‘සිරී’ පවුලේ හැමෝටම එකට නරඹන්න පුළුවන් -මිෂෙල් දිල්හාරා

gossiplanka image 1
 


මේ දිනවල ‘රොන් සොයා’ ටෙලි නිර්මාණය ඔස්සේ ඔබ වෙත එන හසරැලි අහිංසකත්වයේ ප්‍රතිමූර්තියකි. මීරා ඊට හාත්පසින්ම වෙනස්ය. නිතරම රණ්ඩුවටම බර දඟකාර, කටකාර මීරා ඔබට හමුවන්නේ ‘සිරී’ ටෙලි නිර්මාණයේය. විටෙක අහිංසක හසරැලි මෙන්ම තව විටෙක දඟකාර මීරා ලෙසින් ඔබ වෙත එන ඇය දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරාය. තමන් දායක වන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කිරීමට වෙහෙසෙන ඇය සමාජ සේවා කටයුතු ඔස්සේ ද ඔබ වෙත සමීප වන්නීය. සිරී සිය රංගන දිවිය විශාල වෙනසකට ලක්කළ අත්දැකීමක් වූ බව පවසමින් මිෂෙල් අප හා කතාබහට එක්වූවාය.



මිෂෙල් මේ දිනවල තවත් අලුත් නාට්‍යයක දකිනවා. සිරී කියන්නෙ මොන වගේ අත්දැකීමක්ද?


‘සිරී’ ටෙලි නිර්මාණය නිවන්ත ප්‍රසාර සර්ගේ අධ්‍යක්ෂණයක්. glamour works නිෂ්පාදනයක්. සතියේ දිනවල සවස 6ට හිරු ටීවී නාළිකාවේ විකාශය වෙනවා. සිරී කියන්නේ සමාජයේ ඉන්න විවිධ පවුල් නියෝජනය කරමින් ඔවුන්ගේ ජීවන අරගලය ගැන කතාබහට ලක්කරන ටෙලි නිර්මාණයක්. ඒත් එක්කම තමන්ගේ හීන සැබෑ කරගන්න උත්සාහ කරන තරුණ පිරිසත් නියෝජනය වෙනවා. ඒ නිසා සිරී පවුලේ හැමෝටම එකට ඉඳන් නරඹන්න පුළුවන් ලස්සන ටෙලි නාට්‍යයක්.


සිරී ටෙලි නිර්මාණයේ ඔබේ චරිතය ගැන කතා කළොත්?


මගේ භූමිකාව මීරා. මීරා කියන්නෙත් සිරීමයි. මීරා කියන්නේ දඟකාර චරිතයක්. තාත්තත් නැතුව අම්මා එක්ක හැදෙන ගෑනු ළමයෙක්. අම්මාට සැබෑ කරගන්න බැරි වුණු හීනය මීරා සැබෑ කරන්න උත්සාහ කරනවා. හීන පස්සේ දුවන, හීන සැබෑ කරන්න උත්සාහ කරන සමාජයේ ඉන්න ඒ වගේ දුවලා නියෝජනය කරන දුවකුගේ චරිතයක්. නෙතලි නානායක්කාර, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, උදයන්ති කුලතුංග, චානුක ප්‍රබුද්ධ, චතුරංග කොඩිතුවක්කු ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මාත් එක්ක රංගනයෙන් දායක වෙනවා.


ඔබ මේ දිනවල තවත් නිර්මාණ කිහිපයකම චරිත මවනවා. අනෙක් චරිතවලට වඩා මීරාගේ විශේෂත්වයක් දකිනව ද?


ඔව්. මීරා කියන්නේ මම මෙතෙක් රඟපෑ චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක්. සිරී ටෙලි නාට්‍යයේ ඉන්න අනිත් චරිතත් එක්ක ගහගන්න, බැණගන්න, කෑ ගහගන්න චරිතයක්. ඒ වගේ පොඩි දඟකාරකමක් එක්ක යන චරිතයක් කිව්වත් හරි.


