සිංහල සිනමාවේ අලුත්ම සිනමා අධ්‍යක්ෂවරිය -ශලනි තාරකා

gossiplanka image 1
 


මේ දිනවල කා අතරත් කතා බහට ලක් වෙන චරිතයක් තමයි ශලනි තාරකා. එයට හේතුව බොහොම නිහඬව සිය කුලුඳුල් සිනමා නිර්මාණය තිර රචනා කරලා අධ්‍යක්ෂණය කරලා එහි පූර්ව ප්‍රචාරක පටයක් සහ නිල පෝස්ටර් එක එළිදැක්වීම මහත් උත්සවශ්‍රීයෙන් පැවැත් වූ නිසා. රංගන ශිල්පිනියක්ව සිට අධ්‍යක්ෂ භූමිකාවට එකතු වූ හත් වෙනි අධ්‍යක්ෂවරිය ලෙස සිනමා පොත් අලුත් කරපු ශලනි එක්ක රසඳුන කළ කෙටි කතා බහයි මේ…


‘ප්‍රේමියේ‘ චිත්‍රපටයේ තේමාව සහ තිර පිටපත නිර්මාණය වූයේ කෙසේද?


මුලින්ම මට අවශ්‍ය වුණා ආදරේ පිරුණු ආදර කතාවක් සිනමාවට නඟන්න. ඒ නිසා මම අසිංසලා අක්කාට කතා කරලා කිවුවා මට ප්ලොට් එකක් ඕනේ කියලා. එහෙම කිවුවට පස්සේ තමයි අසිංසලා අක්කා මට මේ ප්ලොට් එක එව්වේ. ඊට පස්සේ අපි දෙන්නා කතා කරලා පිටපත සකස් කර ගත්තා. තිර රචනාව මම ලියද්දි මට අවශ්‍ය විදිහට චරිත ගොඩ නඟාගෙන කතාවේ යම් යම් දේවල් වෙනස් කරගෙන හදා ගත්තා.


කැමරාව ඉදිරිපිට සිටිනවාට වඩා කැමරාව පිටුපස සිට වැඩ කිරීමේදී ලැබුණු ලොකුම අභියෝගය කුමක්ද?


කැමරාව ඉදිරිපිට ඉන්නවට වඩා කැමරාව පිටුපස සිටීම ලොකු අභියෝගයක්. මට ඒ අභියෝගය තදින්ම දැනුණා. මෙහි අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන භූමිකාවත් කරන්නේ මම. ඒ නිසා රඟපාන ගමන් අධ්‍යක්ෂණය කරන්න තිබුණේ. කණ්ඩායමෙන් මට හොඳ සහයෝගයක් ලැබුණා. මේ චිත්‍රපටයේ අවධානය යොමු කරන්න කරුණු කිහිපයක් තිබුණා. අවශ්‍ය විදිහට ෂොට් එක ගන්න එක සහ මට අවශ්‍යම දේ චරිත නිරූපණය කරන අයගෙන් ලබා ගන්න එක. ඒ එක්කම මගේ චරිතේ කොහොමද නිරූපණය වෙන්නේ කියන හැමදේම ඔළුවේ තියාගෙන වැඩ කරන්න වුණා. ඒක ලොකු අභියෝගයක් වුණත් කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය එක්ක ඒක ලොකු බරක් වුණේ නැහැ.


චිත්‍රපටයේ අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන නිළිය ලෙසත් කටයුතු කිරීමේදී කාර්යබහුලත්වය කළමනාකරණය කරගත්තේ කෙසේද?


රඟපෑමයි අධ්‍යක්ෂණයයි එකට කරන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. නමුත් මෙහි තිරපිටපත මගේ නිසා මට ගොඩක් වෙලාවට චරිතේ ගලාගෙන යන විදිහ ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ එක්කම මම ආධුනික වෙන්නේ අධ්‍යක්ෂණයට. එතැනදී කැමරා අධ්‍යක්ෂක සහ මගේ කණ්ඩායමේ ශාන් මට උදවු කළා.


ප්‍රධාන නළු නිළියන් අතර තිබෙන රංගන සුසංයෝගය ගැන මොකද හිතෙන්නේ?


