අශේන් සිරිවර්ධන බොහෝවිට අපට හමුවී ඇත්තේ ආකර්ෂණීය චරිත ඔස්සේය. මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘සිහිනෙක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ ‘දිනෙත්‘ ඊට හාත්පසින්ම වෙනස් භූමිකාවකි. දිනෙත්, අශේන්ගේ රංගන පරාසය වෙනමම මානයකට ගෙනයන්නට සමත් වී ඇත. දිනෙත්ගේ භූමිකාවට මනා සාධාරණයක් ඉටු කරන අශේන් මේ දිනවල දැඩි ප්‍රේක්ෂක දෝෂාරෝපණයට හසුවී ඇති බවද පැහැදිලිය. පුංචි තිරය දෙසින් එවන් තත්ත්වයක් උද්ගත වී තිබුණද රිදී තිරය දෙසින් පෙනෙන්නේ ඉතාම සතුටුදායක වාතාවරණයකි. අද අපේ කතාබහ අශේන් සිරිවර්ධන සමඟිනි.
අශේන් මේ දවස්වල පුංචි තිරයේ වෙනස් විදිහකට දකිනවා. ඇයි දිනෙත් වගේ චරිතයක් කරන්න හිතුණේ?
ඔව්. මේ දවස්වල මම වෙනස් චරිත හොයාගෙන යනවා. අපි ඒවගේ චරිත කරල තියෙනවද නැද්ද කියලවත් සමහරු දන්නෙ නැහැ. එක තැනකදී මටම අහන්න ලැබුණු විදිහට අපිව කැටගරි කරලා තියෙන්නේ මල් චරිත, සීනිබෝල චරිතවලටම සීමා වුණු නළුවෝ විදිහට. මම අපේ ක්ෂේත්‍රයේම ප්‍රවීණයන්ගෙන් අහලා බැලුවා ඇයි සමහරු අපිව එහෙම කැටගරි කරලා තියෙන්නේ, ඇයි එහෙම චරිත නැද්ද කියලා. මේ හේතුව නිසා මම දැන් ග්ලැමර් චරිත කරන එක ගොඩක්ම අතහැරලා වෙනස් වෙනස් චරිත හොයනවා. එකම රාමුවකට කොටු නොවී ඉන්නයි මං දැන් උත්සාහ කරන්නේ. සිහිනෙක තනිවෙලා දිනෙත් කියන්නේ මට ලැබුණු වෙනස් චරිතයක්.
ඇත්තටම දිනෙත්ලා වගේ අය මේ සමාජයේ ඉන්නවද?
‘හිරිපොද වැස්ස’ ගෙවින් වගේම ‘සිහිනෙක තනිවෙලා’ දිනෙත් නිර්මාණය කරන්නෙත් තිමිර උඩලමත්ත අයියා. ගෙවින් ගත්තොත් අසාධාරණයට එරෙහිව වැඩ කරන හරිම ආදරණීය චරිතයක්. දිනෙත් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් රුපියල් සීයක් ලැබුණත් ඒක අරන් බූරුපොළට යන, වාසියට ඕනෑම ජරා වැඩක් කරන, කාටවත් පේන්න බැරි මගෝඩි වැඩ කරන චරිතයක්. මං ඒ වගේ චරිත ගැන කියවලා ගොඩක් අධ්‍යයනය කළා. සැබෑ ජීවිතේත් ඒ වගේ චරිත හමුවෙලා තියෙනවා. දිනෙත්ට පාදක කරගත්තෙත් ඒ වගේ සැබෑ ජීවිතේදී මට මුණගැහිල තියෙන එක් චරිතයක්. ඔහුත් ඒ චරිතය දැකලා හිනා වෙවී මේ මම නේද කියලත් ඇහුවා. බලන මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මෙහෙම අය ඉන්නවද කියලත්. ඔව්. ඇත්තටම ඉන්නවා.
කොහොමද දිනෙත්ව මේ විදිහට ගොඩනඟාගත්තේ?