මේ දවස්වල සිරීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පහුගිය 3 වැනිදා තමයි ටෙලි නාට්‍යය විකාශය වෙන්න ගත්තේ. එදා ඉඳන් අද වෙනකන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ පාර තොටේදි හමුවෙන හැමෝගෙන්ම ගොඩාක් හොඳ ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. මේ ටෙලි නාට්‍යය බලන හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.


මේ ළඟදී දවසක ගෝල්ෆේස් එකේ සිරී නාට්‍යයේ රූගත කිරීමක් අතරතුරදී එකපාරට විශාල පිරිසක් ඇවිත් ඔබත් එක්ක ෆොටෝ ගන්න ගිහින් ලොකු තදබදයක් ඇතිවුණා කියන කතාව ඇත්ත ද?


ඒක ඇත්ත. අපී ගෝල්ෆේස් එකේ සිරී ටෙලි නාට්‍යයේ තේමා ගීතයට අවශ්‍ය කොටස් කීපයක් රූගත කරමින් හිටියා. එදා මාව හොයාගෙන යාළුවෝ ගොඩක් ඇවිත් හිටියා. සාමාන්‍යයෙන් මාව හමුවෙන්න එහෙම එනවා. ඒ හැමෝම ඇවිත් කත බහ කරලා ෆොටෝ ගත්තා. එහෙම පොඩි තදබදයක් ඇති වුණා. එදා දවසේ ඇවිත් අපිත් එක්ක කතා කළාට ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. පාර තොටේදි, අතරමඟදි හමුවෙන හැමෝටමත්, ටෙලි නාට්‍යය බලන හැමෝටමත් මම ගොඩක් ගරු කරනවා. එයාලගේ ඒ ආදරේට මමත් ගොඩක් ආදරෙයි.


‘රොන් සොයා‘ ටෙලි නිර්මාණයේ හසරැලි කියන්නෙත් ඔබව ජනප්‍රියත්වයේ ඉහළින්ම තබන චරිතයක්. හසරැලි ගැන මොකද හිතෙන්නේ?


‘රොන් සොයා’ ටෙලිනාට්‍යයේ හසරැලිගේ චරිතයත් මට ගොඩක් විශේෂයි. හසරැලි කියන්නේ වත්තක හැදිච්ච බොහෝම අහිංසක ගෑනු ළමයෙක්. අපි දැනට අවුරුද්දකට වැඩි කාලයක් රොන් සොයා ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. හසරැලිගේ චරිතයටත් මම ගොඩක් ආදරෙයි. ගොඩක්ම ආසාවෙන් කරන චරිතයක් වගේම මං ගොඩක් ආදරය කරන චරිතයක්.


හසරැලිට තියෙන්නේ ඒ වගේ වත්තකට ගැළපෙන්නෙ නැති තරම් අහිංසකකමක් නේද?


හසරැලි කියන්නේ බොහෝම අහිංසක ගෑනු ළමයෙක්. එහෙම ගෑනු ළමයිනුත් මේ සමාජයේ ජීවත්වනවා. වත්තක ඉපදිලා, වත්තෙම හැදිලා වැඩිලා, තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානමින් ඉන්න ඒ වගේම ඕනෑම දෙයක් අතඅරින්න වුණත් පුළුවන් ගෑනු ළමයෙක් තමයි හසරැලි තිළින් නිරූපණය කරන්නේ. ඇය තමන්ගේ පවුලට ගොඩක් ළැදියි. අම්මට, තාත්තට, මල්ලිට පණ වගේ ආදරේ කරන තමන්ගේ යහළුවන්ට වුණත් ගොඩක් ආදරේ කරන අහිංසකම චරිතයක්.‍


හසරැලි කියන්නෙ අද තරුණ පරම්පරාවට ලොකු ආදර්ශයක් ගත හැකි චරිතයක් කිව්වොත්?


