මේ දිනවල සාර්ථකව තිරගත වන එරංග සේනාරත්නගේ ‘ඔස්කාර්‘ සිනමාපටය සිංහල සිනමාවට අලුත්ම අත්දැකීමක් තිළිණ කරන සිනමා නිර්මාණයකි. එහි බණ්ඩාරතිලක ලෙසින් ප්‍රධාන භූමිකාවට පණ පොවන පාලිත සිල්වා වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව ද එකසේ ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකි. සිය රංගන දිවියේ තවත් අපූරු කඩඉමක් පසුකළ පාලිත, බණ්ඩාරතිලක ලෙසින් ලද අභියෝගාත්මක අත්දැකීම අප හා බෙදාගත්තේය.
පුංචි තිරය ඉතාම සාර්ථකව ජයගත්ත ඔබ මේ දිනවල රිදී තිරයේත් කැපී පෙනෙන චරිතයක් වෙලා. ඔස්කාර් ගැන මොකද හිතෙන්නේ?
ඔස්කාර් එරංග සේනාරත්නගේ 9 වැනි සිනමා අධ්‍යක්ෂණය. තිරපිටපත එරංග සේනාරත්න මහත්මියගේ. මේක සිනමාවට සම්බන්ධ කතාවක් තේමා කරගෙන ලියැවෙන්නක් නිසා දැනටමත් පොදු සිනමාකරුවන්ගේ ආකර්ෂණයට ලක්වෙලා තියෙනවා. තමන්ගේ බිරියගෙන් වෙන්වෙලා හුදකලාව නිර්මාණකරණයේ යෙදෙන බණ්ඩාරතිලක තමන්ගේ අලුත්ම සිනමා නිර්මාණයට සූදානම් වන ආකාරය තමයි ඔස්කාර් හරහා කියවෙන්නේ. එහි තිරපිටපත ලියවෙන්නෙත් හිටපු බිරිය සම්බන්ධයෙන්. එහි නිෂ්පාදකවරිය වන්නෙත් ඇයමයි. ඇයගේ චරිතයට කෙනෙක් හොයමින් ඉද්දි අහම්බෙන් හමුවන කොළඹ නාගරික පරිසරයේ පේළි ගෙවල්වල ජීවත් වන තරුණියක් කෙසේ හෝ එම චරිතය ලබා ගන්න දරන උත්සාහය තමයි ප්‍රේක්ෂකයා ඉදිරියේ දිගහැරෙන්නේ. ප්‍රේක්ෂකයන්ටත් සිතන්න යමක් ඉතිරි කිරීම මෙහි තවත් විශේෂත්වයක්. ඒ නිසා ඔස්කාර් කියන්නේ නැවුම් තේමාවක් ඔස්සේ ගලායන සිනමා නිර්මාණයක් කියන්නත් පුළුවන්.
සියුම් භාව ප්‍රකාශනයන් ඔස්සේ අඛණ්ඩව ගලායන බණ්ඩාරතිලකගේ චරිතය අභියෝගයක් වුණේ නැද්ද?
මේ සිනමා නිර්මාණයේ සියයට අනූවක් විතරම දුවන්නේ බණ්ඩාරතිලකගේ චරිතය. ඒ නිසා ඒක මට අභියෝගයක් වුණේ නැහැ කියන්න බැහැ. මෙතෙක් මම කරපු චරිත අතරින් සංකීර්ණම චරිතයක්. මේ වගේ චරිතයක් නළුවෙකුට ලැබෙන්නෙත් වාසනාවට. මට වඩා වයසින් වැඩි, පෙනුමෙන් වුණත් සම්පූර්ණයෙන්ම වෙනස් චරිතයක්. සිනමාව ඇරෙන්න ජීවිතේ අනෙක් හැම දෙයක්ම අත්හැරපු කෙනෙක්. දෙබස්වලටත් වඩා හැඟීම් ප්‍රකාශනයයි මෙහි ප්‍රබලම. ඒ වගේ චරිතයක සංකීර්ණතාව අඛණ්ඩව පවත්වාගෙන යනවා කියන එක හරිම සියුම්ව කළ යුතු දෙයක්. ඒකම තමයි මට තිබුණු ලොකුම අභියෝගය. පැතිකඩ කිහිපයක් ස්පර්ශ කරමින් කිසිම වෙනසක් නොපෙන්වා දිනපතාම එකම මට්ටමින් චරිතය පවත්වාගෙන යනවා කියන්නෙම අභියෝගයක්. නූතන සිනමාවට එකතු වුණු හොඳ නිර්මාණයක් වගේම මගේ රංගන ජීවිතේත් ලොකු වෙනසක් කළ සිනමාපටයක් කියන්න පුළුවන්.
බණ්ඩාරතිලකට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
චරිතයේ අඛණ්ඩතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මටත් ලොකු කුතුහලයක් තිබුණා. මොකද රංගනයට වඩා ප්‍රබල වුණේ දවස් 15කට ආසන්න කාලයක් තිස්සේ චරිතයේ අඛණ්ඩතාවය පවත්වාගෙන යන එක. ඒක තමයි මේ වගේ චරිතයක් කරද්දි රංගන ශිල්පියකුට තියෙන ලොකුම අභියෝගය. ලැබෙන ප්‍රතිචාර දැක්කම මං ඒ අභියෝගය සාර්ථකව ජයගෙන තියෙනවා කියලා හිතෙනවා. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. අපේ ක්ෂේත්‍රයේම පසු පරම්පරාවේ අයගේ ලොකු කැමැත්තක් තිබුණා. මේ චරිතයේ අඛණ්ඩතාව පවත්වාගෙන ගිය ආකාරය ගැන ඔවුන් ගොඩක් කතාබහ ලක්කළා. ඒක ඔවුන්ටත් තියෙන ගැටලුවක් වගේම පුහුණුවෙන්ම හදාගත යුතු දෙයක්. අපි අඛණ්ඩව කලාවේ, වේදිකාවේ රැඳිල හිටිය වගේම තවමත් අභ්‍යාසයේ නියැළිලා ඉන්න එකම තමයි අපිට පන්නරය වුණේ.
