සනුලියා නමට හානියක් වෙන චරිත භාර ගන්නේ නැහැ -සනුලියා දන්දෙණිය

gossiplanka image 1
 


නර්තනය තුළින් සිය දක්ෂතා පෙන්නුම් කරමින් කලාවට ආ සනුලියා දන්දෙණිය ගැන මේ දිනවල නම් වැඩියෙන්ම කතා වෙන්නේ ‘අසංධිමිත’ හි ජනනි නිසා. ‘අසංධිමිත’ කියන්නේ ශලනි තාරකා තිර රචනා කළ පළමු ටෙලි තිර පිටපත. නාට්‍යය අධ්‍යක්ෂණය ශාන් ජයරත්න ගේ. ‘අසංධිමිත’ හි ජනනි ගැන මෙහෙම කියන්නේ සනුලියා දන්දෙණිය.


ඔබ කලාවට යොමු වෙන්නේ කොහොමද?


වයස අවුරුදු 14 දී ‘හිරු සුපර් ඩාන්සර්’ තරගාවලියට සහභාගි වෙනවා. එහිදී මම හතරවැනි ස්ථානය දිනා ගන්නවා. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. තරගාවලියේ ජයග්‍රහණය ලබන්න බැරි වුණත් මගේ ජීවිතේ ලොකුම ජයග්‍රහණය මට ලැබුණේ වයස අවුරුදු 14දී. නර්තනය හරහා තමයි ප්‍රේක්ෂකයෝ මා ගැන දැනගත්තේ. මගේ ගම හෝමාගම. මුලින්ම පාසල් ගියේ හෝමාගම මහා විද්‍යාලයට. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියා. එහිදී A සාමාර්ථයක් සහ B සාමාර්ථ දෙකක් එක්ක සමත් වෙනවා


මුල්ම නිර්මාණය මොකක් ද?


මම ආදරේ කරන පළවැනි දේ තමයි නර්තනය. නර්තනය නිසයි මාව අදටත් ප්‍රේක්ෂකයන් හඳුනා ගන්නේ. එතැනින් එහාට රංගනයටත් හැකියාවන් තියෙනවා කියලා දැන ගන්නේ පෝය ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑමත් එක්ක. ‘තරු සිහිනය සහ ‘කළු රෝස‘කියන ටෙලි සිනමා දෙකේ රඟපෑවා. ඒ නිර්මාණ දෙක තමයි මගේ මුල්ම නිර්මාණ. මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්න ඕනේ කසුන් අයියා සහ ඉරුෂ අයියාව. ඊට පස්සේ මම හිරු නාළිකාවේම විකාශය වූ දිවිතුරා නාට්‍යයේ ‘උත්තරා‘ කියන චරිතය රඟපෑවා. ඒ එක්කම සිරස නාළිකාවේ විකාශය වූ කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ‘අමෝදා‘ ලෙස රඟපෑවා.


‘අසංධිමිත’ ටෙලිනාට්‍යයට ඇරියුම ලැබෙන්නේ කොහොමද?


ඇරියුම ලැබුණේ ශලනි තාරකා අක්කාගෙන්. මම ඇය හඳුනා ගන්නේ මට වයස අවුරුදු 14දී. මගේ ජීවිතේ මට අමතක නොවන චරිතයක්. ශලනි අක්කා මට වයස අවුරුදු 14දීම කියලා තිබුණා “නංගි ඔයා දක්ෂ ළමයෙක්, මේ ක්ෂේත්‍රයේ ලස්සන ගමනක් යන්න“ කියලා මාව මෝටිවෙට් කරපු අයගෙන් එක් කෙනෙක්. රංගනයේ දී මම තෝරා බේරාගෙන වැඩ කරන කෙනෙක්. රංගනයට වඩා මම නර්තනයේ නියැළෙන කෙනෙක්. ශලනි අක්කා මට කතා කරලා ඇහුවා එයාගේ පිටපතක මෙහෙම චරිතයක් තියෙනවා, මට ඒ අභියෝගය භාර ගන්න පුළුවන් ද කියලා. මට කවදාවත් එයාගේ වචනයක් අහක දාන්න බැහැ. එයා මට ගොඩක් වටිනා කෙනෙක්. හැබැයි ‘ජනනි‘ කියන චරිතය කරන්න තියෙන්නේ කිව්වම නම් මට පොඩි බයක් ආවා. ඒ චරිතේ මට කරන්න පුළුවන් වෙයිද කියලා. ජනනි කියන චරිතේ තුළ භූමිකා කිහිපයක් තියෙනවා. දැන් හිතෙනවා මම ඒ අභියෝගය ලස්සනට ජය ගත්තා කියලා.


