සංගීත ක්ෂේත්‍රය තුළ පැහැදිලි දැක්මක් ඇති තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් සාර්ථක නිර්මාණකරණයක නිරත වන ඔහු දැනෙනා තුරු මා, සෙංකඩගල නුවරට, නෑසුනා, වෙරළු මල්, මල කඩ කඩ, තමරසා වැනි ජනප්‍රිය ගී ගොන්නක් දායාද කරමින්, ලාංකීය ප්‍රේක්ෂක තරුණ තරුණියන්ගේ හදවත් තුළ ලැගුම් ගෙන සිටින, නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිී දිනේෂ් ගමගේය. මේ දිග හැරෙන්නේ ඔහු සමග ගෙතුණු කතාබහයි.
දිනේෂ්… ආයුබෝවන්.. කොහොමද ඉතිං?
ආයුබෝවන්… ඇත්තටම, මේ දවස්වල ටිකක් කාර්යබහුලයි. අන්තිම වසර දෙක තුනේම ප්‍රසංගවලට ගොඩක් බිසී වුණා.
දිනේෂ්ගේ නම වගේම දිනේෂ්ගේ හඬ ඇසුණු විගස නොහඳුනන කෙනෙක් නොමැති තරම්. දිනේෂ් ගමගේ කියන චරිතයේ ආරම්භය ගැන කතා කරමු?
මගේ ගම නුවරඑළිය, ඉතින් මට මියුසික් කරන්න ලොකු ආසාවක් තිබුණා ඒ කාලේ. ඊට පස්සේ මම උසස් පෙළ කරලා ඉද්දී තමයි ලහිරු පෙරේරා අයියා වගේම මනුරංග විජේසේකර අයියා ඕඩියෝ ඉන්ජිනියරින් ඇකඩමි එකක් පටන් ගන්නේ. උසස් පෙළින් පස්සේ මම ඒකට සම්බන්ධ වුණා. ඒත් එක්කම මට ලහිරු පෙරේරා අයියාගේ ස්ටුඩියෝ එකේ ඉන්ටර්න්ෂිප් එකක් හම්බෙනවා වැඩ කරන්න. එතැනදී ලබපු එක්ස්පීරියන්ස් එකත් එක්ක ගොඩක් වැඩ කරලා එතැනින් තමයි සින්දු හදන්න පටන් ගත්තේ මම.
ඔබේ ගීත මෙන්ම ඒ සඳහා එක්වන මියුසික් වීඩියෝ වෙනස්ම ආකාරයකින් ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරනවා. ඇත්තටම ඔබ කොහොමද එවැනි මැජික් එකක් දැනෙන්න ඉදිරිපත් කරන්නේ?
ඇත්තටම මට හිතෙනවා එකම විදිහකට කොටු නොවී හැමදේම එක්ස්පීරියන්ස් කරලා බලන්න. ලෝකේ ගොඩක් මියුසික් ස්ටයිල්ස් තියෙනවා. ඉතින් මියුසික් වීඩියෝ හැදෙන්නෙත් රෙෆරන්ස් වෙන්නෙත් පිටරට අපි බලන දේවල් එක්ක අපේ දේවල් එකතු කරගෙන. අලුත් නිර්මාණ කරන්න තමයි මම ඇත්තටම කැමැති.
ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ගේ හදවතේ රැඳුණු ආදරණීය ගායන ශිල්පියෙක් ලෙස ලැගුම් ගෙන අවසන්. ඉතින් මොකද හිතෙන්නේ මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන?
ඇත්තටම මේක කියන්නට ඕනේ, මේ ලැබෙන ආදරය නිසා තමයි අද වෙනකම් මියුසික් සතුටින් ආසාවෙන් කරගෙන යන්නේ. ඒ ලැබෙන ආදරය ඉදිරියටත් ඒ විදිහටම ලැබෙයි කියලා හිතෙනවා. මම විශ්වාස කරනවා මම ජීවිතයේ හම්බ කරගත්ත ලොකුම දේ තමයි මිනිස්සුන්ගේ ආදරේ කියලා. හරිම සතුටුයි මට ඒ ගැන.
ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කියන ගායන තරුවක් ඔබ. ගායකයෙක් විදිහට ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
ඔව්. මුලින්ම නිර්මාණයක් කරද්දී මට ඒ ගැන සතුටු වෙන්න ඕනෙ, මම තෘප්තිමත් වෙන්න ඕනෙ. මම සතුටු නිර්මාණ කරන්න තමයි කැමැති. මම නිර්මාණ කරන සින්දුවලදී එකම රාමුවකට කොටු වෙන්නෙ නෑ. වෙනස් වෙනස් නිර්මාණ කරනවා. මගේ විරහ ගීත, නටන සින්දු අහන කොටසක් වෙන්වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම කිව්වොත් මට ඒ ගැන ගොඩක් සතුටුයි.
ඔබේ ආදරයේ හිමිකාරිය ශනුද්‍රි ප්‍රියසාද් ගැන කතා කරමු දිනේෂ්?
ආදරයේ හිමිකාරිය ගැන කියන්න තියෙන්නේ අපි ආදරෙන් හොඳින් සතුටින් ඉන්නවා කියලා තමයි. ඔව් ඉතින් අපි සතුටින් ඉන්නවා.
කාංචනා අනුරාධි සහ දිනේෂ් ගමගේ සුසංයෝගය කියන්නේ ප්‍රේමණීය හදවත්වල සියුම් තැන් පවා ස්පර්ශ කරන සුසංයෝගයක් නේද?
ඇත්තටම කාංචනාගෙයි මගෙයි අලුත්ම සින්දුවක් ඉතාම මෑතකදී රිලීස් වෙන්න තියෙනවා. ඒකත් කරන්නේ දැනෙනා තුරු මා ටීම් එකම තමයි. කාංචනායි මායි තව සින්දු ටිකක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් නුදුරේදීම තව මගෙයි කාංචනාගෙයි සින්දුවක් එන්න තියෙනවා. මම හිතනවා ඒක ඔයාලා ගොඩක් ආදරය කරන සින්දුවක් වෙයි කියලා. කාංචනා අනුරාධි කියන්නේ සංගීතය පටන් ගත්ත කාලේ ඉඳන් මා එක්ක හිටපු යාළුවෙක්ට එහා ගිය සහෝදර බැඳීමක් කිව්වොත් හරි.
ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද කිව්වොත්?
ඇත්තටම මට තියෙන විශේෂතම බලාපොරොත්තුව තමයි හොඳ නිර්මාණ ටිකක් ඉදිරියට එළියට දාන්න. මොකද මම කාලයක් පොඩි බ්‍රේක් එකක් අරගෙන හිටියේ කොන්සර්ට් එක්ක. ඉතින් මගේ ටැමිල් සෝන්ග් ටික අනිවාර්යයෙන් ඉස්සරහට ඔයාලට බලාගන්න පුළුවන්.
සංජය මධුවන්ත