කොහොමද මේ දවස්වල වැඩකටයුතු?මේ දවස්වල මගේ අලුත්ම ෆිල්ම් එක කරන්න ලෑස්ති වෙනවා. ලබන මාසේ වැඩ පටන්ගන්නවා. ඒ වගේම අවුරුදු නවයකට පස්සේ ටෙලිඩ්‍රාමා එකක වැඩ කළා. ඒකෙ කොටස් කීපයක් රූගත කරලා අවසන්.ඔබ රංගන ක්ෂේත්‍රයට පා තැබූ මුල් කාලය දිහා ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?මට මං ගැන සතුටුයි. නළුවෙක් වීම තුළ මං කැමති පළවෙනිම දේ මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය. හොඳම නළුවෙක් වෙනවට වැඩිය මිනිස්සු තුළ ජනප්‍රියත්වය, ආදරය ලබන්න පුළුවන්නම් ඒක තමයි ඕනම නළුවෙක්ගෙ නිළියෙක්ගේ බලාපොරොත්තුව. ඒ දේ මට ලැබිලා තියෙනවා. මට කරන්න බැරි වුණ සහ මගේ හිතේ තිබුණ නිර්මාණ තිබුණා. තවමත් රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතත් තියෙනවා. අපි කවුරුත් රඟපෑමෙන් සෑහීමකට පත්වෙන්නෙ නෑ. හැබැයි සමස්තයක් හැටියට ගත්තොත් මට මගේ ජීවිතේ ගැන සහ කලාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්.
ප්‍රේක්ෂකයො නිතරම කියන දෙයක් තමයි චන්න පෙරේරා කියන්නෙ කවදාවත් වයසට නොයන නළුවෙක් කියන එක. මොකද්ද ඇත්තටම මේ වයසට නොයෑමේ රහස?
තරුණයෙක් විදිහට හිතන එක. (සිනාසෙමින්)ඇත්තටම ඒක විතරද හේතුව?මට සොබාදහමේ ලොකු ආශිර්වාදයක් ඇති ඇත්තටම වයස ගියත් මෙහෙම පෙනුමක් ලැබෙන්න. ගොඩක් අය වියපත් වෙන්නෙ හිතෙන්. හිත තරුණව තියාගත්තොත් ජීවිතේ සෑහෙන කොටසක් ඒ එක්කම තරුණ වෙනවා. සමහරවිට මගේ තරුණ පෙනුමේ රහස සංසාරයේ ගෙන ආපු දේකුත් වෙන්න ඇති. මං මට ආදරෙයි. මට ආදරේ කරනකොට කිසිම දේකින් මං අන්තයට යන්නෙ නෑ. කෑම බීම, ව්‍යායාම පවා මධ්‍යස්ථව කරන්නෙ. මං ඒක හිතලා කරන දෙයක් නෙවෙයි. පොඩි කාලෙ ඉඳලම මම ස්වයං විනය කියන දේ තියාගත්තා.
ඔබේ පෙනුම නිර්මාණවලට දායක වෙද්දි වාසියක් වුණාද, නැත්නම් ඇතැම් චරිත ලැබීමට බාධාවක් වුණාද?මෙහෙමයි, ගොඩක් වෙලාවට මට පෙම්වතාගේ චරිතයම ලැබෙන්න මගේ පෙනුම හේතු වුණා. ඒ වගේම සමහර චරිත නොලැබෙන්නත් මගේ තරුණ පෙනුම බලපාලා තියෙනවා.
කාලෙකට ඉස්සර ඔබ අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට සිංහල සිනමාවේ දැවැන්ත වාණිජ පෙරළියක් කළා. එදා ඒ වගේ සිනමා නිර්මාණ බිහි කරන්න ඔබට බලපෑව ආභාෂය මොකක්ද?මම ආදරය, ජීවිතය විඳින කෙනෙක්. ආදරය කරන කෙනෙක්. ආදරයට මං පුදුම තරම් ආදරෙයි. ඒවත් එක්ක ආදරණීය කතන්දර මගෙන් බිහිවෙනවා. අංජලිකා තිරගත වෙලා දැන් අවුරුදු 20 ක්. අවු. 20 කට පස්සෙ වුණත් ඕනම කෙනෙක්ට ඒක ආයෙත් බලන්න පුළුවන් නිර්මාණයක්. අංජලිකා කියන්නෙ මගේ හදවතින් මැවුණු සලරුවක්.
