ඩෙල්ෆ්ට් සමඟ රංගනයට එන සැන්ඩා ලී

gossiplanka image 1
 

අද අපේ කතා නායිකාව සැන්ඩා ලි. ඇය තමයි මේ දිනවල විකාශය වන ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ලද ‘ඩෙල්ෆ්ට්’ නාට්‍යයේ නේහා. රංගන ශිල්පිනියක් ලෙස තිරෙන් අපි දකින ඇය, ‘ඩෙල්ෆ්ට්’ නාට්‍යයේ තිරෙන් පිටුපස ඉන්න සංස්කාරකවරියත් ද වෙනවා.. මේ සියල්ල ගැනයි ‘රසදුන’ මේ කතාබහ


මුලින්ම කියන්නකෝ සඳලී ඉමාෂිකා දෙනෙත්මි ගුණතුංග කොහොමද සැන්ඩා ලි වුනේ කියලා?


මගේ සම්පූර්ණ නම සඳලී ඉමාෂිකා දෙනෙත්මි ගුණතුංග. මගේ ගම පොල්ගහවෙල. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත්තේ කුරුණෑගල ශාන්ත බර්නාදෙත් මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ උසස් පෙළ සඳහා කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මගේ පවුලේ ඉන්නෙ අම්මයි, අප්පච්චි, මල්ලියි, මමයි. ගෙදර අය මට ආදරේට කතා කරන්නේ ‘සඳලු’ කියලා.. ඒ වගේම මගේ ළඟම අය සහ යාළුවෝ ගොඩක් මාව දන්නේ ‘සැන්ඩා’ (Zanda Lee) කියන නමින්. මමත් ඒ නමට ගොඩක් ආසයි…ඒ නිසා මම වැඩිපුරම පාවිච්චි කරන්නෙ Zanda Lee කියන නම.


කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ


පුංචි කාලේ ඉඳන්ම මම කලා ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි. මට හොඳටම මතකයි, මම හයේ පංතියේ විතර , හැමදාම ඉස්කෝලේ ඉවර වෙලා එනකොට ටීවී එකේ ඒ වෙලාවට පරණ චිත්‍රපට යනවා. මම ඒවා බලන්න හරිම ආසයි. ඒක ඉවර වෙනකම්ම මම ටීවී එක ඉස්සරහින් නැගිටින්නේ නැහැ. ඒක මගේ පුංචි කාලෙ මතකයන් අතරින් එකක්. පස්සේ මම වෘත්තියක් විදිහට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සහය සංස්කරණ ශිල්පිනියක් විදිහට. ඒ නාමල් ජයසිංහ මහතා යටතේ ‘ස්කයි ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්’ ආයතනයේ. ඊට පස්සේ තමයි මම ප්‍රවීණ සිනමාවේදී ලලිත් රත්නායක මහත්මයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. මුලින්ම එතුමාගේ ‘Acting for the Camera’ පාඨමාලාවේ ළමයින්ගේ වැඩකට එතුමගෙ සහය අධ්‍යක්ෂවරයා කතා කළා. නමුත් ඒ වෙනකොට මම රංගනය පිළිබඳව කිසිම හැදෑරීමක් කරලා තිබුණේ නැහැ. මම ඒකට සම්බන්ධ වුණා. එතැනින් පස්සේ රංගනය ගැන හදාරන්න ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් මම ඒ පාඨමාලාවට සම්බන්ධ වෙලා, රංගනය පිළිබඳ එතුමා යටතේ ඉගෙනගත්තා. ඊට පස්සෙ තමයි මම එතුමාගේ ‘ඩෙල්ෆ්ට්‘ නිර්මාණයට සම්බන්ධ වෙන්නෙ.


රඟපාන්න ඕනේ කියලා හිතුණේ කොයි කාලෙද?


මගේ ආසාව තිබුණෙ සංස්කරණ ශිල්පිනියක් වෙන්න. ඒ නිසා කවදාවත් රංගන ක්ෂේත්‍රය පසුපස හඹා ගිය කෙනෙක් නෙමෙයි. මගේ හිතේ ඒ පිළිබඳව යම් සියුම් ආසාවක් නොතිබුණාම නොවෙයි. සමහර දේවල් තියෙනවා සුදුසුම කාලය ආවම ඒවා ස්වභාවිකවම අපේ ජීවිතය සොයාගෙන එනවා. මගේ ජීවිතයෙත් රංගනය කියන විෂයට මගෙ ආසාව හැදෙන්නෙ එහෙම. මම කලින් කිව්වා වගේ ලලිත් සර්ගෙ පාඨමාලාවේ වැඩේට සම්බන්ධ වුණාට පසුව තමයි මගේ රංගනය ගැන හැදෑරීමේ ආසාව ඇති වුණේ. ඉන්පසුව තමයි රංගනය කියන්නෙ වගකීමෙන් යුතුව හදාරන්න ඕනෑ කලාවක් කියන බුද්ධිමය අවබෝධය මට ඇති වුණේ.‍


‘ඩෙල්ෆ්ට්’ කියන්නේ වෙනස්ම ආරක නිර්මාණයක්. මෙහි ඔබට ලැබුණු චරිතය මොකක්ද?