ධනුක සහ මගේ Chemistry එක ප්‍රේක්ෂකයින් දැකලා නැහැ. කාලයකට කලින් ටෙලි නාට්‍යය දෙක තුනක වැඩ කරලා තිබුණට ඒවා ප්‍රේක්ෂකයින් අතරට ලොකුවට ගිය මතකයන් නැහැ. ඒ නිසා ධනුක සහ මගේ Chemistry එක ප්‍රථම වරට තමයි ප්‍රේක්ෂකයින්ට දැක ගන්න ලැබෙන්නේ. හැබැයි දර්ශන් මුලින්ම වැඩ කළේ මා එක්ක. ‘සී යූ‘ ටෙලි නාට්‍යයෙන් දර්ශන් සහ මගේ රංගනය ප්‍රේක්ෂකයෝ දැකලා තියෙනවා. හැබැයි ඔහුගේ පෙනුම සම්පුර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙනස් වීමත් ප්‍රේක්ෂකයින්ට නැවුම් විදිහට දැක ගන්න පුළුවන් වෙයි.


චිත්‍රපටයේ සංගීතය සහ ගීත නිර්මාණය සඳහා දායක කරගත්තේ කවුද?


චිත්‍රපටයේ පසුබිම් සංගීතය කරන්නේ ක්‍රිෂාන් කරුණාරත්න. ඔහුගේ ගීත 4ක් ඇතුළත් වෙනවා. ඒ වගේම දිලුම් නුරාද මේකේ ගීතයක් ගායනා කරනවා.


ඒ වගේම මේකේ හඬ භාවිත කරලා තියෙනවා බාචි සුසාන්, රවින් තාරුක, ක්‍රිෂාන් කරුණාරත්න, දිලුම් නුරාද, අපූර්වා අශාවරි, මහේෂා සඳමාලි. එතකොට තව ගීතයකට අපි තාම හඬ හරියටම තීරණය කරලා නැහැ.


නිෂ්පාදක මාලන් ෆ්‍රැන්සිස් ඇතුළු තාක්ෂණික ශිල්පීන්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?


අපේ නිෂ්පාදකවරයා ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔහු අපිට කිසිම බාධකයක් නැතුව චිත්‍රපටය කරගෙන යන්න අවශ්‍ය මූලික පහසුකම් සියලු දේම සලසා දුන්නා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් අපිට ලොකු සහයෝගයක් දුන්නා. මගේ කැමරා අධ්‍යක්ෂක වුණේ ගෝපි. මම මවපු රූප ඒ විදිහටම, ඊටත් වඩා ගොඩක් හොඳට අරන් දුන්නාට ඔහුට ගොඩක් ස්තුතිවන්ත වෙනවා ලබාදුන් දායකත්වයට. චිත්‍රපටයේ ගොඩක් වැඩ තියෙනවා. ඒ හැමදේම ඉතාම සාර්ථකව ඉවර කරගන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. විශේෂයෙන්ම නුවන්න අයියා නිසයි අපට මේ චිත්‍රපටය පටන් ගන්න පුළුවන් වුණේ.


‘ප්‍රේමියේ‘ කවද්ද අපට දකින්න පුළුවන්?


දැනට අපිට නිශ්චිත දිනයක් කියන්න බැහැ. ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරට ගෙන ඒමයි අපේ අරමුණ.


ඉදිරියටත් රංගනයට වඩා අධ්‍යක්ෂණයට මුල් තැන දීමට අදහසක් තිබෙනවාද?


මම හිතන්නේ නෑ රංගනයට වඩා අධ්‍යක්ෂණයට මුල් තැන දෙයි කියලා. මගේ පළවෙනි අත්දැකීම කොච්චර සාර්ථකද කියලා ප්‍රේක්ෂකයෝ තිරණය කරයි. දැනට නම් ලැබෙන ප්‍රචාර ඉතාමත් හොඳයි. ප්‍රේමියේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර බලලා තමයි තවදුරටත් චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවාද නැද්ද කියලා තීරණය කරන්නේ. හැබැයි රංගනය කියන එක ඇඟෙන් යවන්න අමාරුයි.


ඔබම කියනවා ශලනියි ප්‍රශ්නයි රේල් පීලි දෙක වගේ කියලා, ජීවිතේට ආව ප්‍රශ්න ශලනිව කොයි තරම් ශක්තිමත් කළද?


මම හිතනවා ප්‍රශ්නම තමයි අපිව හැමවෙලේම මෝටිවේට් කරන්නේ. ප්‍රශ්න එන්න එන්න මම හරි කැමතියි. හේතුව එයින් මට තවත් ශක්තිය ලැබෙනවා. මට මිනිස්සු හදාගන්න පුළුවන් වෙනවා. ඒ හැම දෙයක් එක්කම මම හිතනවා ඒකෙන් වැටෙනවට වඩා ලැබෙන පන්නරය තුළින් තවත් අලුත් දේවල් කරන්න මාව මෝටිවේට් වෙනවා කියලා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post