දිනෙත් කියන්නේ ගොඩක්ම හාස්‍යයට බර විලන් කැරැක්ටර් එකක්. මම හාස්‍යජනක චරිතයක් කරන තුන්වැනි අවස්ථාව. මේ චරිතය තුළ යම් සත්‍යතාවක් තිබීම තමයි විශේෂත්වය. දිනෙත් විලන් කෙනෙක් වුණාට මට ඕනවුණා ඒකට වෙනසක් කරන්න. තිමිර අයියගෙනුත් ඒකට සම්පූර්ණ නිදහස ලැබුණා. ඔහුගේ එකම ඉල්ලීම වුණේ ග්ලැමර් පැත්තෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා බලන අයට එපා වන විදිහට කරන්න කියන එක. මෙතෙක් කල් ප්‍රේමවන්තයා, වීරයා, මාෂල් ආර්ට් කැරැක්ටර්ස් කර කරම ඉඳලා මටත් ඕන වුණේ මේ වගේ වෙනසක් කරන්න. ඒ කැපෑසිටි එක, ඒ රේන්ජ් එක මට තියෙනවා කියන එක මං දැනන් හිටියා. රංගන ශිල්පියෙක් වුණහම එහෙම වෙන්න ඕන. මෙතෙක් මොන විදිහටද චරිත කරල තියෙන්නේ එය අබිබවා යනවානම් ඒකට කියන්නේ මම මගේ හැකියාව පෙන්වනවා කියන එකනේ. ඒක මගේ හිතට ලොකු සතුටක්.
දිනෙත්ට ලැබෙන ප්‍රතිචාරවල නම් සතුටුදායක තත්ත්වයක් නැහැ නේද?
ප්‍රතිචාර ඉහළයි. නමුත් ප්‍රතිචාර ගැන නම් කතා කරන්න බෑ. සමහරු අම්මට තාත්තටත් එක්කමයි ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. නමුත් මං ඒ ප්‍රතිචාර දිහා බලලා හිනාවෙනවා. මම ඒකෙන් අමුතුම සතුටක් ලබනවා. දිනෙත් ගැන ඇත්තටම ඒ අයගේ හිතට වෛරයක් ඇවිත් මට ඒ විදිහට බණිනවා කියන්නේ මම ඒ චරිතය හොඳටම කරනවා කියන එකනේ. ඒකයි සතුට.
මේ දවස්වල ඔබ පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙනවා?
මේ දවස්වල මං රඟපෑ නාට්‍ය තුනක් විකාශය වෙනවා. ස්වර්ණවාහිනියේ ‘හිරිපොද වැස්ස‘, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ‘සිහිනෙක තනිවෙලා‘ සහ ජාතික රූපවාහිනියේත් පළමුවැනි වතාවට ‘අමුතු සංක්‍රාන්තිය‘. අමුතු සංක්‍රාන්තිය කපිල සමරකෝන්ගේ නිර්මාණයක්. මීට කලින් මං ඔහුත් එක්ක ‘අළුගෝසුවා‘ කියලා ටෙලි ෆිල්ම් එකක වැඩ කළා. “මල්ලී මං ඔයාගෙ ඇක්ටින් කැපෑසිටි එක හරියටම අඳුනගත්තෙ අදනේ, ඔයා මල් නළුවෙක් නෙවෙයි මගේ රූපවාහිනියේ වැඩේට මං ඔයාව ගන්නවා“ කියලා එදා ඔහු කිව්වා. ඒකෙන් මට තේරුණේ මං දැන් යන පාර හරි කියලා. ඒ වගේ කෙනෙක්ගෙන් එහෙම අහන්න ලැබෙනවා කියන්නෙම මට මාර වාව් එකක්. ඒ වගේම බුද්ධික ජයරත්න අයියාවත් මතක් කරන්නම ඕන. මං කරන ඕනෙම වැඩක් බලලා ඔහුගෙන් මට ප්‍රතිචාර වගේම අවශ්‍ය උපදෙසුත් ලැබෙනවා. ඉදිරියේදී සාරංග මෙන්ඩිස්ගේ අලුත්ම ටෙලි නිර්මාණයක් එන්න තියෙනවා.
පහුගිය දවස්වල ඔබ සිනමාවේත් පෙරළියක් කළා නේද?
ඔව්. ඒක මගේ පළමුවැනි සිනමා අත්දැකීම. දැනටත් නෙට්ෆ්ලික්ස් එකේ යන ‘විත් ලව්’ කියන ඉන්දියානු මලයාලම් චිත්‍රපටය ආදරෙන් කියලා රීමේක් එකක් කළා. මේක කොපියක් නෙවෙයි. ගීතත් සිංහලට හරවන්න පුළුවන් විදිහට ඔරිජිනල් රයිට්ස් අරන් මෙහේ කරන රීමේක් එකක්. හරියට ධර්මයුද්ධය වගේ. ඒ කියන්නේ මගේ පළමුවැනි සිනමා අත්දැකීම වෙන්නේ ජාත්‍යන්තර ප්ලැට්ෆෝම් එකක මේ වනවිටත් විකාශය වන ෆිල්ම් එකක සිංහල රීමේක් එකක ප්‍රධාන චරිත හතරෙන් එකක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සේනක විජේසිංහ. මගේ පළමුවැනි සිනමා අධ්‍යක්ෂවරයා ඔහු. ඔහුත් එක්ක මං මේ වැඩ කරන්නේ තුන්වැනි වතාවට. තව මාෂල් ආර්ට් වැඩකුත් කරගෙන යනවා. ඔහුත් මාෂල් ආර්ට් කරන කෙනෙක් විදිහට මේක මාෂල් ආර්ට් වැඩක් නොවීත් මාව තෝරගන්නවා කියන්නෙ මට මේක කරන්න පුළුවන් කියන විශ්වාසය ඔහු තුළ තියෙනවා කියන එකනේ. ඒකෙ ගෞරවය නිතැතින්ම ඔහුට හිමිවෙනවා.