‘ඩෙල්ෆ්’ නිර්මාණය හරහා මට රංගනයෙන් දායක වෙන්න, ලැබෙන්නේ ‘නේහා’ කියන දමිළ තරුණියකගේ චරිතයයි. නේහා කියන්නේ ඩෙල්ෆ් දූපතේ ජීවත් වන තරුණියක්. එයාගේ පවුල් පසුබිම ගත්තොත්, තාත්තා සිංහල ජාතිකයෙක්. අම්මා දෙමළ ජාතික කාන්තාවක්. ඔවුන් දෙදෙනාම ඩෙල්ෆ් දූපතේ ධීවර කර්මාන්තයේ යෙදෙන අය. නේහාගේ තාත්තාගේ චරිතයට පණ පොවන්නේ ආනන්ද කුමාර උන්නැහේ මහතා. ඒ වගේම, මවගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මිය. මුලු දූපතටම සිංහල අය ඉන්නෙ නේහායි එයාගෙ අප්පයි විතරයි.


ඩෙල්ෆ්ට් පරිසරය තුළ හැදී වැඩෙන නේහා කියන්නේ සිංහල සින්දු අහන්න ගොඩාක් ආස කරන, සිංහල සහ දෙමළ භාෂා දෙකම එක වගේ හොඳින් හසුරුවන්න පුළුවන් තරුණියක්. නේහාට තියෙනවා ආදරයක්. ඩෙල්ෆ්ට් දූපතේම. එයා තමයි අරුල්. කොළඹින් සංගීත කණ්ඩායමක් ඩෙල්ෆ්ට් දූපතට පැමිණීම හරහා ඇතිවන විවිධ සිදුවීම් කිහිපයකින් තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ.


නේහාට මේ වෙද්දි ලැබෙන ප්‍රතිචාර මොන වගේද?


මේ වෙද්දී මට හරිම සතුටුදායක ප්‍රතිචාර රාශියක් ලැබෙමින් තිබෙනවා. මගේ පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් වගේම මේ ටෙලිනාට්‍ය නරඹලා මට මැසේජ් කරමින්, කතා කරමින් අදහස් දක්වන අය ගොඩක් ඉන්නවා ..ඉතින් හරිම සතුටුයි. ගොඩක් දෙනෙක් මට පෞද්ගලිකවම කතා කරලා කිව්වා ‘නේහා’ කියන චරිතය මම හරිම ලස්සනට, සාර්ථකව කරලා තියෙනවා කියලා.


මෙම නාට්‍යයේ රූගත කිරීම් සිදුවූ පරිසරය සහ එහිදී ලැබුණු අත්දැකීම් කොහොමද?


නේහාගෙ චරිතයෙදි මට මුහුණ දෙන්න වුණු ලොකුම අභියෝගය වුණේ භාෂාව, දෙමළ භාෂාව නිවැරදිව හැසිරවීම ලොකු අභියෝගයක් වුණා. දෙමළ වචන උච්චාරණය කරන විදිහ මට මුලදී ටිකක් අභියෝගාත්මක වුණා. නමුත් මම ඒ වෙනුවෙන් උත්සාහ කළා. පරිවර්තකයකුගේ සහයත් අපට එහෙදි ලැබුණා. මුලින්ම අපේ අධ්‍යක්ෂවරයා මේ චරිතය පිළිබඳව මට ඉතා ගැඹුරු සහ පැහැදිලි අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම මම මීට පෙර කිහිප වතාවක් ඩෙල්ෆ්ට් දූපතට ගිහින් තිබුණා. ඒ වගේම රූගත කිරීම්වලටත් දින කිහිපයකට පෙරම අපි එහෙ ගියා, ඒ දූපත්වාසීන් හැසිරෙන විදිහ, කතාබහ කරන විදිහ සහ ඔවුන්ගේ ජීවන රටාව එයාලා එක්ක එකට ඉඳලා සියුම්ව නිරීක්ෂණය කළා. ඒ මිනිස්සුන්ගේ ජීවිත කොතරම් සරලද, ඔවුන් කොතරම් අහිංසකද , කොයි තරම් පුංචි බලාපොරොත්තු ද තියෙන්නෙ කියන දේ මම මගේ ඇස්වලින්ම දැකලා තිබුණා. ඒ නිසා, දූපතේ තරුණියක් හැසිරෙන ආකාරය පිළිබඳ යම් පූර්ව අදහසක් මට මගේ අත්දැකීමෙන් තිබුණා. ඒ වගේම අපේ අධ්‍යක්ෂවරයාගේ මඟපෙන්වීම සහ ඔහුගේ අදහසුත් එකිනෙකට මුසු කරමින්, මට මේ චරිතය නිර්මාණය කරගන්න පුලුවන් වුණා. භාෂාව අතින් කොතරම් බාධක තිබුණත්, ඒ සියල්ල ජයගනිමින් නේහාගේ චරිතය මට පුළුවන් උපරිමයෙන් කළා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post