චරිතයේ කළු සුදු බවට වඩා පණිවුඩය වැදගත්- ගයාන් වික්‍රමතිලක

gossiplanka image 1
 


ගයාන් වික්‍රමතිලක යනු මෙරට සිටින දක්ෂ සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකි.ඔහු තුළ ඇති කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සොබාවික රංගන ශෛලයයි.චරිතාංග නළුවෙකු ලෙස මේ වන විට ක්ෂේත්‍රය තුළ නමක් දිනා සිටින ගයාන්, කලාව උරුමය කරගත් පරපුරක වත්මන් පුරුකකි. Heart FM,සිරි දළදා ගමනය, අනගාරික ධරමපාල ශ්‍රීමතාණෝ, මහ රජ අජාසත්ත, සක්කාරං ආදී වූ සිනමාපට ගණනකින් පුළුල් තිරයෙන් ප්‍රේක්ෂකයින් හමු වූ ඔහු, ගැහැනු ළමයි, සුළඟ,බොඳ මීඳුම්, සේපාලිකා, හිරු තනිවෙලා,නිසල අරණ, සහේලි, අකුරු මැකී නෑ,කියා දෙන්න ආදරේ තරම් සහ රැල්ල වෙරළට ආදරෙයි වැනි වූ ටෙලි නාට්‍ය ගණනාවකින් නිවසේ ආලින්දයට පැමිණියේය.විවිධ පරාසවලට අයත් විවිධ චරිතය වලට ජීවය පිඹිමින් , දිගු කලක පටන් ප්‍රේක්ෂක සිත් සතන්වල ලැඟුම් ගත් ඔහු,මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අසංධිමිත ටෙලි නාට්‍යයේ සුරාජ්ගේ චරිතය නිරූපණය කරයි.අසංධිමිත,ශලනි තාරකාගේ තිර පිටපතකි.ශාන් ජයරත්නගේ අධ්‍යක්ෂණයක් වන අසංධිමිත ටෙලි නාට්‍යයේ සුරාජ් වූ ගයාන් වික්‍රමතිලක සමග සරසවිය කළ පිළිසඳරකි මේ.


ගයාන් මේ දවස්වල මොකද කරන්නේ?


මේ දිනවල ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඒවාවල වැඩ කටයුතු කරගෙන යනවා. රූගත කිරීම්වලටත් සහභාගී වෙනවා.නමුත් පසුගිය කාලයට සාපේක්ෂව ජුලි මාසය මට ටිකක් වැඩ අඩු මාසයක්.ඒ නිසා විවේකය කියන එක මේ දවස් ටිකේ ටිකක් වැඩිපුර විඳීනවා.ඒ කාලය පවුලත් එක්ක ගත කරලා උපරිම සතුටක් විඳීන්න තමයි මං උත්සාහ කරන්නේ.ඇත්තටම ජුලි මාසයේ දී කරන්න විශේෂ වැඩ කටයුත්තක් මම කලින් සූදානම් කරගෙන තිබුණා. මගේම වැඩක්. නමුත් සුළු හේතු කාරණා කීපයක් නිසා ඒක ටිකක් කල් ගියා. ඒ නිසා තමයි මට මේ විවේකය ලැබුණේ.


අලුත් වැඩ කටයුත්ත ගැන විස්තර ටිකක් කියන්න කැමති නැද්ද?


මං හිතන්නේ දැනට නිශ්ශබ්දව ඉන්න එක හොඳයි. තව ටික දවසකින් මං මගේ ප්‍රේක්ෂකයින්ට ඒ ගැන කියනවා.මේක මගේ අලුත්ම වැඩක්.තාම සංවිධානාත්මක මට්ටමේ තියෙන්නේ.ඒ කටයුතු ඉවර වුණ ගමන් ඒ ගැන මගේ රසිකයින්ට මං කියනවා.


අසංධිමිත ටෙලි නාට්‍යයේ සුරාජ්ගේ චරිතය නිසා ඉස්සරහට එළියට බහින්නත් බැරිවෙයි වගේ නේද?


