ කළ දිනෙන්, අද වන විට සිනමාව තුළ විවිධ චරිත ඔස්සේ තමන්ගේ හැකියාවන් විදහා දක්වන රංගන ශිල්පියෙක්. අභියෝග හමුවේ නොසැලී, තමන්ට ලැබෙන සෑම චරිතයක්ම අලු‍ත් අභියෝගයක් ලෙස භාර ගනිමින් ඉදිරියට යන ඔහු එදා රෑ චිත්‍රපටයේ නව අත්දැකීම වගේම සිනමාවේ වර්තමාන තත්ත්වය, නිරූපණ ක්ෂේත්‍රය, ප්‍රේක්ෂක ආදරය සහ ඉදිරි නිර්මාණ පිළිබඳව දිනෙන් සමඟ කළ කතාබහයි මේ.


ආයුබෝවන් දිනෙන්… මේ දවස්වල කොහොමද ජීවිතේ?

මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. විශේෂයෙන්ම ‘එදා රෑ’ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කළා. පසු නිෂ්පාදන කටයුතු අවසන් කරලා තියෙන්නෙ. 17 වැනිදා ඉඳන් බලන්න පුළුවන් සහ ඒ ප්‍රවර්ධන කටයුතුවලට ලෑස්ති වෙමින් ඉන්නවා. ඊට අමතරව රාජිණියේ චිත්‍රපටයේ රූපගත කිරීම් අවසන් කළා. එහි හඬකැවීම්වලට සම්බන්ධ වුණා පහුගිය දවස්වල. තව සුභ්‍රමණයෙන් කියන චිත්‍රපටයේ රූපගත කිරීම් කරලා අවසන්. පසු නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. ලබන මාසෙ තවත් නිර්මාණ කටයුත්තකට ලෑස්ති වෙමින් ඉන්නවා.

එහෙනම් ‘එදා රෑ’ චිත්‍රපටය ගැන කතා කරලම ඉමු…

‘එදා රෑ’ චිත්‍රපටය කියන්නෙ පෞද්ගලිකව මම බොහොම ආස කරන නිර්මාණයක්. අපි ගොඩක් ආදරේ කරන රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් සහභාගි වන චිත්‍රපටයක්. දවස් 40ක් පුරාවට කරපු විශාල නිර්මාණ කටයුත්තක්. කණ්ඩායමක් විදියට විශාල වශයෙන් මහන්සි වෙච්ච චිත්‍රපටයක්.

දැන් දැන් සිනමාවේ ලොකු පෙරළියක් දකින්න ලැබෙනව නේද දිනෙන්?

2025 ලංකාවේ සිනමා ක්ෂේත්‍රයේ යම් පෙරළියක් වුණා. ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් වැලඳ ගත්තා ආපු චිත්‍රපට. ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම එකිනෙකට වෙනස් ආදායම් වාර්තා තියපු චිත්‍රපට ගොඩක් තිබුණා. මෝඩ තරිඳු, ධර්මයුද්ධය, නෙලුම් කුලුන වගේ චිත්‍රපට ඒ අතර තිබුණා. ලංකාවේ පහුගිය කාලයේ තිබුණු දේශගුණික බලපෑම්, දේශපාලනික පසුබිම මේ හැමදේම එක්ක මිනිස්සු ආදරේ කරන හොඳ චිත්‍රපට රැල්ලක් බිහිවුණා. විදේශීය චිත්‍රපට පවා බලන ඉහළ රස වින්දනයක් තියෙන ප්‍රේක්ෂකයන් අපිට ඉන්නේ. ඒ නිසා මේ රැල්ල දිගටම පවත්වා ගනිමින් ප්‍රේක්ෂකයාට හොඳ දේවල්, හොඳ නිර්මාණ දෙන්න අපිත් සැදී පැහැදී ඉන්නවා.




නළුවෙක් වගේම දිනෙන් නිරූපණ ශිල්පියෙක්. නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රය ගැන තියෙන්නෙ මොන වගේ අදහසක්ද?

නිරූපණ ශිල්පියෙක් විදියටයි මම ගමන පටන් ගත්තේ. අදටත් මම නිරූපණ ශිල්පියෙක්. රංගන ක්ෂේත්‍රයට ආවත් හොඳ ප්‍රගතියක් තියෙනවා. යම් යම් අඩුපාඩු තිබුණත් අද නිරූපණ ක්ෂේත්‍රයේ හොඳ අවස්ථා අලුත් අයට තියෙනවා. අපි ආපු ගමන් මගත් එක්ක විවිධාකාර උස්පහත් තැන් තිබුණත් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න ගොඩක් අවස්ථා තියෙනවා. තාක්ෂණය දියුණුයි. එතැනදි හොඳ අධ්‍යයනයක් සහ අධ්‍යාපනයත් ඉතාම වැදගත්.

මේ හැම දේකදිම ඔබට ප්‍රේක්ෂක ආදරයත් එක්ක ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. හැමදාම ප්‍රේක්ෂකයෝ මාත් එක්කම හිටියා, මගෙ නිර්මාණ එක්ක හිටියා. මොකද මම කරන හැම නිර්මාණයකටම, හැම චරිතයකටම මම වගවෙනවා. ඒ වෙනුවෙන් කරන මහන්සිය, කැපකිරීම් චරිතය හරහා ප්‍රේක්ෂකයා දකිනවා. ඒ විවිධත්වය එක්ක හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒක විශාල පිටිවහලක්, මෝටිවේෂන් එකක්. ආදරය වගේම අඩුපාඩු පෙන්නන එක පවා හරි ආදරයෙන් මම භාරගන්නවා.

මේ ආපු ගමන ලේසි පහසු ගමනක් නෙවෙයි නේද දිනෙන්..?

හැම ගමනකදීම මොන දේ කළත් බාධක කියන දේ තියෙනවා. එහෙම එන බාධක තමයි කෙනෙක් ජයග්‍රහණය කරා පොලඹවන්නේ. මොකද බාධක කම්කටොලු නැති වුණා නම් මේ හැමදේම අපි සරලව හිතනවා. අද වෙනකොට නිරූපණය කියන එක අභියෝගයක්. මම හැම තිස්සේම මට ලැබෙන චරිත අභියෝගයක් කරගන්නවා. ඒ හින්දා හැමදේම සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අභියෝග භාර අරන් අවබෝධයෙන් නිහඬව ගමන යන්න. ඒ වගේම කරන කියන හැමදේම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ විදියට මේ ගමන යනවා නම් බාධක ජයගන්න එක අමාරු දෙයක් නෙවෙයි.

ඒ වගේම ඔබේ ඉදිරි බලාපොරොත්තු සහ ඔබේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දැකගන්න ලැබෙන ඔබේ නිර්මාණ ගැනත් කියමු?

ඔව්. ඉදිරියේදී එන්න තියෙන බාලරාජ් කියන චිත්‍රපටය රූපගත කරලා ඉවරයි. ඒ වගේම රාජිණියේ චිත්‍රපටයත්. ලබන මාසේ තවත් සිනමා නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ තුළින් එකිනෙකට වෙනස් වූ චරිත හරහා යම් දෙයක් ගේන්න උත්සාහ කරනවා. හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයාට මාව දැක ගන්න පුළුවන් වෙයි. බලමු මොන වගේ ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයන්ගෙන් හම්බවෙයිද කියලා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post