හැමදාම ආස කරපු ක්ෂේත්‍රයක අද මං ඉන්නේ -විහාරා ජයසිංහ

gossiplanka image 1
ජහුටා නාට්‍යය බලන කෙනෙක් නම් ඔබට අමුතුවෙන්ම අංජලි ගැන කිව යුතු නැහැ. මේ දිනවල කාගේත් කතාබහට ලක් වෙලා ඉන්න චරිතයක් තමයි අංජලි කියන්නේ. අංජලි ලෙසින් ප්‍රේක්ෂකයා ඉදිරියට එන්නේ විහාරා ජයසිංහ. විහාරා ජයසිංහ මුලින්ම නිවේදන ක්ෂේත්‍රය තුළින් ප්‍රේක්ෂකයා අතරට පැමිණි කෙනෙක්. අද වෙද්දී නම් රංගනය වගේම මෝටර් රථ ධාවන තරග හරහා ද අපට විහාරා දැක ගන්න පුළුවන්.


විහාරා නිවේදන ක්ෂේත්‍රයෙන් රංගනයට එන්න හිතුවෙ ඇයි


රංගනය තමයි මම මුල ඉඳන්ම ආදරේ කරපු, ආස කරපු, හීන දැකපු ක්ෂේත්‍රය. නිවේදනයට ආවේ අහම්බෙන් වගේ. මම අදටත් නිවේදනය අමතක කරලා නැහැ.


මුල්ම රංගනය මොකක් ද?


සල්ලි පොකුරු නාට්‍යයේ අමිලා කියන චරිතය. ඒ කියන්නේ සුදු අක්කගේ නංගි.


ජහුටාහි අංජලි වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නෙ?


ඇත්තටම හරිම සතුටුයි. අංජලිකා චරිතයට මාව තෝරගන්නේ සද්ධාමංගල සූරියබණ්ඩාර සර්. චරිතය ගැන කියද්දිවත් මං හිතුවෙ නෑ නාට්‍යයට බලපෑමක් කරන්න පුළුවන් හැමෝම කතා වෙන චරිතයක් වෙයි කියලා.. ආසාවෙන් භාරගත්තා අංජලිකාව. සර්ට සහ චේතනී මිස්ට තමයි ස්තූතිවන්ත වෙන්න ඕන අංජලිකාව මට භාරදුන්නට.


අංජලි ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩාක් හොඳ ප්‍රතිචාර තියෙනවා. අංජලිකා ටිකක් කපටි රැවටිලිකාර චරිතයක් නිසා මං හිතුවේ නෑ ප්‍රේක්ෂකයා ආදරෙන් ඒ චරිතය භාරගනි කියල. ඒත් හැමෝම වගේ හරි ආදරෙන් මගේ රංගනය භාරගත්තා.


ජහුටා හැර නව නිර්මාණවලට ආරාධනා ලැබුණද?


නිර්මාණ කිහිපයක් තියෙනවා.. තාම වැඩ පටන් අරන් නැහැ. ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි.


රේසින් වාහන පදින්න පුරුදු වුණේ කොහොමද?


මගේ සැමියා තමයි ඒ ආසාව මට ඇති කළේ. මම මුලින්ම එයා රේස් පදිනවා බලන්න ගියේ.. එයාම කිව්වා මට කාන්තා අංශයේ තරගයට පදින්න කියලා. මගෙ සැමියම තමයි මගේ උපදේශකවරයා වෙන්නෙත්..


මේ වෙද්දී ලබා තියෙන ජයග්‍රහණ මොනවාද?


රේස්වලට නම් මම තාම අලුත්. තරග අවස්ථා තුනකට වගේ තමයි දැනට සහභාගි වෙලා තියෙන්නේ.. ඒ අතරින් අවසානෙට සහභාගි වුණු මහමෙරුව 4×4 රේස් එක තුන්වන ස්ථානය ගත්තා.


මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


මේ හැම වැඩකටම ගෙදරින් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මොකද මේ හැම වැඩක් එක්කම මගේ මනෝවිද්‍යාව හා උපදේශන උපාධියේ වැඩකටයුතුත් තියෙනවා. ඉගෙන ගන්න, රංගනයට, රේස් වලට ඕන කරන මානසික නිදහස මට උපරිමයෙන් ගෙදරින් ලැබෙනවා.


වැඩියෙන්ම කැමති රංගනයට ද මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට ද?


මම කැමැති රංගනයට. මට තේරෙන වයසෙ ඉදන්ම කවුරුහරි මගෙන් ඔයා ලොකු වුණාම වෙන්නේ කවුද කියලා ඇහුවම මම දෙපාරක් නොහිතා කියන්නෙම නිළියක් වෙනවා කියලා.


විහාරා සහ අංජලි ගේ සමානකම් තියෙනවද?


නැහැ මං හිතන්නේ. අංජලිකා වගේ විහාරා කොල්ලො රවට්ටන්නේ නැහැ.


අංජලීට ආදරේ කරන ප්‍රේක්ෂකයන් ට කියන්න තියෙන්නෙ මොනවාද?


අංජලිකාව යහමඟට ගන්න වෙන්නෙත් ඔයාලටම තමයි. ඒ නිසා දිගටම අංජලිකා එක්ක ආදරෙන් ඉන්න.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post