මෙහෙමයි.මේ වගේ චරිතයක් කරනකොට ප්‍රේක්ෂකයින් යම් ප්‍රමාණයක් මේ චරිතය දිහා බලන්නේ ඒ කලාකරුවාගේ පෞද්ගලික ජීවිතයත් සමඟ සංසන්දනය කරලා.ඒ අය හිතනවා ඒ පුද්ගලයා එයාගේ පෞද්ගලික ජීවිතය තුළත් මේ විදිහට කටයුතු කරනවා ඇති කියලා.ඒක ලංකාව වගේ ආසියාතික රටවල බහුතරයක් ප්‍රේක්ෂකයින්ගේ මනෝභාවයක්. නමුත් මම ඒ වගේ දේවල් ගැන වැඩිය හිතන්නේ නැහැ. මට හොඳ චරිතයක් ලැබුණොත් ඒක සුදු වුණත් කළු වුණත් උනත් මම අනිවාරයයෙන්ම ඒ චරිතය බාරගන්නවා.මං හිතන විදිහට කලා කෘතියකින් වැඩි වශයෙන් කතා කරන්න ඕනෙත් සමාජයේ සිටින ඒ වගේ චරිත පිළිබඳව තමයි.මොකද කලාව කියන්නේත් එක්තරා විදිහක සමාජ සේවයක්. කලාකරුවා කියන්නේ සමාජයට මග පෙන්වන්නෙක්.කලාව තුළින්ම තමයි ඔහුට ඒකට මග පෑදෙන්නේ. සුරාජ් කියල කියන්නේ මං හිතන විදිහට මට ලැබුණු හොඳම චරිතයක්.ඉදිරියට සමහර විට ප්‍රේක්ෂකයින් මට බනියි, මේ චරිතය නිසා.නමුත් මං කවදාවත් ඒවා ගැන ඒ තරම් හිතන කෙනෙක් නෙමෙයි.


කළු චරිත භාර ගැනීම තමන්ගේ ප්‍රතිරූපයට හානියක් කියලා හිතන්නේ නැද්ද?


කොහෙත්ම නැහැ.සමස්තයක් විදිහට ගත්තොත් මට බහුතරයක් ලැබිලා තියෙන්නේ මේ වගේ චරිත.මං හරිම කැමැත්තෙන් තමයි ඒ චරිත නිරූපණය කළේ.මොකද ඒ හැම චරිතයකින්ම සමාජයට දෙන්න වැදගත් පණිවිඩයක් තිබුණා.ඒක තමයි වඩා වැදගත් වෙන්නේ.කලාකරුවෙක් විදිහට මට ලැබෙන චරිතය මගේ හිතට දැනෙනවා නං පිටපත හොඳ නම් මං ඒ චරිතය බාරගන්නවා.එතනදී මං හිතන්නේ නැහැ”මේ වගේ චරිතයක් කළොත් ප්‍රේක්ෂකයා මොනවා හිතයිද? ,මේ චරිතය නිසා මගේ ජනප්‍රියත්වයට හානියක් වෙයිද?” වගේ දේවල් ගැන.මං හිතන විදිහට කළු චරිතයකින් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය වඩා විශාලයි.කොහොමටත් මම වැඩිය Like, Comment ගැන හිතන කෙනෙක් නෙමෙයි.


අසංධිමිත ටෙලි නාට්‍යයේ සමස්ත තේමාව මොකක්ද?


මේ නාට්‍යයේ තියෙන හැම චරිතයක්ම එකිනෙකට සම්බන්ධයි. ඒවා කුමන අයුරකින් හෝ බැඳීලා තියෙන්නේ.සමාජය තුළත් එහෙමනේ.මොනයම් විදියකින් හරි එකිනෙකා අතර කුමන හෝ සම්බන්ධයක් තියෙනවා.මතුපිටින් බැලූ බැල්මට මේ චරිත අතර ලොකු බැඳීමක් තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. නමුත් සැබෑවටම බහුතරයක් අවස්ථාවල එහෙම බැඳීමක් ඒ චරිත අතර නැහැ.සැමියා බිරිඳ ගත්තත්, පෙම්වතා පෙම්වතිය ගත්තත් ඔවුන් සමාජයට පෙන්වන තරම් බැඳීමක් බොහෝවිට ඔවුන් අතර නැහැ.මිනිස්සු හැමවිටම උත්සාහ කරන්නේ තමන් අනෙකාට දීලා තියෙන වචනය රකින්න; නැත්නම් පොරොන්දු රකින්න.ඒකෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සුචරිතවාදී චරිතය රැක ගැනීම.එහෙම නැත්නම්, අවට සමාජය සතුටු කරන්න තමයි ඔවුන් ඒ දේ කරන්නේ.ඒ වගේ තැනක තමන්ට සතුටක් තියෙන්න විදිහක් නෑනේ.අද සමාජයේ තියෙන බොහෝ බැඳීම් බහුතරයක් මිනිස්සු පවත්වාගෙන යන්නේ සමාජයට ඕනවට.තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරන්න හෝ තමන්ගේ තත්ත්වය වැඩිදියුණු කරන්න අපි ඒ සමාජ සම්බන්ධතා පාවිච්චි කරනවා. නමුත් හුඟක් වෙලාවට සැබෑවටම කිසිදු ආදරයක් ,ගෞරවයක් කරුණාවක් එතන නැහැ.මවාපෑමක් විතරයි තියෙන්නේ. අන්තිමට ගත්තහම හැමෝම හැමෝගෙම හිත් රවට්ටා ගැනීමක් පමණයි ඉතිරිවෙලා තියෙන්නේ.මේක තමයි අසංධිමිත නාට්‍යයේ සමස්ත තේමාව.මේ නාට්‍ය කොටස් ගොඩක් තියෙන නාට්‍යයක් නෙවෙයි. කොටස් තිහකින් හෝ තිස් පහකින් නාට්‍ය අවසන් වෙනවා.



