විනීස් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ සුපිරි තරුව අසූවියැති ජෝර්ජ් ක්ලූනි

gossiplanka image 1
 

මෙවර අසූ තුන්වැනි වියට පා තබන විනීස් අන්තර්ජාතික චිත්‍රපට උලෙළෙහි (Venice International Film Festival) කිසිදා වියපත් නොවන සුපිරි තාරකාවක් සම්මානයට පාත්‍ර විය. සිනමාව, රූපවාහිනිය හා වේදිකාව යන අවකාශ ත්‍රිත්වයේම දක්ෂතා ප්‍රකට කළ ඔහු නමින් ජෝර්ජ් ක්ලූනි (George Clooney) ය. විනීස් රතු පලස මතින් මෙවර ඔහු අතට පත්වූයේ චලන චිත්‍රයේ උන්නතිය උදෙසා අනූපමය සේවයක් සිදු කළ කලාකරුවෙක් ට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන යාවජීව රන් සිංහ සම්මානයයි (Golden Lion for Lifetime Achievement).


ජෝර්ජ් තිමති ක්ලූනි 1961 වසරේ අ‍ෙමරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ ලෙක්සිංටන් හිදී උපත ලැබීය. ඔහුගේ මව නගර සභිකයෙක් සහ රූප සුන්දරියකු වූ වීනා බෲස් ය. පියා රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස සේවය කළ නික් ක්ලූනිය.


රංගන ශිල්පියෙක් වශයෙන් ජෝර්ජ් ක්ලූනි ප්‍රථමයෙන්ම නිරූපණය කරනු ලැබුවේ රූපවාහිනී නාටක වල සුළු චරිතයන්ය. ඔහුව පළමුවෙන්ම ජනප්‍රියත්වයට පත්වූයේ 1994 සිට 1999 දක්වා NBC නාළිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් වෛද්‍ය නාටකයක් (Medical drama) වූ ER ඔස්සේය. එහිදී ඔහු නිරූපණය කළේ වෛද්‍ය ඩොග් රෝස් (Doug Ross) ගේ චරිතයයි. එම රඟපෑම වෙනුවෙන් ඔහු ප්‍රයිම් ටයිම් එමී (Primetime Emmy) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) ආදී සම්මාන සඳහා නිර්දේශ විය.


ක්ලූනිගේ ප්‍රථම සිනමා රංගනය ලෙස සනිටුහන් වූයේ රොබට් රොඩ්රිගස් (Robert Rodriguez) විසින් අධ්‍යක්ෂණය කළ From Dusk till Dawn චිත්‍රපටයයි. ඉන් අනතුරුව නිකොලා කිඩ්මන් සමඟ රඟපෑ The Peacemaker, Batman & Robin හි Robin චරිතය මෙන්ම ස්ටීවන් සොඩර්බර්ග් (Steven Soderbergh) ගේ අධ්‍යක්ෂණය යටතේ ජෙනිෆර් ලෝපේස් සමග රඟපෑ Out of Sight ඔහුගේ රංගන දිවියේ අවධානයට ලක්වූ අවස්ථා විය.


ක්ලූනි ලොව ප්‍රමුඛ පෙළේ සිනමා තාරකාවක ලෙස තහවුරු වීමට පදනම දැමූ චිත්‍රපටය Ocean’s Eleven ය. එහිදී නැවතත් සොඩර්බර්ග්ගේ අධ්‍යක්ෂණයට නතු වෙමින් ඔහු නිර්මාණය කළේ ඩැනී ඕෂන් (Danny Ocean) චරිතයයි. ලොව පුරා ප්‍රදර්ශනය වීමෙන් ඩොලර් මිලියන 451 ක් උපයාගත් එම සිනමාපටය Ocean’s Twelve සහ Ocean’s Thirteen යන චිත්‍රපට ද්විත්වයට ද පාර කැපීය.


රංගනයෙන් නොනැවතුණු ක්ලූනි 2002 වසරේදී සිනමා අධ්‍යක්ෂණය වෙතද අත ගැසීය. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ප්‍රථම සිනමාපටය Confessions of a Dangerous Mind ය. ඊට පදනම් වූයේ රූපවාහිනී නිෂ්පාදකයෙකු වූ චක් බැරිස්ගේ ජීවිත කතාවයි. මෙම සිනමාපටය කාන් චිත්‍රපට උලෙළේදී තරගකාරී නොවන අංශය නියෝජනය කරමින් විචාරක පැසසුමට ලක් විය.


