‘ජීවිතේ මල් අපෙ අම්ම ඉන්න කල්’ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ශෙහාන් ගලහිටියාව

gossiplanka image 1
 පණිවුඩයක් ඉතාම පහසුවෙන් සමාජගත කළ හැකි සරලම මාධ්‍ය ගීතයයි. ගීතයක් සමාජගත කිරීම ගී පද රචකයා, සංගීතඥයා සහ ගායකයා සතු වගකීමක් වුවද එහි වැඩි බර නිරායාසයෙන්ම පැටවෙන්නේ ගී පද රචකයාටය. එබැවින් ගී පද රචකයා නිරතුරුවම සමාජ මෙහෙවරක නියමුවකුද වන්නේය. තම වගකීම මැනවින් ඉටු කරන ගී පද රචකයන් අතර ශෙහාන් ගලහිටියාව ප්‍රමුඛස්ථානයක් ගනී.


චාමර වීරසිංහ ගයන ‘මගෙ ආදර අම්මා’, ‘දිවියම වාගේ දියකර ප්‍රාණේ’ වැනි මවුපිය ගුණ වරුණ ගීත මෙන්ම භාතිය සන්තුෂ්ගේ හඬින් ගැයෙන ‘ශ්‍රී ලංකා මාතා’ වැනි දේශාභිමානී ගීත එය මැනවින් තහවුරු කරයි. ‘ජීවිතේ මල් අපෙ අම්ම ඉන්නකල්’ ගීතය රචනා කරමින් මින් වසර විසිහයකට පෙර ගීත රචනා කලාවේ ස්ථාවරත්වය තහවුරු කරගත් ඔහු තම අත්දැකීම් මෙසේ අප හා බෙදාගත්තේය.


මේ දිනවල නිර්මාණය වන චිත්‍රපට ගීත අතර වැඩිපුරම කියවෙන්නේ ශෙහාන් ගලහිටියාව කියන නම. මොකද හිතෙන්නේ?


ඕනෑම ගී පද රචකයකු සිනමාවට ගීත ලියන්න සිහින දකිනවා කියන එක බොරුවක් නෙවෙයි. මමත් ගොඩක් ආසාවෙන් හිටියා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ප්‍රසාදි අබේගුණවර්ධනගේ ‘අහස තරම්’ චිත්‍රපටයට ගීත දෙකක්, සාරංග මෙන්ඩිස්ගේ ‘කල්පනා’ චිත්‍රපටයට ගීත තුනක්, තුෂාර තෙන්නකෝන්ගේ රාවණා සිනමාපටයේ සියලුම ගීත, තිළිණ බොරලැස්සගේ ‘මං හොයන්නෙ ප්‍රේමයක්’ චිත්‍රපටයේ ගීතයක්, මධුර කටු චිත්‍රපටයේ ගීත දෙකක්, හනිමූන් ටුමෝරෝ චිත්‍රපටයට ගීතයක් රචනා කරමින් සිනමාවට ලොකු දායකත්වයක් ලබාදී තියෙනවා. ඉසුරු ගුණතිලකගේ koල්leක් සිනමාපටයේත් ගීත සියල්ලම රචනා කළා. ඊට අමතරව එමලි සහ වරල් සිනමාපටවලටත් ගීත රචනා කළා. කෙටි කාලයක් තුළ සිනමාවේ මේ තරම් ලොකු ගමනක් එන්න ලැබීම ලොකු සතුටක්. 2020 වසරේ වාසවබදුගේගේ ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටයට භාතිය සන්තුෂ් ගැයූ ‘සෙව්වන්දි පායා’ සහ 2025දී ‘විසල් ආදරේ’ චිත්‍රපටයට යසස් මැදගෙදර සංගීතවත් කරමින් ගැයූ ‘මැයි මල් පවා’ ගීතය වෙනුවෙන් ජනප්‍රියම ගී පද රචනයට හිමි සම්මානය ලැබුණා. ඒකත් මේ ගමනට සවියක් වුණා.


ශෙහාන්ගේ ජීවිතේට වසන්තය උදා වුණේ ‘ජීවිතේ මල් අපෙ අම්මා ඉන්න කල්’ ගීතයෙන් නේද?


ඒක මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වත් හරි. පාසල් යන කාලෙ ඉඳන්ම මගේ විනෝදාංශය වුණේ ඉංග්‍රීසි සින්දු ලිය ලිය එකතු කරන එක. ගීත 500-600ක් අදටත් මගේ ළඟ සුරක්ෂිතව තියෙනවා. මගේ පාසල වුණේ ස්ටැන්ලි පීරිස්, රූකාන්ත ගුණතිලක, ටී.එම්. ජයරත්න වැනි ප්‍රවීණයන් බිහිකළ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය. සාමාන්‍ය පෙළ කරද්දිම අපි රේන්ජර්ස් කියලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මං ඒකෙ ගිටාර් වාදකයෙක් විදිහට කටයුතු කළා. ඒ ලබපු දැනුම පස්සේ කාලෙක මට තනුවටම ගීත ලියන්න ලොකු පන්නරයක් වුණා. පුංචි පුංචි ගීත කොටස් ලිය ලිය හිටපු මගේ අතින් ‘ජීවිතේ මල් අපෙ අම්ම ඉන්නකල්’ ගීතය ලියවෙන්නේ 2000 වසරේ. ප්‍රියන්ත නාවලගේ ගේ සංගීතයෙන් පළමුවරට එය වේදිකාවේ ගයන්නේ ගැලැක්සීස් සංගීත කණ්ඩායම. ඒ ගීතය එක රැයින් ජනප්‍රිය වුණා කිව්වත් හරි. ඒත් එක්කම සන්ප්ලවර් සංගීත කණ්ඩායමේ නීල් අයියත් ඒ ගීතය සල්ලිවලට අරන් ප්‍රසංග වේදිකාවේ ගයන්න ගත්තා. එදා තමයි ගීත රචනා කලාවත් වෘත්තියක් කියලා මං තේරුම් ගත්තේ. මේ ගීතය ගයන හැම වෙලාවකම ඔවුන් මගේ නමත් වේදිකාවේ කියන්න පටන් ගැනීමත් එක්ක ශෙහාන් ගලහිටියාව කියන නමට ලොකු වටිනාකමක් එකතු වුණා. ඊට පස්සේ ගීත රචනයට ආරාධනා ගලාගෙන එන්න පටන් ගත්තා.