සුරාජ් කියන්නේ කවුද?


සුරාජ් කියලා කියන්නෙත් අද සමාජයේ අපි අතරම ජීවත්වෙන චරිතයක්.අපි දකින අපි ගරු කරන බොහෝ චරිතවල ඇත්ත ස්වභාවය මේක වෙන්න පුළුවන්.මේ වගේ පුද්ගලයින් එයාලගේ අවට සමාජයට නොදැනෙන විදිහට චරිත දෙකක් පවත්වාගෙන යනවා. බොහෝ විට අපි දකින්නේ එයාලා එළියට පෙන්නන ප්‍රතිරූපය විතරයි.ඒ ප්‍රතිරූපය දැකලා මිනිස්සු ඔවුන්ට ගරු කරනවා;ඔවුන්ව අදහනවා;ඔවුන්ව අනුගමනය කරනවා. නමුත් ඔවුන්ගේ ඇතුළාන්තය ඊට වඩා හරිම වෙනස්. සමහර විට සමාජය විසින් සුචරිතවාදීන් ලෙස හඳුන්වන මිනිස්සුන්, එහෙමත් නැත්නම් සමාජයේ ආදර්ශවත් යැයි කියන මිනිසුන් මේ චරිත තියෙන මිනිස්සු වෙන්න පුළුවන්.මේ වගේ චරිත අඳුරගන්න එක හරිම අමාරුයි.සුරාජ් කියන්නේ නිතරම කෝපයෙන් ඉන්න, සැර පරුෂ චරිතයක්.ඔහුගේ ඒ ස්වභාවයටත් හේතු නැතුවා නෙමෙයි.


අසංධිමිත ටෙලිනාට්‍යයේ දැනට විකාශය වෙලා තියෙන්නේ කොටස් කිහිපයක් පමණයි. ඒ කොටස් කිහිපය තුළ “ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය” අපි දකිනවා. ගයාන් මොකද ගෘහස්ත ප්‍රචණ්ඩත්වය හිතන්නේ?


ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වගේ තත්ත්වයන් පවුල්වල ඇතිවෙන්නේ එකිනෙකා අතර තියෙන තියන අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නැති වෙන නිසා.ඒ වගේම ඔවුන් අතරේ සැබෑ බැඳීමක් නැති නිසා.මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. අපි එකිනෙකාට ගරු කරනවා නම් ආදරය කරුණාව දක්වනවා නම් කිසි විටෙකත් ප්‍රචණ්ඩත්වය ඇතිවෙන්න විදිහක් නැහැනේ.බොහෝ විට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා පීඩනයට පත් වන්නේ කාන්තාවන් කියන එක අපි පිළිගන්න ඕනේ.තමන්ගේ හිතසුව පිණිසවත් තමන් කැමති තීරණයක් ගන්න බැරි හේතු කරුණු ගණනාවක් ඇයට තියෙන්න පුළුවන්.එතනදි පවුලක බිරිඳ නැත්නම් අම්මා ගොඩක් අසරණ වෙනවා.


ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇතිවෙන්න කරුණු ගණනාවක් බලපාන්න පුළුවන්.බහුතරයක් තැන්වලදී වෙන්නේ පිරිමියා නිසා ගැහැනිය ප්‍රචණ්ඩත්වයට ලක්වෙන එක.හැබැයි පිරිමියා වුණත් එහෙම තත්ත්වයකට පත්වෙන්න හේතු කාරණා තියෙන්න ඕනේ.කිසිම කෙනෙක් ඉබේ හෝ කැමැත්තෙන් ඒ වගේ තත්ත්වයකට පත්වෙන්නේ නැහැ. හුඟක් වෙලාවට පවුලක් ඇතුළේ පිරිමියෙකුට වෙන පීඩනය ගැන සමාජය තුළ කතා වෙන්නේම නැති තරම්.ඔහුත් ඇතැම් විට පීඩනයට අසහනකාරී බවට පත්වෙනවා වෙන්න පුළුවන්. මේ හේතූ නිසාම ප්‍රචණ්ඩත්වය ඇතිවෙනවා වෙන්නත් පුළුවන්. කාන්තාවන්ගේ සහ ළමුන්ගේ සුභ සාධනයට ළමා හා කාන්තා කාරයාංශයක් තිබුණට, පිරිමින්ගේ සුභ සාධනය සඳහා එහෙම එකක්වත් නැහැනේ.


කොහොම වුණත් පවුල ඇතුළේ සිදුවන අඹු සැමි ආරවුල් හෝ වෙනත් ආරවුල් නිසා වැඩි වශයෙන්ම අසරණ වෙන්නේ එම පවුලේ දරුවන්. ඒක හරිම ඛේදජනක තත්ත්වයක්.


මෙගා නාට්‍ය ගැන අදහස මොකද්ද?


අද වෙනකොට දිගු නාට්‍ය සහ කෙටි නාට්‍ය කියලා ලොකු වෙනසක් මේ ක්ෂේත්‍රයේ මම දකින්නේ නැහැ. පෞද්ගලිකව මම හිතන විදිහට නිර්මාණයක හරය තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ වගේම ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්න පුළුවන් නිර්මාණයක් නම්,ඒක දිග වුණත් කෙටි වුණත් ඒ නිර්මාණය සාරථක නිර්මාණයක්. නිර්මාණයේ උන්නතියට ඒක ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේ සාරථක නිරමාණ ප්‍රේක්ෂකයා තදින් වැලඳ ගන්නවා.කෙටි නාට්‍යවලට කැමති පිරිසක් වගේම දිගු නාට්‍යවලට කැමති පිරිසකුත් ලංකාවේ ඉන්නවා.ප්‍රේක්ෂකයා නිර්මාණය සමග බැඳී සිටීම තමයි ප්‍රධානම කාරණාව සහ විය යුතු දේ.


ඒ වගේම අද හැම නිර්මාණයක්ම අය වැය මත තමයි බිහි වෙන්නේ.කෑම බීම, ඉඳුම් හිටුම් වගේ හැමදේකදීම ප්‍රධාන වශයෙන් අය වැය ගැන අවධානය යොමු වෙනවා. ඒකට නිෂ්පාදකවරුන්ට දොස් කියන්න බැහැ. මොකද, ඔවුනුත් හරිම අමාරුවෙන් තමයි මේ නිර්මාණකරණයේ යෙදිලා ඉන්නේ.කලා ක්ෂේත්‍රය කියන්නේ කාලෙන් කාලෙට පවතින තත්ත්වය අනුව මිල ගණන් වෙනස් කරන්න පුළුවන් ක්ෂේත්‍රයක් නෙමෙයි.ලෝකයේ මොන අර්බුද තිබුණත් රටේ මොන ප්‍රශ්න තිබුණත් අනිත් හැම ක්ෂේත්‍රයක්ම පවතින තත්ත්ව අනුව මිල ගණන් වෙනස් කරනවා.ඒ වුණත් කලා ක්ෂේත්‍රයේ මිල ගණන් එහෙම වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම හිතන්න.මැද පෙරදිග යුද්ධය නිසා තෙල් ගෙන්වන අයට තෙල් මිල වැඩි කරන්න පුළුවන්; බේකරි අයිතිකරුවන්ට කෑම බීමවල මිල ඉහළ නංවන්න පුළුවන්;සහල් අයිතිකරුවන්ට සහල් මිල ඉහළ දාන්න පුළුවන්. නමුත් ඇත්තටම කලා ක්ෂේත්‍රයේ එහෙම කරන්න බැහැ. කාලයක් තිස්සේ පවතින මිල ගණන්වල රටාවට අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්න.කිසිම නාලිකාවක රටේ මෙහෙම අරබුදයක් තියෙනවා කියලා හෝ ලෝකයේ මෙහෙම අරබුදයක් තියෙනවා කියලා හෝ නිෂ්පාදකවරුන්ට මිල වැඩි කරලා දෙන්නේ නැහැ.ඒ හේතුව නිසා කලාකරුවන්ට මිල වැඩිවීමක් වෙන්නෙත් නැහැ.