ඔබ වේදිකාව, පුංචි තිරය වගේම සිනමාවත් ස්පර්ශ කළ රංගන ශිල්පියෙක්. ඒ වෙනස දකින්නෙ කොහොමද?
සිනමාව ඕනෙම කෙනෙකුට අභියෝගයක් කියන්න පුළුවන්. දිගු කාල පරාසයක් චරිතයක අඛණ්ඩතාව පවත්වාගෙන යනවා කියන්නේ ලොකු චැලේන්ජ් එකක්. විශේෂයෙන්ම දෙබස්වලට වඩා හැඟීම් ප්‍රකාශනය වැඩි අවස්ථාවලදී ඒක තවත් සංකීර්ණයි. සංස්කරණයේදී සංකලනය වුණත් අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමෙන් රංගන ශිල්පියා සීන් එකෙන් සීන් එකට මූඩ් එක එකම ලයින් එකක පවත්වාගත යුතුයි. පුංචි තිරය ගත්තොත් ඊට වෙනස්. වේදිකාවේ තියෙන්නේ සජීවීම රංගනයක්. පටන්ගත්ත වෙලාවේ ඉඳන් පැය දෙකක් දෙකහමාරක් තිස්සේ කිසිම වැරැද්දක් නොවෙන්න චරිතයේ මූඩ් එක අඛණ්ඩව පවත්වාගෙන යන අතරේම ප්‍රේක්ෂකාගාරය රඳවා ගන්නත් ඕන. ඒ නිපුණත්වය සඳහා තමයි දිගු කාලයක් පුහුණුවීම් කරන්නේ.
ඒ කියන්නේ බණ්ඩාරතිලක කියන්නේ ඔබේ සිනමා රංගන ජීවිතේ අභියෝගාත්මකම චරිතය?
ඔව්. ඒක මගේ තනි වෑයමක් නෙවෙයි. සිනමා සංස්කරණයෙන් චරිතය සංකලනය වුණත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සීන් එකෙන් සීන් එකට එකම මූඩ් එක පවත්වාගෙන යෑම රංගන ශිල්පියාගේ කාර්යභාරයක්. බණ්ඩාරතිලක කියන්නේ ඒ වගේ අවස්ථාවක්. ඒ වගේම ඉදිරියේදී තිරගත වීමට නියමිත සරත් ධර්මසිරිගේ කඩහපොළ උන්නාන්සේ චිත්‍රපටයේ කොබ්බෑකඩුව නිලමේගේ චරිතයත් සෑහෙන්න අභියෝගයක් වුණා. ඒකත් දැවැන්ත ඓතිහාසික චිත්‍රපටයක්. සිංහල සිනමාවේ හෝ නවකතාවක මීට කලින් ඒ චරිතය ලියවිලාම නැහැ. කඩහපොළ උන්නාන්සේ බිහිකළ කෙනා විදිහට තමයි කොබ්බෑකඩුව නිලමේ හඳුන්වා දෙන්නේ. එයත් මගේ සිනමා ජීවිතේට සුවිශේෂී අත්දැකීමක් වුණා.
අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහයෝගය ගැනත් කියමු?
අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් වගේම සෑහෙන නිදහසක් ලැබුණා. ඔහුටත් ලොකු අභියෝගයක් තිබුණා. නවකයකුට මේ චරිතයේ සියුම්භාවය නිරූපණය කරන්න අමාරුයි කියන එක ඔහු තේරුම් අරන් තිබුණා. පරම්පරා ගණනාවක අධ්‍යක්ෂවරු යටතේ වැඩ කරලා ලබපු පළපුරුද්ද මට මෙහිදී වැදගත් වුණා කියල හිතනවා. ඔහු හොයමින් ඉඳල තියෙන්නෙත් ඒ වගේ කෙනෙක්. මීට කලින් මම එරංග එක්ක ටෙලි නිර්මාණවල වැඩ කරල තිබුණු නිසා මා ගැන ලොකු විශ්වාසයක් තිබිල තියෙනවා. නවක රංගන ශිල්පිනිය විදිහට මධුෂානි වික්‍රමසිංහත්, හිටපු බිරිය විදිහට හෂිනිකා කරලියද්දත් බණ්ඩාරතිලකගේ කෑමබීම සපයා දෙන කාන්තාව විදිහට ලක්ෂිකා ෆොන්සේකාත් මෙහිදී රංගනයෙන් දායක වෙනවා.
ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන සිනමා නිර්මාණ මොනවාද?
නවක අධ්‍යක්ෂවරයෙකු වන සමන්ත විජේකෝන්ගේ පශ්චිම යාමය සහ පතිකුලය වගේම සරත් ධර්මසිරිගේ කඩහපොළ උන්නාන්සේ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.