ජනනි වෙන්න ලැබීම ගැන අද මොකද හිතෙන්නේ?


මම හිතන්නේ ජනනි කියන්නේ අද ‘ජෙන්-සී‘ පරම්පරාව නියෝජනය කරන චරිතයක් කියලා. ජනනි මුලින් පටන් ගන්න විදියට නෙවෙයි මුල මැද අග යන්නේ. ඉස්සරහට ආදරණීය ප්‍රේක්ෂකයින්ට බලා ගන්න පුළුවන් වෙයි, ජනනි කියන චරිතය මොන වගේ කැපෑසිටි එකකට යනවද කියලා. ජනනි කියන්නේ හරිම ආදරෙන් කරපු චරිතයක්.


‘අසංධිමිත’ එකෙ ප්‍රවීණ නළු නිළියන් එක්ක වැඩ කරන්න ලැබීම මොනවගේ අත්දැකීමක් ද?


ප්‍රවීණ නළු නිළියන් එක්ක වැඩ කරන්න සහ ඒ අයගෙන් උපදෙස් ගන්න මට මේ කාලය ඇතුළත පුළුවන් වුණා. මම උසස් පෙළට නාට්‍ය හා රංග කලාව කරපු කෙනෙක්. ඒ දේවල් එක්ක දැන් ප්‍රයෝගිකව අත්දැකීම් ලබනවා. නෙතලි නානායක්කාර මහත්මිය කියන්නේ අපිට ඉන්න ජේ්‍යෂ්ඨ රංගන ශිලිපිනියක්. එතුමියගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම හරිම ආදරෙන් ඒ දේවල් ඉගෙන ගත්තා.


‘අසංධිමිත’ හි රංගනයේ දී අමතක නොවන අත්දැකීම් ඇති නේද?


මුල ඉඳන් අග වෙනකම්ම මට නම් අමතක නොවන අත්දැකීම්. මම මුල ඉඳන්ම වන්ටේක් වලට ගියා. මගේ චරිතේ එක තැනකදී භුමිකාවේ අසනීප වෙනවා. මම කෑගහලා අඬන සීන් එකක් තිබුණා. ඒක මම කළේ ග්ලිසරින් නැතුව. මම ඒ කොටස කළාම වටේ ඉන්න අයගේ ඇස්වලත් කඳුළු තිබුණා. ශලනි අක්කා මගේ ළඟට ඇවිත් කිව්වේ නංගි ඔයා ගැන මට හරි ආඩම්බරයි කියලා. ඒ දේවල් තාම මගේ හිතේ තියෙනවා.


රංගනයේ දී සීමාවන් තියෙනවද?


ඔව්. මට වයස අවුරුදු 22ක තරුණියක් විදියට මගේ සීමාවන් තියෙනවා. ඒ නිසා වැඩක් භාර ගන්න කලින් මම ඒ දේවල් ගැන කතා කරනවා. මට යන්න පුළුවන් සීමාවන් ගැන මම පැහැදිලි කරනවා. මේ තාක් මම චරිත භාර ගත්තේ එහෙම. ඉදිරියටත් ඒක එහෙම්ම තමයි. සනුලියා කියන නමට හානියක් වෙන චරිත භාර ගන්නේ නැහැ.


කලාවට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?


මට පොඩි කාලේ ඉඳන් මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා දන්නවා මම පොඩි කාලේ ඉඳන් නර්තනයට, රංගනයට ගායනයට වගේම ඉගෙනීමටත් දක්ෂ කෙනෙක් කියලා. ඒ එක්කම ඒ දේවල් සමබරව කරගෙන යනවා කියන එක. අම්මා තාත්තා හරි කැමතියි මගේ දක්ෂතාවෙන් ලස්සන ගමනක් යනවා දකින්න. ඒ නිසා මේතාක් උදවු කළා වගේම හෙට දවසෙත් ඒ උදව්ව එයාලගෙන් ලැබෙනවා. ඒක මට විශ්වාසයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post