මේක හරියට දම්වැලක් වගේ බැඳී පවතින ක්ෂේත්‍රයක්.එකිනෙකා මත එකිනෙකා යැපෙනවා. දිගු හා කෙටි ටෙලි නාට්‍යවලටත් දිනකට කළ යුතු කොටස් ප්‍රමාණයක් තියෙනවා. මේ කොටස් ප්‍රමාණය නිසියාකාරයෙන් රූපගත කිරීමට නොහැකි වුණොත්, නිෂ්පාදකවරයා අමාරුවේ වැටෙනවා.අඩු ආයෝජනයෙන් එළි දකින නිරමාණවල ගුණාත්මකභාවයත් අඩුයි.ඒක තමයි ඇත්ත තත්ත්වය. වේදිකා නාට්‍යය, ටෙලි නාට්‍ය, සිනමාපට ආදී වූ මේ සියලු නිර්මාණ බිහි වෙනවා තමයි.එම නිර්මාණ බිහිවීමේ ප්‍රගතියකුත් තියෙනවා.නමුත් හරිම අමාරුවෙන් තමයි මේ ක්ෂේත්‍රයේ හැමෝම කටයුතු කරන්නේ.මේ විදිහට හරි මේ ක්ෂේත්‍රය රැකගෙන ඉන්න එක ගැන නිර්මාණකරුවන් විදිහට අපි නිෂ්පාදකවරුන් ඇතුළු ඊට කර උර දෙන සියලු දෙනාට ස්තූතිවන්ත වෙන්න ඕනේ.


ඒ කියන්නේ කලාවට මීට වඩා අනුග්‍රහයක් අවශ්‍යයි කියන එකද?


අනිවාර්යයෙන්ම ඔව්. කලාව කියලා කියන්නේ රටක ජීවය සහිත මිනිසුන් බිහි කරන ප්‍රධානම ප්‍රභවය. කලාව නැති තැනක රසවින්දනය නැහැ.රසවින්දනය නැති මිනිස්සු හරියට ජීවයක් නැති වියලි පරඬැල් වගෙයි. ප්‍රබුද්ධ, පිරිපුන් මිනිසුන් බිහිවෙන්නේ මුදල්මතින් නෙමෙයි; අධ්‍යාපනය සහ කලාවමතින්. කලාව පරිහානියට පත් වෙනවා කියලා කියන්නේ ඒ රටේ මිනිසුන්ගේ මානසික පීඩනය වැඩි වෙනවා; සතුට ඔවුන්ගෙන් දුරස් වෙනවා; රස වින්දනයක් නැතිවෙනවා.පසුකාලීනව ඇති විය හැකි සමාජ අර්බුද බොහොමයකට හේතුව වෙන්නේ මේක. Entertainment කියන දේ රටකට අත්‍යවශ්‍යයි. කලාව කියන්නේ විනෝදාස්වාදයේ ප්‍රධාන කොටසක්. අපේ රටේ නැත්තෙමත් ඒක. අපේ රටේ මිනිස්සුන්ට තමන්ගේ විවේකය ගත කරන්න තියෙන මාර්ග හරිම අඩුයි. හුඟක් වෙලාවට මිනිස්සු කරන්නේ සිකුරාදාට හරි සෙනසුරාදාට හරි මුහුදු වෙරළට ගිහින්, අරගෙන ගිය බර්ගර් එකක් කාලා, මොනවා හරි බීම එකක් බීලා ගෙදර ඇවිත් නිදාගන්න එක.මේක ඇතුළේ මිනිස්සුන්ට ලබා ගන්න තියෙන විනෝදාස්වාදය මොකක්ද? මිනිස්සු හැම වෙලාවෙම පීඩනයෙන් ඉන්නේ. රටේ අහන්න දකින්න තියෙන දේවල් දිහා බැලුවහම ඒක පැහැදිලි වෙනවා.