හසරැලිගේ චරිතයෙන් නිරූපණය කරන්නේ සමාජයේ ඉන්න බහුතරයක් තරුණ ගැහැනු ළමයින්ව. බාධක මැද්දේ තමන්ගේ ඉලක්කවලට යන්න උත්සාහ කරන, තමන්ගේ හීන සැබෑ කරගන්න උත්සාහ කරන, පවුලේ අයටත් ගොඩක් ආදරේ කරන, පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්න සූදානමින් ඉන්න, ඒ වගේම ඕනෑම වගකීමක් කරට ගන්න පුළුවන් චරිතයක්. මල්ලිගෙ ඉගෙනීමට උදවු කරන්නෙත් හසරැලි. හසරැලි වගේ ගැහැනු ළමයි මේ සමාජයේත් ඕනෑ තරම් ඉන්නවා. වත්තෙ ඉපදුණා කියලා ඇය වත්තටම වෙලා හිටියෙ නෑ. කොහොම හරි මහන්සි වෙලා හොඳ රැකියාවක් හොයාගෙන, සමාජයේ පිළිගැනීමක් තියෙන හොඳ තැනකට ඇවිත් පවුලේ අයවත් ගොඩ දාන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඇය නිතරම හැඟීම්වලට වඩා බුද්ධියටයි ඉඩ දෙන්නේ. හසරැලි ඇත්තටම මේ සමාජයට ලොකු ආදර්ශයක්. මේ වගේ නිර්මාණ හරහා අපි සමාජගත කරන්න ඕනෙත් මේ වගේ ආදර්ශවත් චරිත කියලයි මට හිතෙන්නේ.


හසරැලිට ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත කොහොමද?


හසරැලිටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හසරැලිගේ අහිංසකකමට වගේම උත්සාහවන්තකමටත් ප්‍රේක්ෂකයන් ගොඩක් කැමැතියි. හසරැලිට වැඩිපුරම ලැබෙන්නේ ආදරණීය ප්‍රතිචාර. මට ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම රොන් සොයා ටෙලිනාට්‍යය බලන විශාල පිරිසක් වගේම සමාජ මාධ්‍යය ඔස්සේ පෝස්ට් ෂෙයාර් කරන කමෙන්ට් කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.


ගොඩක්දුරට ඔබට ලැබෙන්නෙම අහිංසක චරිත. අහිංසක චරිතයටම කොටුවෙනවා කියල හිතෙන්නෙ නැද්ද?


එහෙමම කියන්නත් බැහැ. හසරැලි නිසා එහෙම දැනෙනවා ඇති. මෙතෙක් ආපු ගමන දිහා බැලුවහම මට විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. ‘පොදු‘ ටෙලි නාට්‍යයේ මම කරපු චරිතයට අනුව අන්තිම දර්ශනයේ මට ටෙලි නාට්‍යයේ හිටපු අනිත් ප්‍රධාන චරිත දෙකටම වෙඩි තියන්න තිබුණා. ඒ වගේම ‘සිදාදියේ සමනලියෝ’ ටෙලි නාට්‍යයේ මම පොලිස් නිලධාරිනියකගේ චරිතයක් නිරූපණය කළා. ‘පූරි‘ ටෙලි නාට්‍යයේ වත්තක ඉන්න තරුණියක් වුණත් හසරැලිට හාත්පසින්ම වෙනස් හරිම නපුරු අනෙක් අයත් එක්ක ගහගන්නත් තිබුණු චරිතයක්. මේ දිනවල විකාශය වන ‘සිරී‘ කියන්නෙත් හරිම දඟකාර චරිතයක්. එහෙම බැලුවහම විවිධාකාර චරිත ඔස්සේ රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙනවා.


ඉන්දියානු සිනමාව එක්කත් දැන් ඔබේ සම්බන්ධයක් ගොඩනැඟිලා තියෙනවා. ඒ ගැන කිවුවොත්?


බයිලා කියන දකුණු ඉන්දියානු චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ කේ.වීර් කූමාර් සර්. එතනදි මට දකුණු ඉන්දියානූ සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පී සමුද්‍ර කානී, යෝගී බාබු සහ රම්‍යා නම්බීස්න් එක්ක රංගනයෙන් දායක වෙන්න ලැබුණා. බයිලා චිත්‍රපටයේ පළමු අධියරේ රූගත කිරීම් තිබුණේ ඉන්දියාවේ රාමේශ්වරම්වල. ඉදිරි දවස්වල අනිත් රූගත කිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් වෙලා තියෙන්නේ. ඒවටත් සූදානම් වෙන ගමන් තමයි ඉන්නේ.