2006 වසරේදී සිය ප්‍රථම ඇකඩමි සම්මානයට හිමිකම් කීමට ක්ලූනි සමත් විය. ඒ Syriana සිනමාපටයේ හොඳම සහාය නළුවා ලෙස ඉදිරිපත් කළ රංගනය වෙනුවෙනි. ඊට අමතරව එම වසරේදීම Good Night, and Good Luck සිනමාපටය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණය හා හොඳම මූලකෘතික තිරපිටපත වෙනුවෙන්ද ඔහු ඇකඩමි සම්මානයට නිර්දේශ වීම විශේෂත්වයකි. ක්ලූනි 2012 වසරේදී Argo සිනමාපටයේ නිෂ්පාදනය වෙනුවෙන්ද ඇකඩමි සම්මානයට පාත්‍ර විය. ඇකඩමි සම්මාන ඉතිහාසයේ එකිනෙකට වෙනස් සම්මාන ප්‍රවර්ග හයකට නිර්දේශ වූ තිදෙනාගෙන් එක් අයෙකු බවට පත්වීමෙන් ක්ලූනි සිය නිර්මාණාත්මක වපසරියේ පරාසය කියාපායි.


2025 දී බ්‍රෝඩ්වේ හිදී සිය ප්‍රථම වේදිකා නාට්‍ය නිර්මාණයට පිවිසුණු ක්ලූනි ඔහුගේ Good Night, and Good Luck තිරපිටපත වේදිකා නාට්‍යයක් බවට පරිවර්තනය කළේය. එහිදී ඔහු සමඟ ග්රාන්ට් හෙස්ලෝ (Grant Heslov) වේදිකා රචනයට හවුල් විය. එම නාට්‍යය විචාර පැසසුමට ලක් වෙමින් ටෝනි සම්මාන පහකටද නිර්දේශ විය.


කලා දිවියට අමතරව ක්ලූනි සමාජ සේවයට යොමු වූ එමෙන්ම පුද්ගල අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටින චරිතයකි. ඔහු සිදු කළ සමාජ සේවා ව්‍යාපෘති අතර Not an our Watch Project සමඟ සම්බන්ධ වී පුද්ගල හින්සනයනට විරුද්ධව ක්‍රියා කිරීම, 2010 දී හයිටි රාජ්‍යයේ ඇතිවූ භූකම්පනයෙන් විපතට පත්වූවන්ට ආධාර කිරීම හා 2020 දී සිය බිරිය සමඟ එකතු වී ලෙබනනයේ රතු කුරුස සංවිධානය වෙත ආධාර ලබා දීම දැක්විය හැකිය. ඊට අමතරව ක්ලූනි සුඩාන හා සිරියානු සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටීම, ඇමරිකාව තුළ නීතිවිරෝධි ගිනිඅවි භාවිතය පාලනය කිරීම මෙන්ම LGBTQ අයිතීන් වෙනුවෙන් ද ප්‍රසිද්ධියට පත් සමාජ ක්‍රියාකාරිකයෙකි.


ක්ලූනි මේ වන විට විවාහ වී සිටින්නේ ලෙබනන් සම්භවයක් සහිත නීතීඥවරියක වන අමාල් ක්ලූනි (Amal Clooney) සමඟිනි. ඔවුනට දරු දෙදෙනෙක් සිටිති. 2025 වසරේදී ක්ලූනි පවුලට ප්‍රංසයේ පුරවැසිභාවයද පුද කෙරිණි.


මේ අනුව අපට පෙනී යන්නේ ජෝර්ජ් ක්ලූනි යනු හුදු රංගන ශිල්පියෙක් ට එහා ගිය දක්ෂතා පරාසයක් ඇති පරිපූර්ණ කලාකරුවෙකු බවයි. ඉන් නොනැවතී ඔහු තම සාර්ථකත්වය සමාජ අභිවෘද්ධිය උදෙසා ආයෝජන කිරීමටද සමත්ව තිබේ. ඒ අනුව විනීස් වැනි ගරුකටයුතු සම්මාන උලෙළක ප්‍රමුඛ පෙළේ සම්මානයකින් ක්ලූනි වැන්නෙකු පුද ලැබීම අරුමයක් නොවේ.


ක්ලූනිට සම්මාන පුද කෙරෙන විනීස් චිත්‍රපට උලෙළ ගැනද මෙහි යමක් සඳහන් කර තැබීම වටී. 1932 දී ඇරඹි විනීස් ලොව පැරණිතම සිනමා සම්මාන උලෙළ ලෙස සැලකේ. ඉතාලියේ විනීස් නුවර වාර්ෂිකව පැවැත්වෙන මෙම සිනමා මංගල්‍යය ලොව විශාලතම සිනමා උලෙළ පහෙන් එකකි. Venice Biennale නමැති කලා, ගෘහ නිර්මාණ, සිනමා, සංගීත, නර්තන, වේදිකා නාට්‍ය යන අංගයන් අන්තර්ගත කලා ප්‍රදර්ශනයක කොටසක් ලෙස මෙම උලෙළ සංවිධාන වේ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post