මං හිතන විදිහට අපේ රටේ සිනමාව, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් විදිහට මීට වඩා ගොඩක් දියුණු වෙන්න ඕනේ. ඒකට හැකි හැම දෙනාම අත හිත දෙන්න ඕනේ.ඒක අපි හැමෝගෙම දියුණුව සඳහා අපි විසින්ම කරගන්නා ආයෝජනයක්. නිර්මාණකරුවන්ට, කලාකරුවන්ට මේ ක්ෂේත්‍රය තුළ රැඳීලා ඉන්න කැමැත්තක් ඇතිවෙන විදිහේ වාතාවරණයක් මේ ක්ෂේත්‍රය තුළ ඇතිවෙන්න ඕනේ. එතකොට කවුරුවත් මේ ක්ෂේත්‍රයේ දාලා යන්නේ නෑ.විවිධ ප්‍රශ්න නිසා දක්ෂයින් කොයි තරම් මේ ක්ෂේත්‍රයෙන් වර්තමානයේ දී ඈත් වෙනවාද?තව අවුරුදු පහක් දහයක් ගතවෙනකොටවත් පවතින මේ තත්ත්වය වෙනස් විය යුතුයි.ලෝකයේ විවිධ රටවල මේ ක්ෂේත්‍රය තුළ විශාල දියුණුවක් සීඝ්‍රයෙන් ඇතිවෙමින් පවතිනවා. අපිත් එයට සමගාමී වෙන්න ඕනේ.එදාට මේ ක්ෂේත්‍රයට අලුතෙන් ඇතුළු වෙන පිරිසට අදට වඩා ලොකු පහසුවක් දැනේවි. විවිධ පරාසවල විවිධ නිර්මාණ පහසුවෙන් කරන්න ඔවුන්ට පුළුවන් වෙයි. අදටත් හොඳ නිරමාණකරුවන් ඉන්නවා. ක්ෂේත්‍රයේ තියෙන ඇතැම් අඩුපාඩුකම් නිසා ඔවුන්ට තමන්ගේ නිරමාණය හරියට එළි දක්වා ගන්න විදිහක් නැති.මේ තත්ත්වය ඉදිරියේදී නැතිවෙන්න ඕනේ. එහෙම නොවුණොත් ඉදිරියේදී මේ ක්ෂේත්‍රය අර්බුදයකට ලක්වෙන එක වළක්වන්න බැහැ.


හුඟක් වෙලාවට ගයාන්ට ලැබෙන්නේ සැර පරුෂ චරිත නේද? අහිංසක ආදරණීය චරිත නොලැබෙන්න හේතුව මොකක්ද?


හුඟක් අවස්ථාවල නම් මට ලැබිලා තියෙන්නේ සැර පරුෂ දරදඬු චරිත තමයි. මං හිතන විදිහට ඒකට හේතුව තමයි ඒ විදිහේ එක චරිතයක් කලාට පස්සේ දිගින් දිගටම ඒ චරිතවලට කොටුවීම.ඒක හුගක් නිර්මාණ ශිල්පීන්ට වෙන දෙයක්.ඒකෙන් ඔවුන්ගේ හැකියා පරාසයත් අඩු වෙනවා කියලයි මට හිතෙන්නේ. දරදඬු විකට හෝ අහිංසක චරිත කරන අය ඒ ඒ Category වලටම සීමා කරනවා. අලුත් අත්හදා බැලීමක්වත් කරන්න අවස්ථාවක් උදාවෙන්නේ නැහැ. මේ ක්ෂේත්‍රය ඉතා කුඩා පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න කුඩා ක්ෂේත්‍රයක්. අනිත් රටවල සිනමා සහ ටෙලි නාට්‍ය කරමාන්ත දිහා බැලුවහම අපේ රටේ ඒ ක්ෂේත්‍රය ඉතාම කුඩායි. ඒ අතරත් සමහර පුද්ගලයින් කුලක හදාගෙනයි ඉන්නේ. අපි වැඩ කරන්නේ මේ අයත් එක්ක අර අයත් එක අපි වැඩ කරන්නේ නෑ කියලා එයාලා කල්ලි හදාගෙන ඉන්නවා. මේ කල්ලිවාදයත් සමහරවිට නිරමාණ ශිල්පීන්ගේ පරාසය කෙටි වෙන්න එක්තරා විදිහකට හේතු වෙනවා. සාමාන්‍යයෙන්ම මිනිස්සු විදිහට අපි හරි කැමතියි කල්ලි හදාගන්න. අපි ශ්‍රී ලාංකිකයෝ කියනවට වඩා අපි සිංහල, අපි දෙමළ, අපි උඩරට, අපි ගොවිගම කුලේ කියලා කල්ලි හදාගන්න අපි කැමතියි.කොටින්ම Walking Park එකකට ගිහින් බලන්න. එතනත් ඉන්නවා අපි අර group එකේ, අපි මේ group එකේ කියලා ගහපු T Shirts ඇඳන් ඉන්න අය.ඒක අපේ ජානවල දෝෂයක්ද කොහෙද. නමුත් මම උත්සාහ කරනවා මේ කල්ලි වලින් බැහැරව ජීවත් වෙන්න.ඒ වගේම අලුතින් මේ ක්ෂේත්‍රයට එන අලුත් පරපුර පුළුල් පරාසයක් සහිතව හිතන පතන පිරිසක් වෙයි කියලාත් මං හිතනවා.