‘ආදරෙන්’ කියන්නේ මොනවගේ අත්දැකීමක්ද කියනවා නම්?
ගොඩක්ම ආදරණීය, හාස්‍ය මුසු, නව පරම්පරාවටත් අදාළව පොඩි රාමුවක් ඇතුළේ ගොඩනැඟෙන ලස්සන කතාවක්.
ආදරවන්තයා, දුෂ්ටයා, විකටයා, මාෂල් ආර්ට් මේ ඕනෑම කැරැක්ටර් එකකට දැන් ඔබ සුදුසුයි කියන තැන ඔබ ඉන්නවා. වඩාත්ම කැමැති මොන පැත්තටද?
මං වඩාත්ම කැමැති මාෂල් ආර්ට් චරිතයක් කරන්න. මම මෙතෙක් මාෂල් ආර්ට් වැඩ පෙන්නලා තිබුණට මාෂල් ආර්ට් චරිතයක් විදිහට මං තාම කරලම නැහැ. ඉන්දියාවේ ටයිගර් ශෙරෝප්, විදු ජමාල්, අමෙරිකාවේ වෑන්ඩෑම්, බෘෘස්ලී, ජැකී චෑන් වගේ හීරෝ ප්‍රමුඛ වුණු මාෂල් ආර්ට් චරිතයක් කරන්න තමයි ආසම. ජෙට්ලිගේ ෆයිටින් ස්ටයිල් එකට මං හරිම ආසයි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. බලමුකො ඒ වගේ චරිතයකට මට ආරාධනා ලැබෙන්නේ කාගෙන්ද කියලා.
මාෂල් ආර්ට් කලාව ඔබේ නිර්මාණවලට යොදාගත් අවස්ථා සිහිපත් කරනවා නම්?
ගොඩක් අවස්ථාවල මාෂල් ආර්ට් මගේ චරිතවලට යොදාගෙන තියෙනවා. මුලින්ම යොදාගත්තේ මං ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණු ‘අහස් මාලිගා‘ ටෙලි නිර්මාණයට. එහි නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කළ ප්‍රභාත් රෝෂන් මට කිව්වේ අත්දැකීම් අඩු වුණත් ඔයාව මේ චරිතයට තෝරගන්න ලොකුම හේතුව වුණේ ඔයාගෙ මාෂල් ආර්ට් පසුබිම නිසා කියලා. මාෂල් ආර්ට්වල ග්‍රේඩ් ටෙන් වෙද්දි මං මගේ පළමුවැනි බ්ලැක් බෙල්ට් එක ගත්තා. ඒකෙන් පස්සේ දිගින් දිගටම කරගෙන ආවා. ජාතික මට්ටමේ ජයග්‍රහණ පස් වතාවක් ගත්තා. අමෙරිකන් සහ ඉන්දියන් රන් පදක්කම්ලාභියා වුණා. 2017 වසරේදී චීන ලෝක ශූරතාවලියෙන් හතරවැනියා වුණා. ඒත් එක්ක ලබපු පුහුණුවත් එක්කයි මම මේ ගමන ආවේ. ඒ නිසා මම රියල් මාෂල් ආර්ටිස්ට් කෙනෙක් කියන්න පුළුවන්. නළුවෙක් විදිහට මාෂල් ආර්ට් යොදාගැනීම ෆේක් එකක් වුණාට ඒක රියල් විදිහට කරන තාක්ෂණය මම දන්නවා. ඒ වගේම රංගනය පැත්තෙනුත් මං ගොඩක් දේවල් හදාරලා තියෙනවා. අනෝජා වීරසිංහ මහත්මියගේ පාසලෙන් වගේම වෙනත් රංගන පාසල්වලින් ඉගෙනගෙන තියෙනවා. වැඩමුළුවලට සම්බන්ධ වෙලා ඒ දැනුම ලබාගෙන තියෙනවා. ගොඩක් වෙලාවට මම ෆිල්ම්ස් බලන්නේ මියුට් කරලා. කෙනෙක් ඩයලොග් කියද්දී අනෙක් කෙනා දෙන රිඇක්ෂන් ටික ඉගෙන ගන්නවා කියන්නේ වෙනම කොලිටියක්. ඔස්කා දිනපු විතරක් නෙවෙයි නිර්දේශ වුණු ෆිල්ම් ටිකත් අරන් මං කැමැති ඇක්ටර් කෙනෙක් හිතාගෙන එයා කොහොමද ඩයලොග්වලට රිඇක්ට් කරන්නේ, එයා කොහොමද කැමරාවට මුහුණ දෙන්නේ කියලා එයා දිහා බලාගෙන ඒවා සටහන් කරගන්නවා. මට අවශ්‍ය තැන්වලදී මං ටූල්ස් විදිහට පාවිච්චි කරන්නේ ඒවා.