අනෙක් රංගන ශිල්පිනියන්ට නැති ජනතා ආකර්ෂණයක් මිෂෙල්ට තියෙනවා. කොහොමද මේ තරම් ජනතා ආදරයක් ලබන්නේ?


මං හිතන්නේ ඒක මගේ වාසනාවක්. මම විශ්වාස කරන විදිහට කලා ශිල්පිනියක් හෝ ශිල්පියකු විදිහට කලාව සම්බන්ධයෙන් අපේ පැවැත්ම තීරණය කරන්නේ ජනතාව. ඒ වගේම ඉන්ඩ්‍රස්ටි එකක් විදිහට ගත්තත් අර්ථවත් නාට්‍ය නිර්මාණය කරන්න වගේම ඒවා ජනතාව අතරට ගෙනියන්න අධ්‍යක්ෂවරයාගේ ඉඳන් අපි හැමෝම ගොඩක් මහන්සි වෙනවා. එතැනදි අපි කරන දේ හොඳයිද නරකයිද කියන එක තීරණය කරන්නේ ජනතාව. අපේ නිර්මාණ වැඩිවාර ගණනක් නරඹමින් සමාජ මාධ්‍යවල ප්‍රතිචාර දක්වන්නෙත් ඔවුන්මයි. ප්‍රේක්ෂකයෝ නිසා තමයි අපේ පැවැත්ම රඳා පවතින්නේ. ඒ නිසා කොහේදි හමුවුණත් ඒක මහ පාර වුණත් ඔවුන් එක්ක කතා කරන්න, ඔවුන් එක්ක ඡායාරූපයක් ගන්න අපේ කාලය වෙන් කරන්න ඕන. පුළුවන් හැම අවස්ථාවකම ඒ අය වෙනුවෙන් යමක් කරන්න මහන්සි වෙන්න ඕන. විශේෂයෙන්ම ව්‍යසනවලට මුහුණ දෙන අවස්ථාවල අපි එයාලත් එක්ක ඉන්න ඕනේ. එයාලා අපිට ලබා දෙන ආදරේට අපිත් පෙරළා ආදරය දෙන්න ඕනේ. මට ජනතාවගෙන් මේතරම් ආදරයක් ලැබෙන්නේ හැමවෙලේම වගේ මම ඔවුන් එක්ක ඉන්න නිසා වෙන්න ඇති කියලා මම හිතනවා.


ඔබ මේ ළඟදි කාසල් රෝහල එක්කත් වැඩසටහනක් කළා නේද?


ඔව්. World Sepsis Week එකට සමගාමීව කාසල් රෝහලේ වැඩසටහනක් පැවැත්වුණා. වෛද්‍ය දමිත් සහ වෛද්‍ය නවෝද මටත් ඒ සඳහා ආරාධනා කළා. ඒ වැඩසටහනේ මුලික අරමුණ වුණේ MEOWS chart ( Modified Early Obstetric Warning System ) එක රෝහල්වල භාවිත කිරීම වැඩි කරන්න. ඒ මඟින් කෙරෙන්නේ මාතෘ සෙප්සිස් (ලේ විෂවීම) වගේම තවත් භයානක රෝගී තත්ත්ව කල්තියා රෝහල තුළදීම අඳුනගන්න පුළුවන් වීමයි.


කොහොමද මේ දිනවල ඔබේ සමාජ සේවා වැඩසටහන්?


කලා කටයුතු වගේම ඒ වැඩත් දිගටම කරගෙන යනවා. පාසල්වල සහ විශ්වවිද්‍යාලවල පරිසර සාක්ෂරතාව ගැන වැඩසටහන් ටිකත් කරගෙන යනවා. පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් ලොකු සහායක් ලැබෙනවා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post