ඔබේ ගීත වැඩි ගණනක් ගැයෙන්නේ ජනප්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහගේ හඬින්. ඒ ගැන මොකද හිතෙන්නේ?


‘ජීවිතේ මල් අපෙ අම්ම ඉන්නකල්’ සින්දුව ජනප්‍රිය වීමත් එක්ක රන්සිළු ආයතනයෙන් කැසට්පට ගීත සඳහා මට ආරාධනා ලැබුණා. එතැනදි තමයි චාමරව හඳුනාගන්නේ. ‘තිස්ස වැවේ ඉවුර ළඟට, ආදර මගෙ අම්මා, දිවියම වාගේ දියකර ප්‍රාණේ, අඩිසීයේ පාර ගාව, නපුරු වෙන්න එපා කියලා, රෝස පෙති අතුරාලා’ වගේ ජනප්‍රිය ගීත රැසක් ඔහුට ලිව්වා. ඊට අමතරව භාතිය සන්තුෂ්ගේ ‘ශ්‍රී ලංකා මාතා, ඔයා මගෙ නම් ජීවිතේ මල්, බයිලා ගමුද රීමික්ස් කරලා, රූ සරා’ වගේම රයිනි- චින්තිට ‘තරු මිණි ඔච්ච්ම් පාවි දැන්’, සුපුන් පෙරේරාගේ ‘ප්‍රාතිහාර්’, සශිකා නිසංසලාගේ ‘ඇසිපිය නොහෙලා බැලුවා’ වගේම ජූඩි රොගන්ගේ ‘හොරෙන් බලා කියාපාන දේට වඩා’ ඇතුළු ගොඩක් ජනප්‍රිය වුණු ගීත රාශියක් ලිව්වා. දෙවෙනි ඉනිම, ඉස්කෝලේ, සංගීතේ, පොදු, මං ආදරෙයි, කොළඹ කට්ටිය වැනි ටෙලි නාට්‍යවලටත් ගීත රචනා රැසක් කළා. මේ වෙද්දි චිත්‍රපට ගීත, ටෙලි නාට්‍ය ගීත, වෙළෙඳ දැන්වීම් ඇතුළුව ගීත හාරදාහක් විතර ලියල තියෙනවා. දශකයකට ආසන්න කාලයක් විකාශය වුණු ‘දෙවැනි ඉනිම’ ටෙලි නිර්මාණයේ තේමා ගීතය ඇතුළුව ගීත හැත්තෑපහක් විතර ලියල තියෙනවා. අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු ඉස්කෝලේ ටෙලි නිර්මාණයේ ‘සිහිනයක් මැවුණා’ ගීතයත් මගේ කලා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් කිව්වත් හරි. මේ වගේ ජනප්‍රිය නිර්මාණ බිහිකරන්න පාදක වුණේ මගේම ජීවිත අත්දැකීම්. ඒ වගේම සමාජ ඇසුර තමයි මගේ සමාජ විශ්වවිද්‍යාලය වුණේ.


මේ වෙද්දි සංගීත ක්ෂේත්‍රයට හොඳ කලක් උදාවෙලා කියලත් ආරංචියි?


ඔව්. මේ වෙද්දි සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපල සුරක්ෂිතභාවය තහවුරු කරන ACPOSL ආයතනය පිහිටුවා තියෙනවා. මෙතෙක් ගීත නිර්මාණයක ප්‍රතිලාභ ලැබුවේ වෙනත් පාර්ශ්වයන්. දැන් එහෙම අපේ ගීත අවභාවිත කරන්න බැහැ. මිය ගිය කලාකරු‍ෙවක් නම් ඔහුගේ පවුලට ඒ ප්‍රතිලාභය ලැබෙන විදිහට නීති රීති සම්පාදනය වෙලා තියෙනවා. දැන් අපේ ගීත අවභාවිත නොවනවා විතරක් නෙවෙයි ඒවලින් නැවත නැවතත් ප්‍රතිලාභ ලබන්නත් පුළුවන්. දැන් සංගීත ක්ෂේත්‍රය ලංකාවේ හොඳම ප්‍රාසාංගික අයිතමය බවට පත්වෙලා. අපේ ආයතනය දැන් ලෝක බුද්ධිමය දේපළ ආයතනයෙනුත් පිළිඅරන් එහි සාමාජිකයෙක් බවට පත්කරගෙන තියෙනවා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post