මාෂල් ආර්ට්වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මාෂල් ආර්ට් ටෙක්නික්ස් විදිහට ගත්තොත් මගේ කොරියෝග්‍රැෆි එක මමම හදනවා. මගේ ස්ටෑන්ඩ් ටීම් එකක් ඉන්නවා. එයාලව ගෙන්නල කරන අවස්ථාත් තියෙනවා. එහෙම නැත්නම් එතන ඉන්න කට්ටිය ඒ දේට සූදානම් කරනවා. සටන් අධ්‍යක්ෂවරයෙක් නැති අවස්ථාවල මම ඒ අයත් එක්ක නැඹුරුවෙලා එතනට අවශ්‍ය විසඳුම දෙනවා. අපි මේ ක්ෂේත්‍රයට දෙයක් කළොත් තමයි මේ ක්ෂේත්‍රයෙන් අපිට දෙයක් ලැබෙන්නේ. ඒක මම නිතරම ඔළුවේ තියාගෙනයි වැඩ කරන්නේ. මම ගොඩක් වැඩවලදී මාෂල් ආර්ට් කෑලි දාන නිසායි ප්‍රේක්ෂකයන්ටත් මාව ගොඩක්ම දැනිලා තියෙන්නේ. අශේන් ඉන්නවා නම් ඒකෙ කතා දෙකක් නෑ කියලා කියන තැනට ප්‍රේක්ෂයන්ට ඒක වැදිලා තියෙන්නේ.
අශේන්ගේ ඉදිරි කටයුතු මොන වගේද?
මේ දවස්වල කටාන සෝඩ් එකත් එක්ක මගේ සමුරායි ස්ටඩී එකත් කරගෙන යනවා. ඒකත් මාෂල් ආර්ට් ගමනේම ඉදිරියක්. දැනට මං සමුරායි බ්ලූ බෙල්ට් එකේ ඉන්නේ. ඒක බ්ලැක් බෙල්ට් එක කරගන්න ඕන. මාෂල් ආර්ට් ගුරුවරයෙක් විදිහට වගේම සමුරායි ගුරුවරයෙක් විදිහටත් ඉදිරියේදී දකින්න ලැබේවි. මගේම කියලා ඉන්ස්ටිටියුට් එකක් පටන් ගන්නත් අදහසක් තියෙනවා. තව නිර්මාණ දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. රඟපාන්න තමයි මම ආසම. එතනදියි මං අලුත් කෙනෙක් විදිහට ලෝකය දකින්නේ. මං මගේ ඇක්ට් එකකදි හැම පුංචි ඩීටේල් එකක් ගැනම අවධානය යොමු කරනවා. මං ඇක්ට් කරන්නේ මගේ සීමාවන් ඇතුළේ ඉඳන්. මං හැමදාම හීන දැක්කෙ මේ ක්ෂේත්‍රයට. මට ඒක ලැබිල තියෙනවා. මං හරි ආදරෙන් ඒ දේ රැකගෙන යනවා. දුම්පානය, මත්පැන් පානය වෙනත් වැරැදි කිසිවක් මං කරන්නේ නැහැ. චරිතයකටවත් මං ඒ දේවල් කරන්නෙ නැහැ. ඒ වගේ චරිත ලැබුණොත් හරිම කාරුණිකව පැහැදිලි කරලා දීලා චරිතයෙන් ඉවත් වෙනවා. මං දාගනිපු ඒ බැරියර්ස් ටික මං කවදාවත් කඩන්නෑ.