සුරාජ් සමාජයට දෙන පණිවිඩය මොකක්ද?


ඕනෑම ක්ෂේත්‍රයක සුරාජ් කෙනෙක් ඉන්න පුළුවන්.මේ වගේ චරිතයක් සමහර විට පන්සලේ පෝය දවසට බණ කියන ස්වාමීන් වහන්සේ ළඟම ඉඳන් සාධුකාර දෙනවා වෙන්නත් පුළුවන්.සුරාජ් කියන්නේ සමාජයට ඉතාම සුදු චරිතයක්. නමුත් ඇත්ත වශයෙන්ම සුරාජ් කවුද කියලා ඔහුවත් දන්නේ නෑ.ඔහුට ඕන කරන්නේ කුමක්ද? හිතවත් කවුද? අහිතවත් කවුද? ඔහු කළ යුතු දේ මොකක්ද? කියන එක ගැනවත් නිවැරදි අවබෝධයක් ඔහුට නෑ. ඔහු හැමවිටම මුදල් පස්සේ ලුහුබඳීන පුද්ගලයෙක්. සමාජයේ ගොඩක් වෙලාවට මේ වගේ අය ඉන්නවා. මේ වගේ අයට ගොඩක් අය රැවටෙනවා. රැවටිලා ජීවිතය විනාශ කරගන්නවා.ඉතින් සුරාජ් මේ සමාජයට දෙන පණිවිඩය තමයි මේ වගේ පුද්ගලයන් අඳුර ගන්න කියන එක.


පවුලේ විස්තර ටිකක් කිව්වොත්?


මේ දවස්වල විවේකය ගත කරන්නේ පවුලේ අයත් එක්ක තමයි. දැන් දෝණි ටිකක් ලොකුු නිසා එයත් එක්ක මේ දවස්වල එයා කැමති කෑම බීම හදනවා.ඒකෙන් එයා ලොකු සතුටක් ලබනවා.එයා කැමති දේවල් කරන්න තමයි මං හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ලබන සැප්තැම්බර් වල එයාට විභාගයක් තියෙනවා.ඉතින් මේ දවස්වල එයාව ඒකට සූදානම් කරවනවා.මේ දවස්වල එයාව පන්ති එක්කගෙන යන්නෙත් මම.මේ විවේක කාලය ගොඩක් සතුටින් තමයි මම පවුලේ අයත් එක්ක ගත කරන්නේ.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?


ඉදිරියට කොටු චිත්‍රපටයත් සරත් ධරමසිරිගේ කඩහාපොළ හාමුදුරුවෝ සහ බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් කියන සිනමාපට එන්න තියෙනවා.ඒ වගේම ඔක්තෝබර් මාසයේදී අලුත් සිනමාපටයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් සියල්ල සූදානම් කරලා තියෙනවා.මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය දෙකක් ඉදිරියේදී විකාශය වේවි.ඒ දෙකෙන් එකක් සති අන්ත ටෙලි නාට්‍යයක්.


සිනමාවට වැඩි දායකත්වයක් දීලද?


පහුගිය කාලයේදී හොඳ සිනමාපට කිහිපයක් මට ලැබුණා. ඉතින් බොහොම සතුටින් ඒවාට රංගනයෙන් දායක වුණා. මගේ ප්‍රේක්ෂකයින්ට ඉදිරියේදී ඒවා දැක ගන්න ලැබෙයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post