ඔබේ චිත්‍රපටවල හැමදාම දකින්න ලැබුණු විශේෂත්වයක් තමයි ඉතාමත් සුන්දර දර්ශන තල සහ ගීත රචනා…ඔව්. මම ලංකාවේ සොබාදහමට ගොඩක් ආදරෙයි. මම මගේ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ටත් ඒ ලස්සන දකින්න සලස්වනවා. මගේ චිත්‍රපටි පිටරටවල පෙන්නද්දි මේ ලංකාවද කියලා මිනිස්සු පුදුම වුණ අවස්ථා තිබුණා. චිත්‍රපටියකට දර්ශන පසුතල හොයන්න මං සෑහෙන්න මහන්සි වෙනවා. ඒ තැන්වල රූගත කිරීම් කරන්නත් ලේසි නෑ. මගේ ඉදිරියේදී තිරගත වෙන්න තියෙන ‘සිහින අනන්තය’ චිත්‍රපටයෙත් ලංකාවෙ ලස්සන ලොකේෂන්ස් තියෙනවා.‘අංජලිකා’ චිත්‍රපටියේ ‘පායනා ඉර’ සින්දුව විතරක් නුවරඑළිය, මහනුවර, දඹුල්ල, රිවස්ටන් වගේ තැන් කිහිපයකම අපි රූගත කළා. සම්පූර්ණ සින්දුව රූගත කරන්න දවස් හයක් ගත වුණා. මං හිතන්නෑ දැන් එක සින්දුවක් වෙනුවෙන් ප්‍රඩක්ෂන් ටීම් එකක් ඔච්චර දවස් ගත කරනවා ඇති කියලා. හිතන්නකො රිවස්ටන් කන්දට කැමරා උස්සන් යන එකම කොච්චර අමාරු වැඩක්ද කියලා.විදේශීය නිළියක් ලාංකීය සිනමාවට හඳුන්වා දෙමින් ඔබ කළ අත්හදා බැලීම අතිශය සාර්ථක වුණා. එවැනි ජාත්‍යන්තර එකතුවක් එක්ක ලාංකීය නිර්මාණයක් කිරීමේදී මුහුණ දුන් අභියෝග මොනවද?පූජා උමාශංකර්ව මගේ නිර්මාණවලට තෝරාගැනීමම අභියෝගයක්. පූජාව මං ස්ක්‍රීන් එකක දැක්කේ අහම්බෙන්. එයාව හොයාගන්න, කන්ටෑක් එකක් ගන්න, එයා එක්ක ගනුදෙනු කරන එක අපහසු වුණා. මොකද ඒ කාලෙ පූජාට සිංහල අකුරක්වත් බෑ. නමුත් හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඒ වෙද්දි පූජා ලංකාවේ එක ෆිල්ම් එකක්වත් දැකලා තිබුණෙත් නෑ. ඉතින් ඒ ගැනත් කියලා දීලා සිංහල වචනයක්වත් බැරි පූජාව මෙහෙයවන එක අධ්‍යක්ෂකවරයෙක් විදිහට කොච්චර අභියෝගයක්ද කියලා තේරෙනවනෙ. ඒ එක්කම මම ඇය එක්ක ප්‍රධාන චරිතෙත් රඟපෑවා.පූජා එක්ක එදා තිබුණ මිත්‍රත්වය අදටත් තියෙනවද?ඔව්. නිතරමනම් ඇය එක්ක කතා කරන්න ලැබෙන්නෙ නෑ. නමුත් අදටත් අපි හම්බුණොත් ඒ කාලෙ වගේම තමයි.පහුගිය දවසක ඔබව බලෙන් වයසට යවපු ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. මොකද්ද ඒ පින්තූරේ පිටුපස තියෙන කතාව?ඒක කෙටි චිත්‍රපටියක්. ඒක නිර්මාණය කළේ මගේ වර්ක්ෂොප් එකක ගෝලයෙක්. එයාගෙ ලොකු හීනයක් වෙලා තිබ්බලු මාව ඒකෙ ප්‍රධාන චරිතෙට ගන්න. ඒකෙ වේෂ නිරූපණය කරමින් ඉද්දි ගත්තු පින්තූරක් තමයි ෆේස්බුක් එකේ වෛරල් වුණේ.ළඟදීම ප්‍රේක්ෂකයින්ට චන්න පෙරේරා කියන රංගන ශිල්පියාගෙන් හෝ අධ්‍යක්ෂකවරයාගෙන් දැකගන්න ලැබෙන අලුත්ම සිනමා බලාපොරොත්තුව මොකක්ද?
‘තහනම් මරණ’ තමයි මගේ අලුත්ම චිත්‍රපටිය. ඒක මේතාක් කරපු නිර්මාණ අතරින් වෙනස්ම නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. තිර රචනය ලියන්නෙ ලක්ෂාන් මද්දුමහේවා. මේකෙ විශේෂත්වය තමයි ලක්ෂාන් කියන්නේ මගේ ‘පුංචි වීරයෝ’ චිත්‍රපටියේ රඟපාපු ළමා නළුවෙක් වීම.එරංදි කෞශල්‍යා ✍️